Z පරම්පරාවේ දරුවන්ට මෙච්චර කේන්ති එන්නේ ඇයි ?

මැයි 20, 2024

14 හැවිරිදි පාසල් සිසුවෙක් 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ක්‍රිකට් පිත්තෙන් පහරදී ඝාතනය කළ ශෝචනීය පුවතක් පසුගිය දිනෙක නාවලපිටියෙන් අසන්නට ලැබිණි. 14 හැවිරිදි සිසුවා අනෙකාගේ ක්‍රිකට් පිත්ත වතුර පිරුණු ස්ථානයක ඔබා තිබියදී, 13 හැවිරිදි සිසුවා අනෙක් සිසුවාට බැණ වැදී ඇත. මින් කෝපයට පත් 14 හැවිරිදි සිසුවා අනෙක් සිසුවාගේ හිසට පහර දී ඇති අතර බරපතළ තුවාල ලැබූ 13 හැවිරිදි සිසුවා රෝහල්ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. පහරදීම සිදුකළ 14 හැවිරිදි සිසුවා පරිවාසය වෙත යොමු කර තිබේ.

ක්ෂණික කෝපය, කේන්තිය පාලනය කළ නොහැකි වීම, ඉවසීමක් නැතිකම නව යොවුන් ජීවිත දෙකක්ම බිලිගෙන තිබේ. එක් අයෙක් මරු තුරුලටම යැවෙද්දී අනෙකාට ජීවිතය විඳවමින් පරිවාසයකට වී කාලය ගෙවා දමන්නට සිදුව තිබේ.

තරහව යනු හැඟීමකි. එය සෘණාත්මක හැඟීමකි. දරා ගත නොහැකි දෙයකි.පාලනය කරගත නොහැකි දෙයකි. තරහව එකිනෙකා අඩු වැඩි වශයෙන් පිට කරයි. සමහර අයගේ තරහව පිටතට නොපෙනේ. එවිට අපි හිතන්නේ 'ඒ අයට තරහා යන්නේ නැහැ' යනුවෙනි. මානසික ආතතිය

නව යොවුන් වයසේ පසුවන දරුවන්ගේ තරහව පෙරට වඩා වැඩි වී ඇති බවක් දක්නට ලැබේ. මීට ප්‍රධාන අභියෝගයක්ව ඇත්තේ පාසලේ ඉලක්කයන්, ටියුෂන් පන්තිවල ඇති තරග විභාග මේ සියලුම අභියෝගයන් ජයගන්නට ඔවුන්ට සිදුව තිබේ. එය මානසික ආතතියක් බවට පත් වද්දී රටේ පවතින ආර්ථික හා සමාජයීය පසුබෑම ද ඔවුන්ගේ ජීවිතවලට බලපා තිබේ. පාසලේදී හා බාහිර ක්‍රියාකාරකම්වලදී විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතුවලදී දරුවන්ට නොයෙකුත් අවශ්‍යතා මතුවේ. පොත්පත්, ක්‍රීඩා උපකරණ, විද්යුත් උපකරණ දරුවන් ඉල්ලා සිටියදී ඒ දේවල් දීමට

නොහැකිව මවුපියන් අසරණව සිටී. අවශ්‍යතා ඉටුකර ගත නොහැකි වීම නිසා ඇතිවන මානසික ආතතිය පිටවන්නේ තරහවකිනි. ළමයින්ගේ විවිධ සම්බන්ධතා බිඳවැටීම් හේතුවෙන්, මේවා ප්‍රේම සම්බන්ධතා විතරක්ම නොවේ. යාළු මිත්‍රකම්, හිතවත්කම් බිඳවැටීම නිසාත් අධිකව තරහ යයි. තරහ පිටවීම සඳහා බලපාන හේතුව අනන්තයි අප්‍රමාණයි. ආවේගශීලි පෞරුෂයක් ඇති දරුවකුට තරහ යෑම සාපේක්ෂව වැඩිවේ. ඒ අය තරහ පිට කරන්නේ හිතන්නේ බලන්නේ නැතිවමයි. මිතුරන් සමඟ රණ්ඩුවට ගියත් බැණගන්න, ගුටි බැට හුවමාරුකර ගන්නට පෙලඹෙයි. ගහ ගැනීම්, මිනීමැරුම් දක්වාම දුරදිග යන්නට පුළුවනි.

ආවේගශීලි පෞරුෂත්වය

අධිකව තරහ යන දරුවන්ගේ සිත් බොහෝ විට දෘඩයි. මේසය මත තබන පොත් ටික එක්තරා පිළිවෙලකට තැබුවොත් එය කෙසේත්ම වෙනස් විය නොහැකියි. ඔවුන්ට ඒ දේවල් ඒ විදිහටම තිබෙන්නට අවශ්‍යයි. යන්තම් හෝ එයා මෙහා වී තිබුණොත් අධිකව තරහ යයි. ආවේගශීලී පෞරුෂත්වය නිසා තරහා ගොස් තමන් විසින් තමන්වම හානිකර ගන්නා අවස්ථාත් තිබේ.

 

ඉවසීම

හොස්ස ළඟින් මැස්ස යන්න බැරි අය අපිට ඕනෑ තරම් හමු වී තිබේ. සුළු දේත් ඔවුන්ට තරහවකට මුලපුරයි. එවැනි දරුවන් මවුපියන් සමඟිනුත් තම තරහ පිට කරයි. මවට හෝ පියාට ඇත්තේ තරහ යන පෞරුෂත්වයක් නම් දරුවන්ට එවැනි පෞරුෂත්වයක් ඇතිවීමට සියයට 50 පමණ ඉඩකඩක් පවතී.

ඉවසිය නොහැකිව ඉක්මනින් තරහා යන දරුවකුට තරහ යන්නට හේතු වුණේ කුමක්ද?

අම්මා ඔයාව තව කාත් එක්ක හරි සංසන්දනය කළාද?

කවුරුහරි ඔයාට විහිළු කළාද? ඇදක් කිව්වද? ඔයා ආස මාළු පිණි ගෙදර හදලා තිබුණෙ නැද්ද?

මුහුණ රතු වෙලා, ඇස් දෙක පුපුරන්න වගේ, නහයත් රතු වෙලා, දත් මිටි කාගෙන, ඇඟට දාඩිය දාලා ඔයාට එහෙම වුණේ ඊට පස්සේ නේද?

මනෝ වෛද්‍යවරියක් එහෙමත් නැත්නම් මනෝ උපදේශකවරියක් ඔබෙන් එසේ අසාවි.

 

සංසන්දනය කිරීම

දරුවන් පාසලේ සිටින සම වයස් දරුවන් සමඟ, අහල පහල සිටින දරුවන් සමඟ, නෑ හිතවතුන්ගේ දරුවන් සමඟ කිසිසේත්ම සංසන්දනය කළ ⁣යුතු නොවේ. දරුවන් තමන්ව වෙනත් දරුවන් සමඟ සංසන්දනය කරනවාට කොහෙත්ම කැමති නැත. ඇතැම් දරුවන්ට තමන් තවත් දරුවන් සමඟ සංසන්දනය කිරීම ඉවසිය නොහැකි කාරණයකි.

අධිකව තරහ යන දරුවෙක්ගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයකි.

 

බලාපොරොත්තු කඩවීම

තරහවකට බොහෝ විට මුලපුරන්නේ බලාපොරොත්තු කඩවීමකි. බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවන තරහව ගෙන එන්නේ අනිටු ඵලයක්මයි. බලාපොරොත්තු කඩවීම් දරාගැනීමට පුළුවන් වීම තරහව යම් තරමකට පාලනය කරයි.

 

තරහ පාලනයට මෙන්න විසඳුම්

තරහ පාලනයට මනෝවිද්‍යාත්මක පසුබිමක් පවතී. තරහ පිටවද්දී හුස්ම ගැනීම වේගයෙන් ඉහළ පහළ යයි. නාඩි වැටීම වැඩිවෙයි. මෙවිට ගැඹුරින් හුස්මක් ගන්න. ඉන්පසු හෙමින් හුස්ම ඉහළ පහළ ගන්න. හුස්ම වේගය පාලනය කිරීමෙන් නාඩි වැටෙන වේගයද සාමාන්‍ය වේ. කැලඹුණු ස්වභාවය අඩුවෙයි. සීතල වතුර වීදුරුවක් බොන්න. අයිස් කැටයක් අතේ තියාගෙන ඉන්න. මියුරු සංගීතයකට සවන් දෙන්න.

තරහ ගිය දරුවකුට කෑ ගැසීමෙන්, බැණීමෙන්, පහර දීමෙන් ඵලක් නොවේ. දරුවා තව තවත් ප්‍රචණ්ඩ වෙයි. එවැනි දරුවන් මවුපියන් සමඟ ඇති සම්බන්ධතාව පවා දුරස් වෙයි. මවුපියන් හැම විටම අවවාදයට වඩා ආදර්ශය උතුම් යන්න පිළිපැදිය යුතුවේ.

වර්තමානයේ නව යොවුන් වියේ පසු වන්නේ Z පරම්පරාවේ අයයි. අපේ මවුපියන් X පරම්පරාවේ අයයි. අපි Y පරම්පරාවේ අයයි. අපේ දරුවන් Z පරම්පරාවේ අයයි. Z පරම්පරාව තීක්ෂණ බුද්ධිය මෙහෙයවමින් කුතුහලයෙන් දේවල් හොයන අයයි. ඔවුන් දේශනවලට ඇහුම්කන් දීමට එතරම් කැමැත්තක් නොදක්වයි. ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ගැටලු නිරාකරණය කිරීම පමණකි.

නව යොවුන් පරම්පරාවේ දරුවන්ගේ මවුපියන් හැම විටම ඔවුන්ට ආදර්ශවත් විය යුතුයි. ඔවුන් නිතර පවුලේ රණ්ඩු සරුවල් ඇති කරගන්නේනම්, ගහගන්නේ නම්, බැණගන්නේ නම්, පොලිසි යන්නේ නම් දරුවන්ට සපයන්නේ අයහපත් ආදර්ශයකි.

දරුවන්ට නිතර නිතර තරහ යන්නේ නම් තරහ නිවුණු පසු එහි ආදීනව පසක් කර දීම කළ යුතුයි.

දරුවා තරහ පාලනය කරමින් සාධනීය මට්ටමට පැමිණෙද්දී ප්‍රශංසනීය ලෙස ඇගයීම අතිශය වැදගත් වේ. දරුවා එවැනි ඇගයීමක් වෙසෙසින්ම බලාපොරොත්තු වේ.

මේ සඳහා මනෝ උපදේශන සායන ක්‍රියාත්මක වේ. විශේෂඥ මනෝ වෛද්‍යවරුන්, මනෝ උපදේශකයින් මෙහි ක්‍රියාකාරිකයින් වේ.

 

උපදෙස් :

රාගම ශික්ෂණ රෝහලේ

ළමා සහ යොවුන් මනස පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

මහාචාර්ය මියුරු චන්ද්‍රදාස හා

ළමා සහ යොවුන් මනස පිළිබඳ ලේඛකාධිකාරී වෛද්‍ය ප්‍රභා විද්‍යාතිලක