ඔයා ඇපල් ද ?

ජූලි 1, 2024

 

ඇන්ඩ්‍රොයිඩ් ගැනයි ඇපල් ගැනයි එක එක අය විවිධ කතා කියනවා. ඇපල් පාවිච්චි කරන අය ඒක හොඳයි කියනවා, ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අය ඒවා හොඳයි කියනවා. ඒත් මේ දෙකෙන් හොඳම දේ මොකක්ද කියන දේ තීරණය කරන්න ගොඩක් පැතිවලින් ඒ දිහා බලන්නට ඕනෙ. ඇපල් ටිකක් මිල අධිකයි. ඇන්ඩ්‍රොයිඩ් මිලෙන් අඩුයි. හැබැයි මිලෙන් අඩු වුණත් ඇපල් එකෙන් වෙන වැඩ ටිකම ඇන්ඩ්‍රොයිඩ් එකෙනුත් කරගන්න පුළුවන් නම් මොකටද සියලු සන්තකේම වියදම් කරගෙන ඇපල් ෆෝන් එකක් ගන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ නිසා වඩා හොඳ ඇපල් ද නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් ද කියලා අද අපි බලමු.

 

හාඩ්වෙයාර් සහ පෙනුමේ වෙනස

 

ඇපල් ෆෝන්වල ඩිසයින් එකයි ෆිනිෂ් එකයි අනිත් ඒවාට සාපේක්ෂව හොඳ තත්ත්වයක් තියෙනවා. මිලත් එක්ක ඊට සාධාරණ පෙනුමක් ඒකට තිබෙනවා වුණාට ඒ පෙනුම ගන්නට නම් ඇන්ඩ්‍රොයිඩ් Experience එකට කැමති කෙනෙක්ට වුණත් iOS වලට යන්නට වෙනවා. මොකද ඇපල් ෆෝන්වල තියෙන්නේ එයාලගේම iOS කියන මෙහෙයුම් පද්ධතිය නිසා ලස්සන බලාගෙන තවත් පැත්තකින් අවාසියක් ගන්න සිද්ධ වෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල අඩු මිල ඉඳලා ඉහළ මිල වෙනකම් විවිධ ඩිසයින් තියෙන ෆෝන් තියෙන නිසා ඔප්ෂන් ප්‍රමාණෙ වැඩියි. එහෙම බැලුවාම, ඇපල් පැත්තෙන් ඇපල් දිනුම්. ඇන්ඩ්‍රොයිඩ් පැත්තෙන් Samsung, Huawei, Oppo, Nexus, LG, Motorola, OnePlus, Nokia ආදී මෙකී නොකී සමාගම් සේරම දිනුම්.

 

බැටරි ලයිෆ් එක

 

ඇපල් වුණත් ඇන්ඩ්‍රොයිඩ් වුණත් අපිට බැට්‍රිය නම් හොඳටම ඕනෙ වෙනවා. එතකොට ඉතින් පැය දෙක තුනෙන් බැහැලා යන බැට්‍රියක් තියෙන මොන ෆෝන් එකෙන්වත් වැඩක් නැහැ. නිතර ගමන් බිමන් යන, චාර්ජ් කරගන්න ක්‍රමයක් නැති කෙනෙක්ට ටක් ගාලා බැටරි ඩෙඩ් වෙන එක වාතයක් වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ෆෝන්වල Power Saving Mode එහෙම දීලා තිබෙන නිසා ෂේප් එකේ දවස ඇදගන්න පුළුවන්. ඒත් ගොඩක් ඇප්ස්: ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ක්‍රෝම්, මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර් වගේ සේරම අඩු කාලයක් තුළ නිතර පාවිච්චි කරනවා නම් ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් වෙනසක් නැතුවම හොස් ගාලා බැටරි බහිනවා. මොකද, මේ ඇප්ස් බර වැඩි නිසා ෆෝන් එකේ Performance ගොඩාක් යූස් කරනවා. නමුත් නිෂ්පාදකයන්ට තිබුණා මීට වඩා හොඳ බැටරි එකක් අපිට දෙන්න. එහෙම බැලුවාම දෙපැත්තම පරාදයි.

 

චාර්ජ් කිරීමේ පහසුකම

 

ඉස්සර පොඩි පින් චාර්ජර් හොයමින් ගිය කෙනෙක් නම් චාර්ජර් පින් එක වෙනස් වුණාම තියෙන වදේ හොඳටම දන්නවා ඇති. අමුතු ජාතියේ එකක් වුණාම යාළුවෙක්ට තියෙන වෙන ජාතියක එකක් ඒකට ගහන්න බැහැ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල ලොව හැම ඩිවයිස් එකකටම තියෙන USB පෝට්ම පාවිච්චි කරන නිසා චාර්ජරේ කැඩුණාට, නැති වුණාට ගේන්න අමතක වුණාට කිසි අවුලක් නෑ. අලුතෙන් එකක් ගන්න ගියත් සුලබ නිසා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඒත් ඇපල්වල තියෙන්නේ ඇපල්වලටම විශේෂිත Lightning Connector එක නිසා පොඩ්ඩක් කේස්. ඒ ජාතියෙම එකක් හොයන එකත් අමාරුයි, ගන්න ගියත් ගාණ වැඩියි. හැබැයි අලුතෙන් එන ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් දෙකේම වයර්ලස් චාර්ජිං එන නිසා ටිකක් විතර මේ අවුල විසඳේවි. දැනට, ඇන්ඩ්‍රොයිඩ් දිනුම්.

 

ඇප්ස් ඇති – නැති බව

 

ඇපල්වල ඇප් ස්ටෝර් එක ෆෝන් ලෝකයේ තදම නීති තිබෙන ඇප් ගබඩාව විදිහට ඩිවෙලොපර්ස්ලා කියනවා. මොකද, ඇප් ස්ටෝර් එකට වාර්ෂිකව රුපියල් දහ දාහක් විතර ඇප් එකක් දාද්දි ගෙවන්නත් ඕනෙ, ඇප් එකක් සබ්මිට් කරද්දි විතරක් නෙවෙයි අප්ඩේට් දෙද්දිත් ඇපල් එකෙන් මැනුවලි හැම වතාවෙදිම චෙක් කරලා Approve කරන නිසා ලොකු කාලයක් ගතවෙනවා. යූසර්ස්ලාට මේකෙ වාසියක් තියෙනවා, කවදාවත් චොර ඇප් එකක් ස්ටෝර් එකට එන්නෙත් නෑ. හොර මගඩි ඔට්ටුත් නෑ. ඒත් ඇප්ස් හදන අය නිදහස බලාගෙන ඇන්ඩ්‍රොයිඩ්වලට ඇප්ස් හදනවා වැඩියි. මොකද Play Store එකට ගෙවන්න ඕනෙ මුල් වතාවෙදි පන්දාහක් විතර, ඊට පස්සෙ ඔක්කොම ෆ්‍රී සහ ඉක්මනින් අප්ඩේට්ස් එහෙමත් දෙන්න පුළුවන්. ඇප්ස් බහුල බව නිසා ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ලාට වැඩ පහසු වෙන නිසා ඇන්ඩ්‍රොයිඩ් දිනනවා. ආරක්ෂාව පැත්තෙන් බැලුවාම ඇපල් දිනනවා.

 

කස්ටමයිසබල් බව

 

අපිට ඕනෙ විදිහට ෆෝන් එක සම්පූර්ණයෙන් කණපිට ගහන්න පුළුවන්කම තියෙනවාට ගොඩක් අය කැමතියි. අමුතු හෝම් ස්ක්‍රීන් එකක් දාගෙන, සෙටිංස් මෙනු එකට අමුතු අයිකන් දාලා, වෙනස් ෆොන්ට් දාලා, ඇන්ඩ්‍රොයිඩ් ලෝගෝ එක වෙනුවට ඇපල් ලෝගෝ එක හරි, වින්ඩෝස් ලෝගෝ එක හරි දාලා පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න කට්ටිය ආසයි. එතැනදී ඇන්ඩ්‍රොයිඩ්වලදි තමා උපරිම කස්ටමයිසිං හැකියාව ලැබෙන්නේ. ඇපල්වල Default Apps වෙනස් කරන්නත් අමාරු නිසා ලැබෙන දේට සාදු කියන්න වෙනවා. ඒත් ඇපල් ඩිසයින් එකේ ලස්සන දකින කෙනෙක්ට මේ දේවල් අදාළ නෑ. එහෙම කෙනෙක්ට ඇපල් ගැළපෙනවා, කස්ටමයිසිං ඕනෙ කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් ගැළපෙනවා.

 

අනම් මනම් ඇප්ස් පිරෙන එක

 

ඇන්ඩ්‍රොයිඩ් OS එක ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරන්න ෆෝන් කම්පැනිවලට අවසර තියෙනවා. ඒ නිසා සියෝමි වගේ කම්පැනියකින් ගත්තාම ඒකත් එක්ක චීන අකුරු තියෙන එක එක ඇප්ස් ගොඩක් එක්කයි ලැබෙන්නේ. මේවා සමහර ඒවා අයින් කරන්නත් බැරි නිසා ෆෝන් එකේ අනවශ්‍ය ඉඩකුත් යනවා, ඒවා ඔටෝ අප්ඩේට් වෙන්න ගත්තොත් ඩේටා ටික එහෙ බලලා මෙහෙ බලද්දි ඉවරයි. Samsung එකෙත් මේ වගේ සමහර ඇප්ස් තියෙනවා. නමුත් ඇපල්වල ඒ වගේ කරදරයක් නැති නිසා සුපිරිසුදු අත්දැකීමක් ලැබෙනවා. සුපිරිසුදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක් කැමති කෙනෙක්ට ගූගල් සමාගමේම නිෂ්පාදිත Nexus හෝ Pixel ෆෝන් එකකට යන්න පුළුවන්. ඒත් ඒ ෆෝන් ලංකාවේ වැඩිය ගන්න නැති නිසා ඇපල් දිනනවා.

 

 

 

 

ස්ක්‍රීන් සයිස් එක

 

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක එක සයිස්වලින් එක එක කම්පැනිවලින් හදන නිසා ඔප්ෂන්ස් ගොඩයි. අලුතෙන් එන ලොකු ස්ක්‍රීන්වලට ආස නැති කෙනෙක්ට පොඩි එකක් ගන්න හොඳටම අවස්ථාව තියෙනවා. ඒත් ඇපල් ෆෝන් එකකට යනවා නම් අනිවාර්යෙන්ම එයාලා දෙන ලොකු සයිස් එකේ ස්ක්‍රීන් එකකට හිර වෙන්නට සිද්ධ වෙනවා. පොඩි සයිස් එකක් ඕනෙ කියලා iPhone 5 එකක් ගත්තත් දැනටම ඒවායේ කල් පැනලා ඉවරයි. iphone 14 දක්වාම දැන් සයිස් එක පරිණාමය වෙලා ඇවිත් තිබුණට ඒ එක් එක් වර්ෂන් එකේ සයිස් එක ආවේණිකයි. එහෙම බලද්දි තියෙන ඔප්ෂන් එක්ක ඕනෙම සයිස් එකක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ඕනෙ තරම් තියෙනවා. ඔප්ෂන්ස් ගාණ වැඩි බව සලකලා, පොඩි ෆෝන්වලට කැමති අයටත් අලුත් OS එකක් තියෙන අලුත් පොඩි ෆෝන් එකක් ගන්න චාන්ස් එක තියෙන නිසා මෙතැනදි ඇන්ඩ්‍රොයිඩ් දිනනවා.

 

ෆොටෝ කොලිටිය

 

ෆොටෝ ගැන කතා කරද්දි iphone එකේ කැමරාවට ළඟින්වත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට යන්න පුළුවන් ද කියලා කතාවට කියන්නේ නිකන්ම නෙවෙයි. මොකද ඇපල් කැමරාවක් ගැන පුංචිමවත් සැකයක් තියාගන්න අවශ්‍ය නැත්තේ ඒ තරමට ඇපල් කැමරාව ෂුවර් නිසයි. ගොඩක් වෙලාවට මේ ෂුවර් එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට නම් ලබා දෙන්න බැහැ. කැමරාව පැත්තෙත් ගත්තොත් ඇපල් නිතැතින්ම දිනුම්. හැබැයි ගත්ත ෆොටෝස් කළමනාකරණය පැත්තෙන් ගත්තොත් ඇන්ඩ්‍රොයිඩ් ඉස්සරහින් ඉන්නවා. මොකද ඇන්ඩ්‍රොයිඩ්වලදි ඡායාරූප එහෙට මෙහෙට කරලා ඇල්බම් හදාගෙන ඕනෙ ඕනෙ තැන්වල දාගෙන එඩිට් කරන එක හරිම පහසුයි. ඇපල් පැත්තෙන් ගත්තොත් ඒතරම් පහසුවක් ලබා දෙන්නේ නැහැ.

පොදුවේ බැලුවාම දෙපැත්තටම වාසි – අවාසි තියෙනවා. මිල අනුව සැලකුවාම නම් අලුත් ඇපල් ෆෝන් එකක් ලක්ෂය පනින නිසා එයින් එකක් ගන්න එක ගොඩක් අයට හීනයක්. ඒ නිසා පොකට් එකත් බේරගෙන ඕනෙ වැඩ ටික ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් කෙනෙක්ට කරගන්න පුළුවන්නම් එකත් ඇති. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරලා ආයේ විකුණන එකත් ලේසි නැහැ. නමුත් ඇපල්වල මාර්කට් එක හොඳ නිසා ගත්ත එකක් ආයෙ පාඩු නැතිව සෙකන්ඩ් හෑන්ඩ් දෙන්නත් පුළුවන්, පෙනුම හොඳ නිසා ෆෝන් එක පේන්න පාවිච්චි කරන කෙනෙක්ට ඒකෙ වටිනාකමක් තියෙනවා. කොහොම වුණත් ඇපල් පාවිච්චි කරපු කෙනෙක් කවදාවත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අතට ගන්න නම් හිතන්නේ නැහැ. ඒ ඇයි කියලා ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරපු අය නම් දන්නවා. හැබැයි හැමදෙයක්ම සාපේක්ෂයි කියනවනේ. මේ දෙකේම හොඳ නරක එක එක්කෙනාට එක එක විදිහට බලපාන්න පුළුවන්. තමන්ට හරියන්නේ ඇපල් ද ඇන්ඩ්‍රොයිඩ් ද කියලා ඔයාගෙන්ම අහලා හරි ෆෝන් එකකට යන්න.