වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බලාගෙනයි ! රත්වෙලා රත්වෙලා ලැප් එක පුපුරයි
දැන් කාලේ ලැප්ටොප් එකක් හරි වෙනත් කම්පියුටර් එකක් හරි පාවිච්චි නොකරන කෙනෙක් හොයාගන්න බැරි තරම් නේ. විශේෂයෙන්ම ඔෆිස් වැඩවලට වගේම ඉගෙනගන්න වැඩවලටත් ගොඩක් දෙනෙක් පරිගණක පාවිච්චි කරනවා. එතැනිනුත් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ලැප්ටොප් පරිගණක. ඒ භාවිතය පහසු නිසා.
දැන් ඕනෙම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක වගේම ලැප්ටොප් එකකත් බොහොම ලේසියෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ආන්න ඒ ප්‍රශ්නවලින් සුලභව එන්න පුළුවන් ප්‍රශ්නවලට ගොඩක් වෙලාවට වග කියන්න ඕනෙ කරන්නේ අධික උෂ්ණත්වය. ඔව්, ලැප්ටොප් එකක් වැඩ කරනකොට උෂ්ණත්වයක් ජනිත වෙනවනේ. හැබැයි ඕනෙම ලැප්ටොප් එකක එහෙම ජනිත වෙන උෂ්ණත්වය යම් ප්‍රමාණයකට ඉවත් කරන්න යාන්ත්‍රණයකුත් තියෙනවා. සමහර නවීන ලැප්ටොප්වල මේ හීට් එක අඩුකරන යාන්ත්‍රණයන් හරිම කාර්යක්ෂමයි. හැබැයි එකක්, ඒ මොන යන්ත්‍රණය තිබුණත්, ලැප්ටොප් එකක් රත් වෙන එක වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඇත්තටම එහෙම කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් ලැප්ටොප් එකෙන් පුළුවන් ප්‍රශ්න අඩු කර ගන්න විතරක් නෙවෙයි, ලැප්ටොප් එකේ ආයු කාලය දීර්ඝ කර ගන්නත් සෑහෙන්න ප්‍රයෝජනවත්.
ආන්න ඒ නිසා, අපි බලමු ලැප්ටොප් එකත් එක්ක වැඩ කරනකොට අපිට එහෙම හීට් එක අඩුකර ගන්න ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.
කූලින් පෑඩ්ස්
සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණකයක් නිරන්තරයෙන්ම පාවිච්චි වෙනවා නම්, ලැප්ටොප් එක ගන්නකොටම කූලින් පෑඩ් එකකටත් ආයෝජනය කරන එක බොහොම නුවණ තියෙන වැඩක්. හොඳ කූලින් පෑඩ් එකක් හිතන තරම් ලොකු ගාණක් වෙන්නේ නැහැ. හැබැයි හොඳ කූලින් පෑඩ් එකකින් දේවල් දෙකක් වෙනවා. එකක්, USB එකෙන් බලය ලබාගෙන කූලින් පෑඩ් එකේ තියෙන ෆෑන්වලින්, ලැප්ටොප් එකේ උෂ්ණත්වය ඉවත් කරන්න අමතර උදවුවක් ලැබෙනවා. ඒ, ලැප්ටොප් එකේ තියෙන කූලින් ෆෑන්වලට අමතරව. ඒවගෙම අපි කූලින් පෑඩ් එකක් උඩ ලැප්ටොප් එක තියලා තියෙනකොට, ලැප්ටොප් එක ඒක තියලා තියෙන මතුපිටින් උඩට එසවෙනවා. අන්න ඒකෙන් ලැප්ටොප් එකේ උෂ්ණත්වය සාර්ථකව ඉවත් වෙන්නත් ඉඩ සැලසෙනවා. සමහර වෙලාවට කූලින් පෑඩ් එකේ ෆෑන්ස් වැඩ නොකර තියෙන වෙලාවට පවා ලැප්ටොප් එකේ උෂ්ණත්වය ඉවත් වෙන්න, මේ විදියට මතුපිටින් ලැප්ටොප් එක එසවෙන විදියට තියාගන්න එක උදවු වෙනවා.
දවස් 365ම ඔන් එකේ තියන්න එපා
සමහරුන්ට තමන්ගේ සියලුම ඔෆිස් වැඩ, ඉගෙන ගන්න වැඩ කරගන්න වෙන්නේ ලැප්ටොප් එකෙන්. ඉතින් දිවා රෑ නැතුව ලැප්ටොප් එක ඔන් එකේ තියෙන්නේ. හැබැයි ඒක ලැප්ටොප් එකේ ආයු කාලයට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඇයි? ලැප්ටොප් එක ඕෆ් කරලා තියෙන වෙලාවක් නැහැයි කියන්නේ, ඒකට පොඩ්ඩක් කූල් වෙන්න වෙලාවක් නැහැයි කියන එක. දැන් මනුස්සයෙක් වුණත් එක දිගටම නින්දක් නැතුව වැඩ කරනකොට දවසක් දෙකක් යනකොට සිස්ටම් එක අවුල් යන්නෙ නැද්ද? ලැප්ටොප් එකක් ඊට වඩා සෑහෙන්න කාලයක් එක දිගට වැඩ කරන්න යොදවගන්න පුළුවන් වග ඇත්ත. හැබැයි ඒකෙන් ලැප්ටොප් එක රත් වෙන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. අන්න ඒ නිසා, ලැප්ටොප් එකට දවසකට වරක්වත් පොඩි රෙස්ට් එකක් දෙන්න. විශේෂයෙන්ම තමන්ට රෙස්ට් එකක් ගන්න අවශ්‍ය වෙන වෙලාවට, ලැප්ටොප් එක ඔහේ ඔන් එකේ තියලා යන්නෙ නැතුව පොඩි රෙස්ට් එකක් දෙන්න.
උෂ්ණත්වය පිටවෙන තැන් වහන්න එපා.
මෙන්න මේ කාරණාව නිසා තමයි විශේෂයෙන්ම අර ලැප්ටොප් එක තියලා තියෙන මතුපිටින් පොඩ්ඩක් උඩට එසවිලා තියෙන විදියේ කූලින් පෑඩ් එකක් හරි, ඒ වගේ වෙනත් දෙයක් හරි පාවිච්චි කරන්න කියන්නේ. ලැප්ටොප් එකේ ෆෑන්ස් වගේම, වෙන්ටිලේෂන් එකට, ඒ කියන්නේ උෂ්ණත්වය පිටවෙන්න හදපු විවර තියෙනවා. එතකොට ලැප්ටොප් එක තියලා තියෙන විදියට ඒ විවර ආවරණය වෙනවා කියන්නෙම, ලැප්ටොප් එක දුවනකොට ඇතිවෙන උෂ්ණත්වය කාර්යක්ෂමව පිටවෙන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් අවහිර වෙනවා කියන එක තමයි. අන්න ඒ නිසා, ලැප්ටොප් එක හැම වෙලේම ඒකේ තියෙන උෂ්ණත්වය පිට වෙන විවර අවහිර නොවෙන විදියට තියන්න. ඒ කියන්නේ ලැප්ටොප් එක වටේම බංකර් එකක් ගහලා වගේ පොත් පත් අනංං මනං හිර කරලා තියන්නත් එපා කියන එක තමයි. ලැප්ටොප් එක ඉඩ පහසුව ඇති තැනක තියාගන්න.
අධික රස්නය තියෙන කාලගු ණය
අපි ජීවත් වෙන්නේ සමකාසන්න රටක. සමකය ආසන්නයේ තියෙන රටක් විදිහට සාමාන්‍යයෙන් අවුරුද්දේ සැලකිය යුතු කාලයක් අපිට දැඩි උෂ්ණත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට අපිට විතරක් නෙවෙයි, අපි පාවිච්චි කරන ලැප්ටොප් ඇතුළු ඉලෙක්ට්‍රොනික ගැජට් බැජට්වලටත් ඒ උෂ්ණත්ව ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඉතින් අපිට කාලගුණේ වෙනස් කරන්න බැහැනේ. ඒත් ඉතින් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් එක දිගටම ලැප්ටොප් එක පාවිච්චි කරනවා නම්, ටිකක් අඩු උෂ්ණත්වයක් තියෙන තැනක් ඒකට තෝරගන්න එක. ඒ වගේම, අධික උෂ්ණත්වය තියෙන දවස්වලදී එක දිගටම ලැප්ටොප් එක දුවවන්නේ නැතුව ඒකටත් රෙස්ට් එකක් දෙන එක.
බර අදින්න එපා
ලැප්ටොප් එකක් අධික වශයෙන් බර අදිනකොටත් ඒක වේගෙන් රත් වෙන්න පටන් ගන්නවා කියන එක ලැප්ටොප් පාවිච්චි කරන ඕනෙම කෙනෙක්ට තේරෙන්න ඕනෙ කාරණාවක්. අන්න ඒ නිසා, අනවශ්‍ය විදියට තමන්ගේ ලැප්ටොප් එකෙන් බර අදින්න එපා කියන එකත් උපදෙසක් විදියට අපිට දෙන්න වෙනවා. ඒ කියන්නේ, මැෂින් එක ස්ට්රක්් වෙවී දුවන විදියේ වැඩ ගොඩක් එකපාර කරන්න යනවා කියන්නේම, හිතාගන්න බැරි විදිහට ලැප්ටොප් එක හීට් වෙන්න පටන් ගන්නවා කියන එක. එහෙම අපේ බර ටික ඇදලා දෙන්න ගිහින් ලැප්ටොප් එකේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක වැඩි වැඩියෙන් හීට් වෙනකොට, ලැප්ටොප් එකේ ෆෑන් එකේ ස්පීඩ් එකත් වැඩි වෙනවා. හැබැයි ඉතින් ඒකේ සීමාවක් තියෙනවනේ. එතකොට වෙන්නේ ලැප්ටොප් එක අප්සට් ගහන තරමට හීට් එක වැඩි වෙන එක තමයි!
ක්ලීන්-අප් එකක්
අපි අන්තිමටම කියලා තියෙනවා මේ ලැප්ටොප් එකක් හීට් වෙන ප්‍රශ්න අවම කරගන්න අවුරුද්දකට සැරයක්වත් ලැප්ටොප් එක සර්විස් කරන්න කියලා. හැබැයි ඒ කියන්නේ භෞතිකව කරන සර්විස් කිරීමක් ගැන නේ. ඊට කලින් අපි බලන්න ඕනෙ ලැප්ටොප් එකේ මෙහෙයුම් පද්ධතියත් පොඩ්ඩක් ක්ලීන් කරන්න. උදාහරණයක් විදියට කිව්වොත්, කාලෙකට සැරයක් ලැප්ටොප් එක හොඳට චෙක් කරලා, ඒකේ තියෙන අනවශ්‍ය සොෆ්ට්වෙයාර් අයින් කරන එක, සැක කටයුතු සොෆ්ට්වෙයාර් කොහොමත් අයින් කරලා දාන එක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඩිස්ක් ක්ලීන්-අප් එකක් කරන්න. රතු කට්ට පනින්නම හාඩ් එක පිරිලා නම් පොඩ්ඩක් ඒ බර හෑල්ලු කරලා ගත්තා නම්, ඒකත් ලැප්ටොප් එක හීට් වෙන එක වළක්වන්න සෑහෙන්න උදව්වක් වෙයි.
සර්විස් කිරීම්
මේක ඉතින් අපි ගොඩක් දෙනෙක් නොකරන, හැබැයි කරනවා නම් ලැප්ටොප් එකේ ආයු කාලය හිතාගන්න බැරි විදියට දීර්ඝ වෙන දෙයක්. ඒ කියන්නේ කාලෙන් කාලෙට ලැප්ටොප් එක සර්විස් කරන එක. මේක අවුරුද්දකට පාරක් කලත් කමක් නෑ. තමන්ට ඒකට දැනුමක් නැති නම් හොඳ ලැප්ටොප් රෙපයාර් කරන ටෙක්නීෂියන් කෙනෙක් ගාවට යන්න පුළුවන්. කරන්න තියෙන්නේ ලැප්ටොප් එක ඇතුළේ එකතු වෙලා තියෙන කුණු, දූවිලි ඉවත් කරලා, ලැප්ටොප් එකේ වාතය සංසරණය සඳහා හදලා තියෙන අපි අර උඩිනුත් කියපු විවර වැහෙන්න බැඳිලා තියෙන දූවිලි එහෙම අයින් කරලා සර්විස් එකක් දාන එක. කම්පියුටර් වැඩ දන්නවා නම් ඇත්තටම ඒක අපිටම වුණත් කරගන්න පුළුවන්.