සල්ලි තිබ්බත් නැතත් ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් වෙන්න

ජුනි 10, 2024

ක්ලාස් එක කිව්වහම ඉස්කෝලෙ යන කාලේ නම් අපේ ඔළුවට ආවේ අපි ඉගෙන ගන්න පන්තිය. කැම්පස් ගියපු කාලේ ක්ලාස් එක කිව්වේ ලැබෙන පන්ති සාමාර්ථයට. හැබැයි ඊට පස්සේ ක්ලාස් එක කියලා හැමවෙලේම හඳුන්වන්නේ සමාජ පන්තිය ගැන. මේ සමාජ පන්තිය නිර්වචනය කරන විවිධ ආකාර තියෙනවා. හැබැයි අපි පොදුවේ හඳුන්වන පන්තිය, ක්ලාස් එක නැතිනම් ක්ලාසිනස් කියලා කියන්නේ මනුස්සයෙක්ගේ කොලිටිය ගැන.

ඔය ක්ලාසි කියන එක බොහොම අමුතු, අපූරු දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ක්ලාසි ගතිය සල්ලිවලට ගන්න බැරි වීම. සමහරු සල්ලි තියෙන නිසා ඉතාම හොඳට ඇඳලා පැලඳලා හිටියත්, සමහර වෙලාවට කට ඇරපු ගමන් ක්ලාස් එක බිම. එතකොට තව සමහරු ඉන්නවා කොයි තරම් දැනඋගත් වුණත් පෙනුමෙන් කිසිම ප්‍රියතාවක් ඇතිවෙන්නේ නැහැ. එහෙම අයගෙත් ක්ලාස් එකක් බැලූ බැල්මට පෙනෙන්නේ නෑ. හැබැයි ක්ලාසි වෙන්න කරන්න ඕනෙ දේවල් ඔතැනින් අවසන් වෙන්නෙත් නෑ. තව තියෙනවා. එතකොට මේ ක්ලාස් එකේ එහෙම නැතිනම් ක්ලාසිනස් එකේ තියෙන විශේෂම දේ තමයි, ඕනෙම කෙනෙක්ට උත්සාහයෙන් ක්ලාසි වෙන්න පුළුවන් වීම. 

එහෙම ක්ලාසි වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ කියන්න යන්නේ.

 

පෙනුමේ කොලිටිය

 

මුදල් හදල්, තත්ත්වය කොහොම වුණත්, කෙනෙක්ට තැනට ගැළපෙන විදිහට, පිළිවෙළට අඳින්න පලඳින්න බැරි නැහැනේ. තමන්ට තියෙන්නේ එක ඇඳුමක් වුණත්, ඒක ඇඟට ගැළපෙන විදිහට, පිළිවෙළට, පිරිසුදුවට අඳිනවා නම් අන්න ඒක ක්ලාසි. විශේෂයෙන්ම තමන්ගේ ඇඟට ෆිට් වෙන විදිහේ, අනවශ්‍ය විදිහට ඇඟට වඩා ලොකු නැති විදිහේ ඇඳුම් තමයි කෙනෙක්ට ගැළපෙන්නේ. සපත්තු දෙක කොයි තරම් පරණ වුණත් පොලිෂ් කරලා, හොඳ තත්ත්වයෙන් පලඳිනවා නම් ඒකෙන් ක්ලාස් එක ඔප්නැංවෙනවා. එතකොට තමන්ගේ ඇඳුම් ආයිත්තම්වලට ඕනෙ බෙල්ට්, පර්ස් වගේ අමතර උපාංග ගෑනු ළමයෙක්ට නම් පර්ස්, හෑන්ඩ්බෑග් වගේ උපාංග වගේම පලඳින ආභරණ ආයිත්තම් වුණත් සරල වෙන තරමට කෙනෙක්ගේ ක්ලාස් එක ඉස්මතු වෙනවා.

 

පෙනුම පවත්වා ගැනීම

 

කෙනෙක්ට තමන්ගේ පෙනුම මනාව පවත්වාගන්න, රැවුල හොඳින් කපලා හෝ ගාණට ට්‍රිම් කරලා, පීරලා, කොණ්ඩය හොඳට පීරලා, පෞද්ගලික පිරිසුදුකම මනාව පවත්වාගෙන, නියපොතු කපලා, දත් මැදලා පිරිසුදු කරගෙන ඉන්න බැරිකමක් නෑනේ. මෙන්න මේ දෛනිකව තමන්ගේ ශරීර සෞඛ්‍යය හා පිරිසුදුකම පවත්වාගන්න චර්යා රටාවන් නිසා කෙනෙක්ට ඉබේම හොඳ ක්ලාසි පෙනුමක් ලැබෙනවා. තමන්ට ශරීර යෝග්‍යතාවයත් හොඳින් පවත්වා ගන්න පුළුවන් නම් මේ ක්ලාසිනස් එක තවත් ඔප් නැංවෙනවා.

 

ට්‍රෙන්ඩ් එක!

සාමාන්‍යයෙන් දැන් ඔය ෆැෂන් ලෝකේ විතරක් නෙවෙයි, සෝෂල් මීඩියාවල වුණත්, සාමාන්‍ය සමාජයේ වුණත් නොයෙකුත් ට්‍රෙන්ඩ්ස්, ඒ කියන්නේ රැලි එනවා. සමාජේ ඉන්න ගොඩක් දෙනෙක් ඒ රැලිත් එක්කම යන්නත් උත්සාහ කරනවා. හැබැයි ඔතැනදී මෙහෙම දේකුත් තියෙනවා. ඔය හැම රැල්ලක්ම තමන්ට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත්, අලුතෙන්ම එන බැගී ෆැෂන් රැල්ල ඇත්තටම ගැළපෙන්නේ නව යොවුන් අවධියේ ඉන්න අයට වෙන්න පුළුවන්. එතකොට වයසින් වැඩි මනුස්සයෙක් ඒ ෆැෂන් එක කරන්න ගියහම ඉබේම ඒ මනුස්සයාගේ ක්ලාස් එක බහිනවා.

ෆේස්බුක් රැලි සහ වෙනත් රැලි ගත්තත් ඒක එහෙමම තමයි. උදාහරණයක් විදිහට කොමඩි විදිහේ සෙල්ෆි දාන රැල්ලක් එන්න පුළුවන්. හැබැයි යම් කිසි මනුස්සයෙක්ගේ වයසේ සහ තත්ත්වයේ හැටියට එහෙම එකක් කළහම ක්ලාස් එක නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ට ගැළපෙන ට්‍රෙන්ඩ්ස් විතරක් අනුගමනය කරන්න පුරුදු වෙන්න වුවමනායි.

 

කතාබහේ කොලිටිය

ඇත්තටම කෙනෙක්ට ක්ලාස් එකක් පවත්වා ගන්න නම් හොඳ අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි. මේ කියන්නේ විධිමත් අධ්‍යාපනය ගැනම නෙවෙයි. අවිධිමත් අධ්‍යාපනය වුණත් කමක් නෑ. අධ්‍යාපනයෙන් කෙනෙක්ගේ සිතන පතන විදිහ, කතාබහ කරන විදිහ, ලෝක දැක්ම වගේ දේවල්වලට ආලෝකයක් ලැබෙනවා. අන්න එතකොට එහෙම මනුස්සයෙක් එක්ක කතාබහ කරනකොට ඒ කතාබහේ ලොකු කොලිටියක් දැනෙනවා. අන්න ඒක තමයි ක්ලාස් එක කියන්නේ. විශේෂයෙන්ම තැන නොතැන නොබලා කුණුහරුප කියන, චාරයක් නැතුව කතා කරන, කෙනෙක්ට නිගරු වෙන විදිහට කතා කරන අයට ක්ලාස් එකක් නැහැයි කියන එක අපිට හිතට යන දෙයක්. 

ඒ වගේම තමයි, තමන් හොඳ ආත්ම විශ්වාසයක් ඇතිව, පැහැදිලිව කතා කරන එකත්, වාචාල කතා නොකියන එකත්, අනවශ්‍ය දේවල් කතා නොකරන එකත් ක්ලාසි වීමේ පැහැදිලි ලක්ෂණ. 

 

නිගරු කිරීම් මොනවාද, කොන් කිරීම් මොනවාද කියා දැන සිටීම

සමහර මිනිස්සු ඉන්නවා, කොච්චර දැන උගත්කම් තිබුණත්, මුදල් හදල් තිබුණත් දන්නේ නැති එකම දේ තමයි තවත් කෙනෙක්ට ගරු කරන්නේ කොහොමද, කෙනෙක්ව කොන් නොකරන්නේ කොහොමද, කෙනෙක්ව ඒ ආකාරයෙන්ම පිළිගන්නේ කොහොමද කියන එක. ආන්න ඒ වගේ අයගේ කිසිම ක්ලාස් එකක් පේන්නෙත් නෑ. උදාහරණයක් විදිහට ගත්තොත්, “ගෑනුන්ට කොහෙද මොළේ” කියලා උපහාසෙට හිනාවෙන මනුස්සයෙක්ගේ කිසිම ක්ලාස් එකක් නෑ. වෙනත් ජාතියකට, වෙනත් ආගමකට කොන් කිරීමක්,

වෙනස් කමක් නොකර සලකන්න දන්නේ නැති මනුස්සයෙක්ගේ කිසිම ක්ලාස් එකක් නෑ. තමන්ට වඩා වැඩිමහලු වේවා, බාල වේවා, තත්ත්වයෙන් උසස් වේවා, තත්ත්වයෙන් පහත් වේවා කෙනෙක්ට ගරුසරු ඇතිව කතා කරන්න දන්නෙ නැති කෙනෙක්ගේ ක්ලාස් එකක් නෑ.

 

කොලිටි ආකල්ප තියෙන මනුස්සයෙක් වීම

ක්ලාසි මනුස්සයෙක් කියන්නේ හොඳ කොලිටීස් තියෙන මනුස්සයෙක් වීම තමයි. අන්න ඒකට පෙනුමේ කොලිටිය, කතාබහේ කොලිටිය වගේම ආකල්පවල කොලිටියත් වැදගත් වෙනවා. ඇත්තටම උඩ කියලා තියෙන ගරු කටයුතු හැසිරීමටත් මේ ආකල්පවල කොලිටිය වැදගත් වෙනවා.

ආකල්පවල කොලිටිය කිව්වහම සෑහෙන පුළුල්ව කතා කරන්න ඕනෙ දෙයක්. හැබැයි පොදුවේ කියන්න පුළුවන් තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් වුණත්, සමාජයේ වෙනත් දෙයක් සම්බන්ධයෙන් වුණත් ප්‍රොෆෙෂනල් විදිහට කටයුතු කිරීම, හැමදේකදීම තමන්ගේ සීමාවන් හරියාකාරව පවත්වා ගැනීම, තමන් කරන කියන දේවල් සම්බන්ධයෙන් හොඳ අවංක, අව්‍යාජභාවයක් පවත්වා ගැනීම වගේ දේවල්. උදාහරණයක් විදිහට කිවුවොත්, අනුන්ගේ කුණු හෙවීම, ඕපදූප කතා කිරීම, කේලම් කීම, නැති තැන දොස් කීම වගේ දේවල් කොලිටියක් නැති මනුස්සයෙක්ගේ ගති ලක්ෂණ තමයි.

 

ක්ලාස් එක ගැන කතා නොකිරීම

අවසාන වශයෙන් මේකත් කියන්න ඕනෙමයි. තමන්ගේ ක්ලාස් එක ගැන  ලොකුකම් නොකියවීම, තමන් ගැන ලොකුකම් නොකියවීම අනිවාර්යයෙන්ම හොඳ ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක්ගේ ලක්ෂණයක්. “මම හොඳ ක්ලාස් එකක් තියෙන කෙනෙක්”, “අපේ මමී ඩැඩී අහවල්ලු”, “අපි කවුද උන්ව ගණන් ගන්න” වගේ ටෝක්ස් නොදීම වගේම තමන්ට තියෙන දේවල්, තමන් ළඟා කරගත්තු දේවල් ගැන පම්පෝරි නොගහන එකත්, වැදගත් ක්ලාස් එකක් හිමි පුද්ගලයෙක්ගේ ලක්ෂණයක්.

ඇත්තටම ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් වෙන්න තියෙන්න ඕනෙ තවත් දේවල් කියන්න පුළුවන්. හැබැයි ආයෙමත් කෙටියෙන් කිවුවොත්, කොලිටියක් තියෙන මනුස්සයෙක් වෙන එක තමයි ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් වෙන එක කියන්නේ.  දැන් තේරෙනවා නේද ක්ලාස් එකක් තියෙන කෙනෙක් වෙන්න සල්ලි, බලය අවශ්‍ය නෑ කියලා.