රට රනින් බබළවන රත්තරන් හී සැරය

අනාගත අපගේ ඔලිම්පික් සිහිනය
ජුනි 10, 2024

තරුෂි ගැන තරුණී පාඨකයන්ට අමුතුවෙන් අකුරු කළ යුතු නොවේ. ඇය ඒ තරමටම අපට සමීපය. ඇය ගැන අප තැබූ අපේක්ෂා අපමණය. ඒ ගැන පන්හිඳෙන් අප තැබූ සටහන් ද බොහෝය. ඇයගේ රුවෙන් තරුණී මුල්කවරය ද හැඩ වූයේ පසුගිය වසරේ ආසියානු මීටර් 800 තරගාවලියේ ඇය තැබූ වාර්තාවත් සමඟිනි. තරුෂි තරුවක් වන බව අප සක්සුදක් සේ දැක්කේ බොහෝ කලකට පෙරය.


ඇය තවමත් වයස අවුරුදු විස්සක තරුණ ක්‍රීඩිකාවකි. මේ තරම් තරුණ වයසේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ලෙස ඇය තැබූ වාර්තා ගොන්නකි. ඒ සියලු වාර්තා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී තිබේ. මේ සියලු ජයග්‍රහණ හමුවේ ඇයට යෝධ ශක්තියක් බවට පත්වන්නේ ඇයගේ මව හා පියාය. නිලාන් කරුණාරත්න සහ නිදූෂිකා කරුණාරත්න යුවළගේ සිහින ලෝකය වූයේ තරුෂි සහ ඇයගේ සහෝදරයා වන හර්ෂ කරුණාරත්නය. මේ දෙදෙනාම තම මව්පියන්ගේ අනන්ත වූ කැප කිරීමට වටිනාකමක් හිමිකරදී හමාරය. ඒ වගේම මේ තරුව ලෝකයේ දිනන තරුවක් බවට පත් කරන්නට කැප වූ නිහඬ අරගලයක් කළ යෝධ ශක්තිය වන්නේ සුසන්ත ප්‍රනාන්දු නම් දක්ෂ පුහුණුකරුය. වලව මහා විද්‍යාලයෙන් ක්‍රීඩා තරු බිහිකරන්නට උපන් හපන්කම් ඇති සුසන්ත මහතා තරුෂිව හඳුනා ගන්නේ වයස අවුරුදු දහතුනේදීය. ඉතා කෙසඟ ශරීරයක් ඇති මේ කුඩා දැරිවිය මලල ක්‍රීඩා තරග සඳහා සහභාගී කර ගැනීමට තරම්වත් බරක් නොමැති පසුබිමක අභියෝගය මැද ඇයව මෙහෙය වූයේ සුසන්න ප්‍රනාන්දු ගුරුතුමාය. මේ වසරේදී උසස් පෙළ සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටි ඇයට පසුගිය කාලය පුරා පැවැති තරග කිහිපයක් නිසා උසස් පෙළ සඳහා පෙනී සිටීමට නොහැකි වුවත් ඇය පසුගියදා ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට විශාල ගෞරවයකි.

පසුගියදා තායිවානයේ පැවති විවෘත මලල ක්‍රීඩා තරගයකට සහභාගී වූ තරුෂි රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූයේ තරගාවලියේ පළමු දිනයේදීමය. මීටර් හාරසීය තරගය සඳහා සහභාගි වූ තරුෂි එම තරගය තත්පර 52.48කින් නිම කරමින් වාර්තාවක් තැබූ අතර මීටර් 800 තරගය මිනිත්තු 2.05.74 නිම කරමින් තවත් රන් පදක්කමක් දිනාගත්තාය.

මේ ජයග්‍රහණය සමඟ තරුෂි ජාත්‍යන්තර මලල ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පදනමේ 59 ස්ථානය හිමිකරගෙන සිටියි. මෙලෙසින් ශ්‍රේණිගත කිරීම අනුව ඇය මේ මස 31 වැනි දිනට පෙර මීටර් 800 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ මුල් 48 දෙනා අතරට පැමිණියහොත් ඇය පැරිස් ඔලිම්පික් උෙලළට සුදුසුකම් ලබාගනු ඇත.

එසේ ඇය සුදුසුකම් ලැබුවොත් අපට නැවතත් ඔලිම්පික් පදක්කමක් ගැන අපේක්ෂා තැබීමට වාසනාව හිමිවෙයි. තරුෂි කෙසේ හෝ මේ ඉලක්කය කරා ළඟාවනු නියතය. ඇයට මෙවර ඒ අවස්ථාව අහිමි වුවත් ඇයගේ වයස් ප්‍රමාණය අනුව ඉදිරියේදී අපේ රට ජාත්‍යන්තරයට රැගෙන යනු නියතය. එතෙක් අපි දෑස් දල්වාගෙන බලා සිටිමු. මෙවර තරුණීයේ කවරයෙන් හැඩවෙන ඇය අනාගතයේ ඔලිම්පික් රන් පදක්කමක් සුරැතිව පැමිණෙන දිනය වැඩි ඈතක නොවේ.