මනස නිතර සුවෙන් තියෙන වීර භද්‍රාසනය

ජුනි 10, 2024

 

හිතට කිසිම සැහැල්ලුවක් නැද්ද? ආතතිය වැඩි වෙලාද? මනස නොසන්සුන්ද? ජීවත් වුණා ඇති කියලා හිතෙනවාද? මේ ගැටලු අඩු වැඩි වශයෙන් ඔබ තුළ තිබෙන්නට පුළුවන්.

අද නිර්මාණය වෙලා තියෙන සමාජය අතිශය තරගකාරී සමාජයක්. ඔබට ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නේ එකෙකු අභිභවා තවත් කෙනෙකු නැගිටින්නට වෙර දරන සමාජ වටපිටාවක. එවැනි පසුබිමක් තුළ ඉහත සඳහන් කළ ගැටලුකාරී තත්ත්වයන් කායික, මානසික හා සාමාජීය පැවත්මට සෘජුව හා වක්‍රාකාරව බලපෑ හැකියි. දවසේ පැය විසිහතර පුරාවට අපි කරන්නේ ජීවත්වෙන්න ජීවිතය එක්ක ඔට්ටු අල්ලන එක. එවැනි වටපිටාවක ඔබ නිරන්තරයෙන් විඩාවට හා ආතතියට පත් වෙන්න පුළුවන්. ජීවිතය පස්සේ දුවලා හති වැටිලා ඇති වුණාම බොහෝ දෙනෙක් මානසික සුවය ලබාගන්න හැකි විවිධ ක්‍රමවලට යොමු වෙනවා. යෝගා අභ්‍යාස කියන්නේ සිතේ ඇතිවන විඩාව මහන්සිය විතරක් නෙවෙයි සිරුරත් නිරෝගී කරවන ඖෂධයක් කිව්වොත් හරියටම හරි.

යෝගා අභ්‍යාසයකින් ඔබට නැතිවූ මානසික සුවය ලබාගන්නත්, ආතතිය අවමකර ගනිමින් නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ යෝග අභ්‍යාසයන්හි නිරත වීම තුළින් ඔබේ ජීවිතයට සුව සහනය ළඟා කර ගත හැකියි. අද කියන්න යන්නේ මානසික බලය වැඩි කරන එවැනි යෝගා ආසනයක් ගැන. එය වීර භද්‍රාසනය යනුවෙන් හඳුන්වයි. මේ යෝගා ආසනයට තියෙන්නේ ලොකු ඉතිහාස කතාවක්. ආසනය පුහුණු වීමට ප්‍රථම ඒ ඉතිහාස කතාවත් දැන ගනිමු

හට යෝග ක්‍රමයේ යෝගා ආසන අසූහාර ලක්ෂයක් ඇති බව ශිව සම්හිතාවේ දක්වයි. හින්දු වේදයෙන් ඇරැඹෙන යෝගා අද ලොව රටවල් 100කට ආසන්න ප්‍රමාණයකට විහිදී ගොස් ඇති අතර එහි නිජ බිම වනුයේ මහා භාරතයයි. යෝගා පිළිබඳව කතා කරන විට ශිව දෙවියන් පිළිබඳව ද යෝගා පුරාණයේ කතා කරයි. බෞද්ධ දර්ශනය, අවිහිංසාවාදය මුල්කොට ගොඩ නැඟුණු දර්ශනයක් වුවත් හින්දුවේදයේ පුරාවෘත්තවලට අනුව අවිහිංසාවාදයට එරෙහිව යන තැන් නැතුවද නොවේ. අද මෙහි දක්වන වීර භද්‍රාසනය ද එවැනි කතාවක ආරම්භය කියැවේ.

ශිව පුරාණයට අනුව ශිව දෙවියන්ට එරෙහිව සිය මාමණ්ඩිය ඇතුළු බල සේනාව විනාශ කිරීම උදෙසා මවන ලද වීරයෙක් වශයෙන් මෙම වීරභද්‍රාසන යෝගාසනය හඳුන්වයි. ශිව දෙවියන්ගේ සැබෑ ස්වරූපය ප්‍රිය මනාප දැකුම්කලු පුද්ගලයකු නොවන අතර ඒ හේතුවෙන් ශිව දෙවියන්ගේ මාමණ්ඩිය ඔහුට සිය දියණියවන පාර්වතී සරණ පාවා දීමට එරෙහි විය. එම අවස්ථාවේ මෙම දෙපිරිස අතර සටනක් ඇවිළී ගිය අතර එහිදී ශිව දෙවියන් සිය ශක්තිය උපයෝගී කොට එම සටන පරාජයට පත්කර වීර භද්‍රාසන අවතාරය මැවූ අතර එම අවතාරය යුද්ධයට යන විලාසය විදහා දැක්වීම සඳහා මෙම ආසනයහට යෝගාසනයට ඇතුළත් වූ බව පැවැසේ.

මෙය ඉතාම දැකුම්කලු ශක්තිසම්පන්නභාවය සහ කෙනකුගේ ප්‍රබල පෞරුෂත්වය පෙන්නුම් කරන ආසනයකි. එහෙත් මෙම ආසනය කිරීමේදී හෘදයාබාධ කරකැවිල්ල, ක්ලාන්තය සහ ශරීරයේ දුර්වලතා අය උපදෙස් පිළිපැදීමකින් යුතුව ආසනයේ යෙදීම සුදුසුය.

දැන් අපි එය පුරුදු පුහුණු වෙමු. මෙහි දැක්වෙන ඉරියව්ව තඩාසන ඉරියව්ව වශයෙන් හදුන්වයි. සියලුම සිටගෙන කරන යෝගාසන ආරම්භ කිරීමේදී මෙම තඩාසන ඉරියව්ව භාවිත කරන අතර එසේ හෙයින් මෙය අනිවාර්යෙන්ම පුරුදු පුහුණු විය යුතු ඉරියව්වකි. පා දෙක එකිනෙකට ළංකොට අත් දෙක කලවා දෙකට යොමු කොට අත් පහළට බර කොට පපුව සෘජුව තබාගෙන, කොන්ද ද සෘජුව තබා ගන්න. ඇස්වලින් නාසයේ අග දෙස බලමින් නිකට උස්ව තබා ගන්න. ශරීරය ශක්තිමත්ව තබා ගනිමින් සිරුරේ සියලු බර පා දෙකට යොමු කරන්න. මෙම ඉරියව්ව කොඳු ඇට ශක්තිමත් වීමටත්, දණහිස් සන්ධි රෝගවලටත් සහ උකුල් ඇටේ ගැටලුවලටත් සුව දෙන ඉරියව්වකි. මෙම ඉරියව්වේ විනාඩි 5ක් පමණ රැ‍ෙඳමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න.

දැන් දෙවැනි ඉරියව්ව පුහුණු වෙමු. ඔබේ වම් පාදය ඉදිරියට යොමු කොට එය අංශක 45 කෝණයකට නවන්න. දකුණු පාදය දිගහැර දකුණු පාදයේ ඇඟිලි වම් පාදයට සමාන් තරව තබා ගන්න. කොන්ද කෙළින් කොට අත්දෙක ඉදිරියට විහිදුවා ඉදිරිය බලන්න.

දැන් සෙමින් ඔබේ දෙඅත් උරහිස්වලට සමාන්තරව ඉහළට ඔසවන්න. අත් හොඳින් ඉහළට ඇද කොන්ද සෘජු කොට නිකට ඔසවා ඉදිරිය බලාගෙන නාස් පුඩු තුළින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. බාහු දෙක කන් මත ඇති අතර ඉහළට එසැවී තිබිය යුතුය. අත් එකිනෙකට සමාන්තරව තබාගත යුතුය. දැන් සෙමින් හා රිද්මයානුකූලව ආශ්වාස ප්‍රාශ්වාස කළ යුතු අතර මෙම ඉරියව්වේ තත්පර 30 සිට තත්පර 60 දක්වා කාලයක් රැඳී සිටීමට උත්සාහ ගන්න.

දැන් මෙහි තෙවැනි ඉරියව්වට මාරු වෙන ආකාරය බලමු. මේ ආකාරයෙන්ම රැඳී සිට ඔබේ වම් අත ඉදිරියටත් දකුණු අත පිටුපසටත් තබා ගන්න. මෙහිදී වම හා දකුණ බලමින් උරහිස් සහ අත් දෙක සමාන්තරව තබා ගැනීමට උත්සාහ ගන්න. අත් අල්ල පොළොව දෙසට බර වී තිබිය යුතු ය. වැලමිට ළඟින් දෙඅත් නොනැමිය යුතුය. මෙය පුහුණුවන මුල් අවස්ථාවේදී දෙඅත්වලට සුළු වේදනාවක් ඇතිවිය හැකිය. නමුත් ක්‍රමයෙන් එය පහව යනු ඇත. මෙසේ වීර භද්‍රාසන ඉරියව්වේ තත්පර 30 - 60ක කාලයක් රැඳී සිට නැවත තඩාසන ඉරියව්වට පැමිණිය යුතුය. ඉන්පසු පෙරදී වම් පාදයට ආසනය පුරුදු පුහුණු වූ ආකාරයට දකුණු පාදයටත් එලෙස පුහුණු වන්න.

 

ප්‍රතිඵල

පළමු ඉරියව්ව පුරුදු පුහුණු වන විට දී රුධිරගත ඉන්ද්‍රියයන් ප්‍රාණවත් කරයි. පෙණහලු සහ ස්නායු පද්ධතිය සුවපත් කරයි. පෙණහලුවල ධාරිතාව වැඩි කරයි. හෘදය සුවපත් කරයි.

දෙවැනි, තෙවැනි, සිව්වැනි ඉරියව්වලදී දෙඅත් ශක්තිමත් කරයි. උරහිස්වල වේදනාවන් සමනය කරයි. අද බොහෝ කාන්තාවන් අත් උරහිස් ආසන්නව පහළට එල්ලා වැටෙන අතර මෙම ආසනයෙන් එම තත්ත්වය බැහැර කරයි. එබැවින් මෙය ඔබගේ දෛනික යෝගාසනවලට එකතුකර ගැනීම අතිශයින්ම වැදගත් වේ. ඔබත් මෙය දිනපතා පුරුදු පුහුණු වන්න.

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය