වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බදාම අනාගැනීම අමාරු වුණාට සිමෙන්තියෙන් සුන්දර නිර්මාණ කරන්න පුළුවන්
* චිත්‍ර කලාවට තිබුණු ආසාව නිසා විශ්ව විද්‍යාල ගමන අතහැරලා රැකියාව තෝරා ගත්තා
* මේ රැකියාව කාන්තාවකට ඒ තරම්ම අමාරු නැහැ
සිතුවිලි ඉතා ප්‍රබලය. එවැනි ප්‍රබල සිතුවිලි දහරාවක් තුළින් මැවෙන සංකල්පයක් සැබෑලෙස නිර්මාණයක් කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. සිතුවම් කලාව, මියුරල් කලාව හා උද්‍යාන අලංකරණය යන සෞන්දර්යාත්මක කටයුතු එවැනි සංකීර්ණ වූ නිර්මාණ කුසලතාවයන්ය. මේ කටයුත්ත සඳහා විශාල කැපවීමක් ඇවැසිය. එසේම හොඳ සංයමයක් හා නිර්මාණාත්මක පරිකල්පනයක් තිබිය යුතුමය. එසේම නිර්මාණයක් අවසන් කරන්නට දිගු කාලයක් ගත කළ යුතු වෙයි. මේ සියලු දෙයටම වඩා වැඩි වෙහෙසක් හා මහන්සියක් ගතයුතු වෙයි. අව්ව වැස්ස නොතකා දැඩි වෙහෙසක් ගනිමින් කරන මෙවැනි කටයුත්තක් අවසානයේ අලංකාර වූ නිර්මාණයක් බිහි වෙයි.
ඉතා වෙහෙසකර හා කර්කෂ වූ මේ නිර්මාණ කටයුත්තට බොහෝ විට යොමුවන්නේ පිරිමි පාර්ශවය පමණකි. සියුමැලි වූ දෑතක් හිමි යුවතියක් මෙවන් ක්ෂේත්‍රයක් තෝරා ගන්නට මැලිවන්නේ මේ කටයුත්තේදී ලබන අත්දැකීම ඉතාම අසීරු නිසාමය. හම පිළිස්සෙන නිසා බොහෝ යුවතියෝ හිරු අව්වට නිරාවරණය වන්නට අකැමැතිය. එවන් පසුබිමක ලී අට්ටාලයක් මත හිඳිමින් බදාම හැන්දක් ගෙන බදාම අනන්නට කැමැති යුවතියක් හමුවන්නේ ඉතාම කලාතුරකිනි. එසේම එය අප සමාජ සම්මතයට ද හුරු නොවූවකි.
එහෙත් ජීවිතයේ සියලු දේ දරා සිටීමට හැකි කාන්තාවකට මෙවන් වූ රළු බදාම පිඬක් හැන්දක් මතට ගෙන කළ හැකි නිර්මාණයක ඇත්තේ ඇයගේ ජීවිතය තරම්ම වූ සියුමැලි බවකි. එසේම සුන්දරත්වයකි. අප එවැනි වූ සියුමැලි දෑතකින් මැවෙන නිර්මාණ කරන යුවතියක් සොයා මාවනැල්ල දෙහිමබුව ප්‍රදේශයට ගියේ දුලබ වූ හැකියාව තුළින් ඇයගේ ඇඟිලිතුඩෙන් මැවෙන හැකියාව ගැන සටහනක් තබන්නටය.
සසීනා දීපිකා කොස්තා. ඇය ජීවිතය අභියෝග හමුවේ බදාම හැන්ද අතට ගත් කාන්තාවකි. එසේම රුව හැඩකරන කලාවේ වසර ගණනක අත්දැකීමක් ලැබූ ශිල්පිනියකි. ඓතිහාසික උතුවන්කන්ද පෙනෙන මානයේ පදිංචිව සිටින සෂීනා තම ජීවිතය අර්ථවත් කළ අයුරු අව්‍යාජ ලෙසින් අපට පවසන්නට එක් වූයේ තවත් නිර්මාණ කටයුත්තකට මුල පුරා සිටින මොහොතකය. ජාඇල ප්‍රදේශයේ හෝටලයක උද්‍යාන අලංකරණ කටයුත්තක සැලසුම් සකස් කරන අතරතුරය.
"මම පාසල් ගියේ කෑගල්ලේ ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයට. උසස් පෙළ කලා විෂය කරලා මට සෞන්දර්යය පීඨයට යන්න අවස්ථාව ලැබුණා. හැබැයි මට විශ්ව විද්‍යාලයට යන්න ඉන්නකොටම කොළඹ කේම්බ්‍රිජ් සිස්ටම් ආයතනයේ චිත්‍ර ශිල්පිනියක් ලෙස රැකියාවක් ලැබුණා. මම චිත්‍ර කලාවට තිබුණු ආසාව නිසා විශ්ව විද්‍යාල ගමන අතහැරලා රැකියාව තෝරා ගත්තා. එතැන මම සෑහෙන කාලයක් වැඩ කළා. හැමදාම එකම තැන කොටුවෙලා ඉන්නවාට වඩා යමක් ඉගෙන ගන්න ඕනේ කියලා මට හිතුණා. මම ඒ රැකියාවෙන් ඉවත්වුණා. ඊට පස්සේ ඡායාරුප ශිල්පය ඉගෙන ගත්තා. ඉන්ද්‍රනාථ තේනුවර සර්ගේ Photography, Vedio Editing ඉගෙන ගත්තා. මම ඊට පස්සේ ඒ ක්ෂේත්‍රයට යොමු වුණා. ඒකෙන් සෑහෙන්න මුදලක් හෙව්වා. මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයත් ඉගෙනගෙන ආයුර්වේද ක්‍රමයට රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගියා. ඒ අතර කේක් වර්ග හදන්නටත් පටන් ගත්තා. මේ කාලයේදී මට හිතුණා උද්‍යාන අලංකරණය ඉගෙන ගන්න ඕනේ කියලා. මොකද මම පරිසරයට හරිම ආදරෙයි. ගස් පිරුණු පරිසරය, ඇළ දොළ ගංගා එක්ක ජීවත්වුණු මට ඒවායේ තියෙන වටිනාකම කොළඹට ආවාට පස්සේ දැනුණා.
මම 1996 දී විතර කෑගල්ල බල්ලපානේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ උද්‍යාන අලංකරණය ගැන පුහුණු පාඨමාලාවක් කළා. විමල් දිසානයක කියන සර් තමයි මට උද්‍යාන අලංකරණය ගැන මුල්ම තාක්ෂණික පුහුණුව ලබා දුන්නේ. අපි සර්ගෙන් ඉගෙන ගන්න ගමන්ම සර්ගේ වැඩවලටත් සම්බන්ධ වුණා. ඒ අතරතුර පේරාදෙණිය උද්භිද උද්‍යානයට ඇතුළත් වුණාට පස්සේ Soft Landscaping ඉගෙන ගත්තා. ඒ අතර මට රැකියාවක් ලැබුණා Southern Enviorment එකේ උද්‍යාන අලංකරණ ශිල්පිනිය ලෙස. ඒ මාර්ගයෙන් මම Abans Enviorment ආයතනයේ මාර්ගයෙන් ඇපලෝ රෝහලේ උද්‍යානය හදන්න අවස්ථාව ලැබුණා. ඒ අතර වත්තල Macdonal වැනි ආයතන කිහිපයක උද්‍යාන අලංකරණ ව්‍යාපෘති ගණනක් කරන්නත් අවස්ථාව හිමි වුණා. ඊට පස්සේ මම රැකියා කරන එක අතහැරලා මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා."
ඇයගේ ස්වාධීන වූ ව්‍යාපාර ආරම්භ වන්නේ ඉන්පසුවය. ජීවිතයේ විවිධ වූ හැලහැප්පීම් මතින් ඇයගේ ගමන බොහෝ දුර පියවර තැබුවේ සීරුවෙනි. කාන්තාවක් ලෙසින් තෝරා ගත් ක්ෂේත්‍රය තරමක අභියෝගාත්මකය. අනෝරා වැසි ඇයගේ හිසට පහසකි. උදාහිරු කිරණ ගතට සනීපයකි. මේ සියලු බාධක මතින් ඇය තම දරුවන් දෙදෙනා සමඟ ජීවිත සටන ගෙන ගිය අයුරු පැවසුවේ මහත් සැහැල්ලුවෙනි.
"මගේ ඇඟෙයි, හිතෙයි තිබුණු දේවල්වලින් කරන්න පුළුවන් හොඳම දේ තමයි උද්‍යාන අලංකරණය. පෞද්ගලික ආයතනයක හරි රජයේ ආයතනයක හරි වැඩ කළොත් මගේම නිර්මාණ හැකියාව පෙන්වන්න බැහැනේ. මම ඒක නිසයි බය නැතුව මගේ නිර්මාණ ශක්තිය ගැන හිතලා ස්වාධීනව මේ වැඩේට අත තිබ්බේ. ඇත්තටම බදාම කියන්නේ හරි අපූරු දෙයක්. බදාම අපට අනාගන්න අමාරු වුණාට අනාගත්තට පස්සේ කරන්න පුළුවන් නිර්මාණවල හරි සුන්දරත්වයක් තියෙනවා. ඒ වගේම මේක හරිම නිදහස් රැකියාවක්. අපට සේවාදායකයාගේ හිතේ තියෙන අදහසක් කිව්වාට පස්සේ ඒ අදහසට අනුව නිර්මාණය කරන්න පුළුවන් නම් මේ රැකියාවේ කිසිම ගැටලුවක් නැහැ. හරිම නිදහසේ කරන්න පුළුවන්.
Hyru කියන නම තමයි මගේ මේ උද්‍යාන අලංකරණ ආයතනයේ නම. මගේ සැලෝන් එකටත් ඒ නමම යෙදුවා. ඇත්තටම මේ රැකියාව කාන්තාවකට ඒ තරම්ම අමාරු නැහැ. ලොකුම අභියෝගය තියෙන්නේ අපිට ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඒක ගෘහණියකට තරමක් අපහසුයි. දරුවන්ගේ වැඩයි, ගෙදර දොරේ වැඩයි එක්ක මේ වගේ නිර්මාණාත්මක වැඩක් භාර අරගෙන හරියට කරන්න බැහැ. මේ වෙනුවෙන්ම කැප වෙන්න වෙනවා. අපේ කාන්තාවෝ අව්වට හම පිච්චෙනවාට අකැමැතියිනේ... වැස්සට තෙමෙන්න බැහැනේ. හැබැයි මට ඒවා සාමාන්‍ය දෙයක්. මට ඕනෑම අලුත් වැඩක් භාර ගන්න බය නැහැ. අභියෝගයක් හැටියට භාර ඇරගෙන උපරිමයෙන් කරලාදීම තමයි මගේ ලොකුම සතුට. මම ගොඩක් හුඟක් වැඩ කරන්නේ තනියම. ලොකු වැඩක් ලැබුණහම මගේ කණ්ඩායමක් ඉන්නවා. ඒ අයගේ උදව් අරගෙන වැඩ කරනවා.
හැබැයි මේ කොරෝනා වසංගතයත් එක්ක වැඩ හුඟක් අඩාල වුණා. නමුත් මම භාර ගත්තු කිසිම වැඩක් අතරමඟ නැවැත්තුවේ නැතුව කරගෙන ගියා. දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගොඩනැඟිලි ක්ෂේත්‍රයේ වැඩ අඩු වුණාට මට නම් ඒක ඒ තරම් බලපෑමක් නෑ. හරිම සැහැල්ලුවෙන් කරගෙන යනවා."
ජීවිතයේ අභියෝග මැදින් සසීනා යන ගමන සුන්දරය. සියලු දේ සිත්හී දරාගෙන දරුවන් දෙදෙනකුගේ මවක් ලෙසින් ඇය ලොවටම ආදරයක් දෙයි. අහිමිවීම් හමුවේ කඩාවැටීම වෙනුවට ඇය භාර ගත්තේ දරාගැනීමයි. රළු වූ බදාම පිඬකින් ඇය නිර්මාණය කරන්නේ සොඳුරු බිතු කැටයමකි. ඒ සිතුවම්වලින් මැවෙන සොඳුරු පරිසරයක සුන්දරත්වය අපූරුව මිල කළ නොහැකි තරම්ය. එයින් ලබන ආත්ම තෘප්තිය හා සතුට ද ඒ සියල්ලටම වටිනා බව ඇයගේ මුවඟ සටහන්ව තිබුණේ ඉතාම අහිංසක ලෙසිනි.
ඡායාරූප - ශාන් රූපස්සර