වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අරණායකින් ඇසෙන දෙබිඩි නිවුන්නුන්ගේ සංවේදී කතාව
එක මව් කුසකින් නිවුන් දරුවන් ලෙස මෙලොව එළිය දකින්නේ සංසාරගත බැඳීමක ප්‍රතිඵලයක් විදිහට. එවන් දරුවන් සමාජය තුළ සැලකෙන්නේ වාසනාවක් හැටියට. ඒත් මේ කියන්නේ එකම අම්මාගෙ කුසේ නිවුන් සහෝදරියන් විදිහට විතරක්ම නෙවෙයි ශරීරයෙනුත් බද්ධ වෙලා මෙලොව එළිය දුටු දරුවන් දෙදෙනෙක් ගැන. මේ දැරියන් ජීවත් වෙන්නේ අරණායක උඩගම ප්‍රදේශයේ. ඔවුන්ගේ වයස අවුරුදු 3ක්. මේ වයසේ අනෙක් දරුවෝ හිතේ හැටියට දුවලා පැනලා සෙල්ලම් කළත් දඟකාරකම් කළත් මේ දරු පැටවුන්ට ඒ දේවල් අකැපයි. ඒ එකිනෙකා වෙනුවෙන් අනෙකාගේ බරත් ශාරීරිකව දරන්න සිදුවීම නිසා.
එකිනෙකාට බද්ධ වුණු වයස අවුරුදු තුනක නිවුන් දරු පැටවුන් දෙදෙනෙක් සමඟ ජීවිතයේ අනේක දුක් විඳින මවක සහ පියෙකු ගැන අතිශය සංවේදී පුවතකුයි අද අප ඔබට ගෙනෙන්නේ. මේ සමන් කුමාර කරුණාරත්න සහ ඔහුගේ බිරිය රම්‍යා ජයරත්න රටට කියන ඔවුන්ගේ කතාවයි.
දෙවැනි වරට පවුලටම සතුට රැගෙන පැමිණි දරු ගැබ පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔවුන්ට සඳහන්කර තිබුණේ ඔවුන්ට නිවුන් දරුවන් ලැබීමට සිටින බවයි. ඒ දිනවල පැවති කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙම යුවළ කෑගල්ල මහ රෝහලේ පශ්චාත් ප්‍රසූති හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා හමුවට ගොස් තිබුණා. එහිදී මෙම දරුවන් නිවුන් දරුවන් බවත්, ඔවුන් එකිනෙකාට බද්ධව සිටින බවත් ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව එම වෛද්‍යවරයා සඳහන්කර තිබුණා. ඒ අනුව පේරාදෙණිය මහ රෝහලේදී 2021 මැයි මස 11 වැනිදා සිදු කළ සිසේරියන් සැත්කමකින් දරු දෙදෙනා බිහි කිරීමට රම්‍යා සමත් වුණා. මෙම දැරියන් ඉණ ප්‍රදේශයෙන් බද්ධව සිටින අතර පපු ප්‍රදේශ දෙකක් සහ වකුගඩු දෙකක් පිහිටා තිබෙන නිසා සැත්කමක්කර දෙදෙනාටම වෙන් වශයෙන් බද්ධ කිරීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන් සඳහන්කර තිබෙන්නේ. දැරියන්ට වයස අවුරුදු 4ක් වීමට පෙර සැත්කම සිදුකළ යුතුබව වෛද්‍යවරු සඳහන්කර ඇතත් එම සැත්කම් මෙතෙක් සිදුකර ගැනීමට නොහැකිව තිබෙනවා.
මෙම දරුවන්ගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්වන අතර, ඔහුගේ වම් අත කැපීමකට ලක්ව ඇති නිසා මේ වනවිට සිය වෘත්තියේ නියැළීමට පවා නොහැකිව තිබෙනවා. දැරියන්ගේ මව ඇඳුම් මසා ජීවිකාව රැක ගැනීමට අසීරු උත්සාහයක නිරත වෙනවා. මෙම කුඩා දැරියන් දෙදෙනා රැක බලා ගැනීම සඳහාත් කිරි සහ අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහාත් විශාල වියදමක් දැරීමට සිදුව ඇති බවයි දරුවන්ගේ මව සඳහන් කරන්නේ.
දැරියන්ගේ මව ඇගේ හදවතේ නැෙඟන වේදනාව වචනවලට පෙරළුවේ මේ විදිහට...
මේ දරුවෝ දෙන්නා ඉපදුණු දවසේ ඉඳලම මම ගේ ඇතුළෙම තියාගෙනයි හදාගත්තේ. වෛද්‍යවරු කිව්වේ අවුරුදු 4ක් වෙන්න කලින් ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා. දැන් මෙයාලට අවුරුදු 3ක් වෙනවා. තාමත් ඔපරේෂන් එක කරගන්න බැහැ. මේ දරුවෝ දෙන්නා හම්බුණාට පස්සේ අපි ආර්ථික පැත්තෙන් විතරක් නෙමෙයි හැම පැත්තෙන්ම දුක් වින්දා. මහත්තයගේ අත කැපුණ නිසා එයාටත් මුකුත් කරගන්න බැහැ. ඒත් අපි ජීවත් වෙන්න ඕනෙනේ. ඉතින් මං ඇඳුම් මහනවා. ඒකෙන් තමයි කීයක් හරි හොයාගන්නේ. පොඩි දෙන්නාගේ ඔපරේෂන් එකටත් සල්ලි හොයන්න ඕනේ. ඒක පොඩි ඔපරේෂන් එකක් නෙවෙයි. ඒ ඔපරේෂන් එකෙන් පස්සෙත් හොස්පිටල් එකේ කොච්චර කාලයක් ඉන්න වෙයිද, කොච්චර මුදලක් යයිද කියලා හිතාගන්න බැහැ තාම. පොඩි දෙන්නා හම්බෙන්න කලින් අපි හොඳට ජීවත් වුණා. අපිට මේ දෙන්නා කරදරයක් නෙවෙයි. මම පුදුම විදිහට මේ දෙන්නට ආදරෙයි. අනේ මට ඒ දෙන්නව දැක්කම ඉවසන්න බැහැ. තමන්ගේ දරුවෙක්ට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් මව්පියෝ කොච්චර දුක් වෙනව ද? මම මගේ දරුවෝ දෙන්නා එක්ක පුදුම ගින්දරකින් ජීවත් වෙන්නේ. මේ නොදරුවන්ගේ අහිංසක මූණ බලන් අම්මා කෙනෙක් කොහොමද උහුලන්නේ. අනේ මාත් ආසයි මේ දරුවෝ දෙන්නා අනෙක් දරුවෝ වගේ සාමාන්‍ය විදිහට සෙල්ලම් කරනවා දකින්න. හැම රැයකම අපි නිදි නැතුව කල්පනා කරන්නේ මේ දරුවෝ දෙන්නාගේ ඔපරේෂන් එක කරලා දරුවෝ දෙන්නව හොඳ කරගන්නේ කොහොමද කියලා. අනේ මම හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ දරුවෝ දෙන්නව සුවපත් කරගන්න උදවු කරන්න කියලා.
මේ ළමයි දෙන්නා නිසා අපි ජීවිතේම කැප කරලා තියෙන්නේ. මෙයාලව බලා ගන්න මම ඉන්නම ඕනේ. මේ විදිහට අපිට බබලා එක්ක ගමනක් බිමනක් යන්න බැහැ. මෙයාලට අසනීපයක් වුණත් පේරාදෙණිය හොස්පිටල් එකට තමයි අපි අරගෙන යන්නේ. එහෙ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා මේ හැමෝම මට ගොඩක් උදවු කරලා තියෙනවා. මේ බබාලා ඉපදිලා මාස එකහමාරක් විතර එහෙ හිටියේ.
දරුවෝ දෙන්නම එකට ඉන්න නිසා එයාලව පාලනය කරන්න අමාරුයි. ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්නේ එයාලව අඬවන්නේ නැතුව සන්සුන්ව තියන්න. දෙන්නා එකට ඉන්න නිසා නාවන එක, නිදි කරවන එක, කවන එක වුණත් ලොකු අභියෝගයක්. ඉතින් අපි දෙන්නගේ ඉවසීමයි, දරුවන්ට තියෙන ආදරයයි නිසා තමයි මේ දරුවෝ දෙන්නා මේ විදිහට හරි ජීවත් වෙන්නේ.
කඳුළු පිරි දෑසින් ඒ අහිංසක අම්මා ඔබෙන් ඉල්ලන්නේ වෙන කිසිවක් නොව මේ නොදරුවන්ගේ පුංචි හිත් සතුටින් තියන්න උපකාරයක්.
දරුවෙක් කියන්නේ මවකට වගේම පියෙකුටත් මහමෙරක්. තමන්ගේ දරුවෙක්ට දුකක් කරදරයක් කිව්වම මොන තාත්තද හිත නිදහසින් ජීවත් වෙන්නේ. මේ දරුවන්ගේ පියත් හැම තත්පරයකම හිතන්නේ තම දරු දෙදෙනාව සුවකර ගැනීමටයි. මේ ආදරණීය නිවුන් දරුවන්ට ඔවුන් දාලා තිබුණේ ආදරණීය නම් දෙකක්. ලිතුලි මනුල්යා කරුණාරත්න, ලිනුලි තරුල්‍යා කරුණාරත්න. ලිතුලි සහ ලිනුලි මේ නිවුන් දූ සිඟිත්තියන්ගේ අහිංසක සිනහව දකින කාගෙත් නෙතට නැඟෙන්නේ කඳුළකි. එකිනෙකාට බද්ධව සිටින මේ නොදරුවන් කුමක් දනී ද?
උතුරා යන පිය සෙනෙහසින් දරුවන් තුරුළුකරගත් දරුවන්ගේ පියා, සමන් කුමාරත් වචන කිහිපයක් ගළපා ගත්තේ මේ විදිහට.
අපිට ලැබෙන්න ඉන්නේ නිවුන් දැරුවෝ කියද්දි තාත්තෙක් විදිහට මම ගොඩක් සතුටු වුණා. මොන තාත්තද අකැමැති නිවුන්නු ලැබෙන්න ඉන්නවා කියද්දි. එතකොට කුසට මාස තුනයි. මොකද අපිට හිටියේ ලොකු දුව විතරයිනේ. එයාට දැන් වයස අවුරුදු 17යි. ඊළඟ ස්කෑන් එකේදී තමයි කිව්වේ මේ නිවුන් දරුවන් ශරීරයෙන් බද්ධ වෙලා වගේ පේනවා කියලා. ඒ කාලේ දරුණුවටම කොවිඩ් වසංගතය තිබුණ කාලයක්. ඒ නිසා ස්කෑන් කිහිපයක්ම මඟ හැරුණා. අන්තිම ස්කෑන් එකේදි තමයි දරුවෝ බද්ධ වෙලා ඉන්නේ කියලා හරියටම කිව්වේ. ඩොක්ටර් අපිට කොළේක ඇඳලා පෙන්නුවා එයාලා ඉන්න විදිහ. අනේ අපිට දරාගන්න බැරි වුණා. මොනවා කරන්නද මේ අපිට ලැබුණු දේ. පේරාදෙණිය හොස්පිටල් එකේදී තමයි දරුවෝ දෙන්නා ලැබුණේ.
ඇයි මේ වෙනකම්ම ඔපරේෂන් එක කල් ගියේ?
ලොකුම හේතුව වුණේ අපි කාටවත් කියලා තිබුණේ නැහැ අපිට ලැබුණේ මේ විදිහේ දරුවෝ දෙන්නෙක් කියලා. පේරාදෙණිය හොස්පිටල් එකේදි මේ දරුවෝ ලැබුණම ඒ වෛද්‍යවරයා කිව්වා මේ ගැන කිසිම මාධ්‍යයකට කියන්න එපා කියලා. එයාලා කිව්වේ මාධ්‍යයට කිව්වොත් නැති ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි කියලා. ඒ වෛද්‍යවරයා පොරොන්දු වුණා දරුවෝ දෙන්නට අවුරුද්දක් වුණාම එයාලා වෙන් කරන ඔපරේෂන් එක කරනවා කියලා. අනේ අපි ඒ වෛද්‍යවරයාව විශ්වාස කරගෙන හිටියා. අවුරුද්දකින් ගිහින් ඇහුවාම තව අවුරුද්දකට කල් ගියා. ඒ අතරේ එයාලා දරුවන්ව රිජ්වේ රෝහලේ ස්කෑන් එකකටත් යොමු කළා. ඒකෙදි කිව්වේ දරුවෝ දෙන්නටම තියෙන්නේ වකුගඩු දෙකක් සහ දරුවෝ දෙන්නටම සම්බන්ධ තව පොඩි වකුගඩුවක් තියෙනවා කිව්වා. ඒ ස්කෑන් එකෙන් පස්සෙත් කීප සැරයක්ම මම පේරාදෙණිය හොස්පිටල් එකට ගියා. ඔපරේෂන් එක දවසින් දවස පරක්කු වුණා.
දැන් අපි මේ පුදුම දුකක්නේ විඳින්නේ. ඉවසලා බැරිම තැන එයාලට කිව්වා අපිට දැන් හරි මහන්සියි අපි මේ ගැන මාධ්‍යයට කියන්නම් කියලා. එතකොටත් එයාලා කිව්වේ අපිට සති දෙකක් දෙන්න මේ ඔපරේෂන් එක මෙහෙ කරන්න බැරි නම් පිටරටක ගිහින් හරි කරගන්න සල්ලි තියෙන කෙනෙක්ව සම්බන්ධ කරන්නම් කියලා. අනේ ඒ කියලත් ගොඩාක් කල්. අන්තිමට තමයි මේ කතාව රටටම හෙළි කරන්න හිතුවේ.
දරුවෝ දෙන්නෙක් ගේ ඇතුළෙම හැදුවේ කොහොම ද?
ඒක ලේසි නැහැ. අපි දරුවන් ගැන හිතලමයි මේ දේ කාටවත් නොකිව්වේ. අහල පහල ගෙවල්වල අය පවා මේ දේ දන්නේ නැහැ. ඒ තරමටම ගේ ඇතුළේ තියාගෙන හැදුවේ. අපිට විශ්වාසයක් තිබුණා මේ ඔපරේෂන් එක කරයි කියලා. ඒත් දැන් ඒකත් හීනයක් වගේ. පේනතෙක් මානෙකවත් නැහැ. ඩොක්ටර්ස්ලා කිව්වේ මේ ඔපරේෂන් එක අවුරුදු 4ක් වෙන්න කලින් කෙරෙන්න ඕනේ කියලයි. දැන් අවුරුදු 4ටත් ළං වෙනවා. මෙහෙදි මේ ඔපරේෂන් එක කරගන්න බැරි නම් පිටරටක ගිහින් හරි කරගන්නයි අපිට ඕනේ. ඒත් ඒකට අපිට සල්ලි නැහැ. මොකද පේරාදෙණිය හොස්පිටල් එකෙන් කියලා තිබුණේ මේක රජයේ වියදමින් කරනවා කියලනේ. මේ දරුවෝ දෙන්නා බේරගන්න අපිට උදවු කරන්න කියලයි අපි ඉල්ලන්නේ.
ඒ අනුව දැරියන් වෙන්කර ඔවුන්ට ඔවුන්ගේම ලෝකයක් හිමිකර දෙන්න තව තියෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒත් දරුවන් ජීවත් කරවන්න අද ලොකු මුදලක් වැයවන නිසාත් වඩු කර්මාන්තයේ නිරත වූ පියා හදිසි අනතුරකින් ආබාධිත තත්ත්වයකට පත් වීම නිසාත් මේ පවුලම අද අසරණයි.
වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු සමාජයක මේ දරුවන් උහුලන බර මෙන්ම දරුවන් වෙනුවෙන් මව්පියන් උහුලන බරත් සැහැල්ලු කළ හැකි ළතෙත් මිනිසුන් තවමත් සිටින බවයි අපේ විශ්වාසය. ඔවුනට මේ අහිංසක පුංචි හිත් දෙකට සිනහවක් ගෙන ඒමට ඉතා ඉක්මනින් හැකි වේවී.
0112429592 - තරුණී ඇමතීමෙන් ඔබටත් ඔවුනට පිහිටක් විය හැකිය