කැපී පේන විදිහට ෆේස්බුක් ගිණුම අප්ඩේට් කරමු ද?

මැයි 20, 2024

 

කැපී පේනවා කිව්වාම මීට අවුරුදු කීපෙකට කලින් නම් හොඳ තේරුමක් තියෙන්න ඇති. ඒත් දැන් එකපාරට දැක්කම හිතෙන්නේ සමාජයේ ප්‍රසිද්ධ වෙන්න කරන දහංගැටයි නූල් සූත්තරයි ගැනනේ. මේ ලියමනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නම් නෙවෙයි. වැදගත් විදිහට කැපී පෙනෙන සිරිමත් වගේ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන හැටි ගැනයි මේ. ඒ කියන්නේ අවධානේ ඉල්ලන කෙනෙක් වගේ ෆේස්බුක් එක හදාගන්න විදිහ නෙවෙයි. ඔය සමහර අය අහන්නේ අවධානෙද ඉල්ලන්නේ කියලා. මේ කියන්නේ එහෙම ගිණුමක් නෙවෙයි තමන්ගේ කොලිටිය රැකෙන විදිහට හරි ස්ටෑන්ඩඩ් එකට හරි ෆේස්බුක් ගිණුමක් අප්ඩේට් එකේ ගෙනියන විදිහ ගැනයි.

 

ආරක්ෂාකාරී වීම

 

තාක්ෂණික යුගේ සෙල්ලම් නෑ ඉතින්. මිනිස්සුන්ගේ ආත්ම හැන්ඩ්ල් කරන්නෙත් මේ එක එක ගැජට් තමයි. ෆේස්බුක් කියන්නේ පොඩි වැරදීමකින් මනුස්සයෙක් ලෙල්ලටම කෙළවාගන්න සෝෂල් මීඩියා රජු. ගැහැනු අයට පමණක්ම කියලා නැහැ පිරිමි අයත් ආරක්ෂාව උපරිම තියන ගිණුමක් නඩත්තු කරන්න ඕනි. එහෙම කරගන්න නම් Settings & Privacy තමන්ට අවශ්‍ය පරිදි හදාගන්න පුළුවන්. එතැනදී අවශ්‍ය පරිදි කිව්ව නිසා තියෙන තරමක් දේවල් Public දෙන්න ගියොත් සොරි තමයි. කොහොමත් ආරක්ෂාව ගැන කතා කරද්දී දුරකථන අංක, ඊ මේල් සහ අනෙක් පෞද්ගලික විස්තර ඕනෑම නැහැ. ඡායාරූප වුණත් ඕනෑවට වඩා දාන එක අනවශ්‍යයි. කැපිලා පේන්න කියලා හිතන් කරාට අන්තිමට ඕවා නවතින්නේ බෙල්ල කපාගන්න සිද්ධ වෙන තරමේ වැඩ වෙලා.

මිතුරු ඇරියුම් සම්බන්ධයෙන් සැලකිලිමත් වීම

සමහර අය කැපිලා පේන්න උත්සාහ කරන්නේ වැඩිම මිතුරු පිරිසක් බුකියේ ඉන්නේ මට තමයි ලයින් එකෙන්. හැබැයි නම කිව්වම කවුද කියන්නවත් දන්නේ නැහැ. Request එකක් ආ පමණින් ඒක පිළිගන්න යන්න එපා. නාඳුනන කෙනෙක් නම් කොහොමත් ඕනෑ නැහැ. ඇත්තටම මොන මොන මිනිස්සු ඕවා පස්සේ ඉන්නවාද කියලා කවුද දන්නේ. මේවායෙන් මිතුරු වෙලා ඒ සම්බන්ධතා දුර දිග ගියාම ආය ඒවා කොට කරන්න බැහැ. ඇත්තටම අම්බානකට යාළුවෝ ඉන්න අම්බලමක් වගේ ගිණුමකට වඩා දන්නා හඳුනන, වැදගත් පුද්ගලයන් කීප දෙනෙක් හිටියම ඒක කැපී පෙනෙන ලක්ෂණයක්.

වෘත්තීයමය තත්ත්වයන්ට ගැළපෙන ගිණුමක් පවත්වාගෙන යන්න

ඒ කියන්නේ මෙන්න මේකයි. මේක කොටස් දෙකකට කඩාගන්න පුළුවන්. ඒ තමයි රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ගේ ක්‍රියාකලාපය සහ රැකියාවක නිරත අයෙකුගේ ක්‍රියාකලාපය. ඇත්තටම ක්‍රියාවන් දෙකම එකයි මිනිස්සු දෙවර්ගයක් වුණාට. රස්සාවකට යන්න සූදානමින් ඉන්න ඔබ නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි ආයතන ඔබ ගැන සම්පූර්ණ සෝදිසියක් කරන බව. ඒකට සෝෂල් මීඩියාත් අයිතියි. ඒ කිව්වේ

 

මූ මොන වගේ එකෙක්ද බලන්න ඒ ඒ ආයතන අපේ බුකිය බලනවාය කියන එක. වැදගත් ඉහළ රැකියාවක නිරත අයෙකු වුණත් එච්චරයි. ආයතනයේ ස්ථාවරයන්ට ප්‍රතිපත්තිවලට ගැළපෙන්නැති පිස්සු නටන පොරක් වගේ බුකියේ හැසිරෙන විදිහෙන් පේනවා නම් ජොබ නැතිවෙන්නත් පුළුවන්.

 

කරන කරන හැම මංගල්‍යයම බුකියට මුදා හැරීමෙන් වළකින්න

 

ගලි බවුසර් ටිකක් එක පෙළට ඇක්සිඩන්ට් වුණාට පස්සේ කොහෙට අඩිය තියන්නද කියලා කල්පනා කරන අවස්ථාවක් ගන්නකෝ. අන්න ඒ වගේ උභතෝකෝටිකයක් තමයි විනාඩි පහෙන් පහට Status දාන කෙනෙක්ගේ බුකී ගිණුම. මේ නම් නොම්බර එකේ සයිකෝකාරයෙක් කියලා හිතෙන්න පුළුවන්. දන්න කෙනෙක්ට නම් මූට මොන යකෙක් වැහිලද හිතෙන්න පුළුවන්. කැපී පේන්න ගිහින් අනික් මිනිස්සුන්ට හිසරදයක් වෙන්න ගියාම කුණු කතා අහන්න වෙනවා ඉතින්.

 

උප්පැන්න සහතිකයේ ඇති නම සහ ගම භාවිත කිරීම

 

අම්මයි තාත්තයි දුන්න ලස්සන නම විකෘති කරලා ඒකට Prince/Princess නැත්නම් Roxx වගේ නමක් එකතු කරලා ඒ නමින් තමන්ගේ ගිණුම පවත්වාගෙන යන එක බාලාංශ වැඩක්. ඒක කැපී පේන්න නැත්නම් කොහේවත් නැති පොෂ් එහෙකට භාවිත කළාට ඉන්නවාටත් වඩා ගොඩේ බවක් විතරයි ඒකෙන් වෙන්නෙ. උස්වැටකෙයියාව, ඇතාවැටුණුවැව ඉඳන් ගෙවල් නවසීලන්තේ, අමෙරිකාවේ කියලා දාන එක තමයි අනික් ගොන් පාර්ට් එක. මේවා නම් ඉතින් තනිකර විහිළු තමයි.

 

නිසි පරිදි අකුරු උගෙන පෝස්ට්ස් දමන්න

 

කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් එනවා. සමහරු ඒවා යල්පැන ගියාට පස්සේ අතෑරලා දානවා. සමහරු අල්ලගෙනම ඉන්නවා. කාලයක් MeNNa MeHeMa \m/ දේවල් ලියන එක සිරා වුණානේ. හැබැයි දැන් එහෙම නෑ. ගාණට මිම්මට ව්‍යාකරණේ, අක්ෂර වින්‍යාසේ තියෙන දේවල් තමයි කැපී පෙන්නේ. ඕනෑම භාෂාවක තත්ත්වය ඕක තමයි. ඉංග්‍රීසියෙන් යමක් කටුගාද්දී ma lyf ma rulz කියන්නේ නැතුව My life my rules කිව්වා නම් හැමෝටම අඩුම ගානේ තේරෙනවා.

 ආචාරසම්පන්න වෙන්න

 

මේවා සෝෂල් මීඩියාවලටත් අදාළ දේවල් වෙලා ඉවරයි දැන්. අනවශ්‍ය කරදරයක් වෙන විදිහට මැසේජ් කොටන එක, අනවශ්‍ය විහිළු කමෙන්ට් කිරීම, අපහසුතාවට ලක් වෙන දේවල් ශෙයාර් කරන එක කැපී පෙනෙන්න තරම් නොවන දේවල්.