ඔයාටත් වෙලාවක් නැද්ද?

ජුනි 24, 2024

දවසකට පැය විසි හතරත් මදි කියලා කියන කට්ටිය අපිට කොයි තරම් මුණගැහිලා තියෙනවද? හැබැයි දාර කම්මැලියෝ නෙවෙයි නම්, අපිට ඒ කියන දේ තේරුම් ගන්න පුළුවන්, හා නැද්ද? උදාහරණයක් විදියට ගත්තොත්, ඔය විභාගයක්, එසයිමන්ට් එකක් එහෙම ළං වෙනකොට එහෙම තමයි කාලයේ අගය දැනෙන්න පටන් ගන්නේ. කොහොම වුණත් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට නම් කොහොම කළත් කාලයේ අගය හොඳටම දැනෙනවා. ඒක තමයි ඇත්ත.

 
දැන් කාලයේ අගය දැනගෙන ඉඳීම එක දෙයක්. හැබැයි කොච්චරවාත් තමන් වෙනුවෙන් වෙලාවක් ඉතුරුකර ගන්නවත් බැරි තරමට, කරන්න තියෙන වැඩ ඉවරකර ගන්නවත් බැරි තරමට කාලය නැති නම්, ආන්න ඒක ප්‍රශ්නයක්. ඒකට හේතුව එක්කෝ, මනුස්සයෙක්ට කරලා ඉවර කරන්න බැරි තරම් වැඩ ගොඩගසා ගැනීම. එක්කෝ දුර්වල කාල කළමනාකරණය. ඉතින් ඔය දෙකෙන් කෝක වුණත් විසඳාගන්න අවශ්‍ය ප්‍රශ්න තමයි. හැබැයි හරියට කාලය කළමනාකරණය කරගත්තොත් ඕනෙ වැඩක් හරි වෙලාවට ගොඩ දාගෙන නිදහසේ ඉන්න වෙලාවකුත් වෙන්කර ගන්න පුළුවන්.
 

ලිස්ට් එකට වැඩ

වැඩ කරනකොට වෙලාව ඉතුරුකර ගන්න ඕනෙ නම්, මේක බොහොම හොඳ පුරුද්දක්. ඒ තමයි කලින් දවසේ රෑම අද දවසේ කරන්න ඕනෙ, කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික ලැයිස්තුවක් හදලා තියන එක. ඒකට තමයි ටු ඩූ ලිස්ට් කියන්නේ. දැන් ඔය ටු ඩූ ලිස්ට් හදන්න නොයෙකුත් ක්‍රම තියෙනවා. එතකොට ටු ඩූ ලිස්ට් වෙනුවෙන්ම නොයෙකුත් ඇප්ස් එහෙමත් තියෙනවා. ඒත් ඕනෙ නම් පරණ විදියට සටහන් පොතක ටු ඩූ ලිස්ට් එක ලියන්නත් පුළුවන්. හැබැයි මෙතැනදී කල්පනාකාරී වෙන්න ඕනෙ, දවසකට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් ලිස්ට් එකට ඇතුළත් කරන්න. එහෙම නැතුව සතියෙම වැඩ එක දවසේ ටු ඩූ ලිස්ට් එකට දානවා කියන්නේ ආයෙත් ටයිම් මැනේජ්මන්ට් එක ෆුල් අවුල් වෙන එක තමයි.
 

පාන්දරින්

බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් ලෝකේ හිටපු සෑහෙන්න වැඩ කරපු මිනිස්සුන්ගේ ජීවන චර්යාවන් අධ්‍යයනය කළොත් පේන දෙයක් තමයි, ඒ හැම කෙනෙක්ට උදැහැනැක්කෙන්ම නැඟිටලා වැඩ කරපු උදවිය කියන එක. ඇත්තටම පාන්දර පහට විතර නැඟිටලා, හොඳ වෝක් එකක් එහෙම දාලා, එක්සයිස් පාරක් එහෙම දාලා, වොෂ් එකක් අරගෙන නවය වෙනකොට වැඩ කරන්න වාඩි වෙලා බලන්න. ඇත්තටම දවස ගතවෙන්නෙ නෑ වගේ. වැඩකර ගන්න පුදුම විදිහට වෙලාව තියෙනවා. හොඳ කාර්යක්ෂමතාවයකුත් තියෙනවා. ඇඟටත් ෆිට්. වැඩ සෑහෙන්න දුරට ඉවරකරලා කලින් නිදාගන්නත් පුළුවන් වෙනවා.
 

වෙලාවට වැඩ කරමු

මෙන්න මේකත් අපිට වෙලාව ඉතුරුකර ගන්න හොඳ ක්‍රමයක්. දැන් අපි මොකක් හරි වැඩක් කරන්න ගියහම, ඒක අපිට ගිණි කසේට එහෙන් මෙහෙන් දමලා ගහන්නත් පුළුවන්. හෙමීට හෙමීට නාකි බල්ලෝ කොළඹ යනවා වගේ කරන්නත් පුළුවන්. ඒ වගේම කඩිසරව කොලිටියත් රැකගෙන ඉවර කරන්නත් පුළුවන්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ තුන්වෙනි එක. අන්න ඒක කරන්න අපි බලමු අවධානය වෙන පැත්තකට යොමු නොකර මේ වැඩේ හොඳ කොලිටියෙන් ඉවර කරන්න. හැබැයි වැඩේ පටන් ගත්තු මොහොතේ ඉඳන් වෙලාව හරියට ටයිම් කරන්න. ඒවා ලියලා තියාගන්න. ඊළඟ දවසේ ඊට වඩා අඩු වෙලාවකින්, හැබැයි ඒ කොලිටියෙන්ම ඒ වැඩේ කරන්න පුළුවන්ද බලන්න. විශේෂයෙන්ම ඔය ටයිම් ෂීට් ක්‍රමේට වැඩ කිරීමෙන්, අපිට ඉතාම හොඳට අපේ කාල කළමනාකරණය ඉෂ්ටකර ගන්න පුළුවන්. ඒ වගේම, අනවශ්‍ය විදියට වැඩ ගොඩ ගැහෙන එක නවත්ත ගන්නත් පුළුවන්. 
 

ෆෝකස් ටයිම්

සාමාන්‍යයෙන් වැඩක් කරන්න ගත්තහම අපිට ඇත්තටම ඒ වැඩේ කරන්න පුළුවන්. වෙලාව වගේ දෙතුන් ගුණයක වෙලාවක් යන්න සුලභ හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ අවධානය වැඩේ කරන අතරෙදීත් එහා මෙහා වීම. ආන්න ඒක වළක්වා ගන්න පුළුවන් අපි මීට කළිනුත් කියලා තියෙන පොමොදෝරෝ ක්‍රමය ඔස්සේ. දවසේ වෙලාව ඉතුරුකර ගන්න මේක කියාපු සාස්තරයක්. වැඩේ සරලයි. විනාඩි විසිපහක් වෙන කිසිම බාධාවකින්, අවධානය ඉවත යෑමකින් තොරව වැඩේ කරනවා. විනාඩි පහක් විවේක ගන්නවා. ආයෙ විනාඩි විසිපහක් අර විදියටම වැඩේ කරනවා. ඔය විදියට කරගෙන යනකොට අපිට තේරෙයි කොයි තරම් වෙලාවක් අපිට ඉතුරු කරගන්නත් පුළුවන්ද කියලා.
 

මල්ටිටාස්කින් හරියට

දැන් කාලේ ඔෆිස් එකකදී වුණත්, ගෙදර දොරේදී වුණත් අපිට සෑහෙන්න මල්ටිටාස්කින් කරන්න වෙනවා. ඒ කියන්නේ වැඩ කීපයක් එක පාර කරන්න වෙනවා. හැබැයි මෙතැනදී ගොඩක් අය පටලවා ගන්න කාරණයක් තියෙනවා. මල්ටිටාස්කින් කියන්නේ අර අත් දෙකකින් පොත් දෙකක එක පාර ලියනවා වගේ වැඩක් නෙවෙයි. අපි එහෙම එක පාර වැඩ දෙක තුන කරන්න ගියොත් වෙන්නේ එක වැඩක් වත් හරියට වෙන්නෙ නැති එක. අන්න එතකොට වැඩ දෙක වෙන වෙනම කරන්න යන වෙලාව වගේ ඩබල් වෙලාවකුත් යනවා, වැඩේ කොලිටිය ගැන ෂුවර් එකකුත් නැතුව යනවා. ආන්න ඒ නිසා හරියට මල්ටිටාස්කින් කරන්න ඉගෙන ගමු. පටන් ගැන්මට මෙහෙමයි. අපි රිපෝට් එකක් ලියනවා කියලා හිතන්න. හැබැයි ඒ අතරෙම අපිට තව වැඩක් තව කාටහරි කියලා කරවගන්නත් තියෙනවා. එතකොට රිපෝට් එක ලියන අතරේ අර වැඩේ ගැන ෆලෝ අප් කරන්න පුළුවන්. එහෙම නැතුව එක පාර රිපෝට් දෙකක් ලියන එක නෙවෙයි මල්ටිටාස්කින් කියන්නේ.
 

ලේසි ටික කලින් ඉවර කරමු

මේක ගොඩක් දෙනෙක් පටලවා ගන්න, හැබැයි බොහොම පහසුවෙන් වැඩ ඉවර කරන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි, ලේසි වැඩ ටික කලින් ඉවර කරන එක. සාමාන්‍යයෙන් අපේ වැඩ ලැයිස්තුව බැලුවොත්, විනාඩි පහෙන් දහයෙන් ඉවර කරන්න පුළුවන් වැඩත් කීපයක් හරි තියෙනවා. හැබැයි අපි ඒවා අල්ල අල්ල තියාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට අර වෙලාව ගතවෙන ලොකු වැඩ තමයි අපි මුලින් කරන්න ට්‍රයි කරන්නේ. අන්න ඒ ක්‍රමය අයින් කරන්න. මුලින්ම අර විනාඩි පහේ දහයේ වැඩ ටික කරලා ඉවර කරන්න. ඊට පස්සේ ප්‍රමුඛතා පිළිවෙලට අනික් වැඩ කරන්න උත්සාහ කරන්න.
 

නින්ද කලින්

අවසානයට මේක තමයි ඉතින් අත්‍යවශ්‍යම කාරණය. අපි උඩිනුත් කිව්වනේ දවස පාන්දරින් පටන් ගන්න තරමට වැඩ කරන්න තියෙන දවස දිගයි කියලා. ඉතින් එහෙම උදෙන්ම වැඩ පටන් ගන්න නම් උදෙන්ම නැගිටින්න ඕනෙ. එතකොට උදෙන්ම නැගිටින්න නම් කල් ඇතිව රාත්‍රියට නිදාගන්න ඕනෙ. ආන්න ඒක කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නම් දේව වාක්‍යයක් වගේ පිළිපදින්න ඕනෙ සත්‍යයක්. සමහර වෙලාවට අපිට නයිටක් කාරිය ගහලා වැඩ කරන්න වෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි ඒක කලාතුරකින් තමයි වෙන්නෙ ඕනෙ. එහෙම නැතුව සතිපතා පාන්දර වෙනකල් ඇහැරගෙන ඉන්න එකෙන් ඇත්තටම වැඩ කරන්න තියෙන වෙලාව අඩු වෙනවා. ඇයි එහෙම කියන්නේ? අපිට හරි වෙලාවට හරි ප්‍රමාණෙට රාත්‍රී නින්ද නැතිවෙනවා කියන්නේ, ඊළඟ දවසේ අපේ කාර්යක්ෂමතාවය අඩුවෙනවා කියන එක තමයි. එතකොට වැඩ ඉවරකර ගන්න වෙලාව මදි.
 
 හැබැයි ජීවිතය කියන්නේ වැඩ විතරක්ම නෙවෙයි කියන එකත් මතක තියාගන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ හැපනින් ලයිෆ් එකක් ලබා ගන්නයි. ඉතින් වැඩ කරලා වැඩ කරලා ඉතුරු වෙලාවෙත් වැඩම කරන්න ගියොත් ජීවිතය එපා වෙලා යයි. ඒ නිසා ඉක්මනින් වැඩ කරලා හැපී එකේ ඉන්න හදාගන්න වෙලාවට ඒ ෆන් එක ගන්න අමතක කරන්න එපා. එතකොටයි ඊළඟ දවසේ ඊටත් වඩා උනන්දුවෙන් වැඩ කරන්න හිතෙන්නේ.