නැරඹුම් වාර මිලියන 1.3ත් ඉක්මවූ තත්පර 18 වීඩීයෝව ඇය චෙෆ් නදීගේ එකම දියණියයි

ජූලි 1, 2024

චාම් බව වෑහෙන ලස්සනම ලස්සන, හරිම සීදේවී මනාලියක්. ඇගේ ආදරණීය අම්මා ඈ පිටුපසින්, දෝරේ ගලන ආදරයත්, ආශීර්වාදයත් සමඟින්. අම්මත්, දියණියත් සුදෝ සුදුවන් Bridal robes වලින් සැරසී ගෙන. රූපලාවණ්‍ය ශිල්පියා තැලි පිළි පලන්ඳවන ඇගේ ජීවිතයේ අසිරිමත්ම මොහොත. සිංහල බෞද්ධ සිරිතට පණ පොවමින් ⁣

"මෙත්තම්භු සේක විදිනා

ජිතවා මුනින්දෝ... " ලෙසින් ජයමංගල ගාථා පසුබිමින් ඇසේ. රූබර මනාලිය දෑත් එකට එකතුකර වැඳ ගෙන සිටී. මේ තත්ත්පර

18ක් පුරාවට විහිදී යන ඉතාම කෙටි වීඩීයෝවකි. ෆේස් බුක් ඔස්සේ ජනගත වුණු මේ වීඩීයෝව මේ වන විට නැරඹුම් වාර මිලියන 1.3 ත් ඉක්මවමින් සිටී.

මෙම වීඩීයෝව කෙරෙහි ඔබත් නිසැකවම පෙම් බඳින්නට ඇති. මෙහි සිටින සිත් ළගන්නා සුලු මනාලිය රිද්මි අමරසිංහයි. රිද්මිගේ මව දක්ෂ සූපවේදිනියක්වන නදී අමරසිංහයි. ඇය අපේ තරුණි පුවත්පතට ළබැඳි සම්පත් දායිකාවකවන නිසාවෙන් තරුණි පාඨක ඔබටද මේ වීඩීයෝව සුවිශේෂී එකක් වනු ඇත. තරුණි පත්ඉරු පුරාවට නදීගේ දෑතින් සැකසුණු කෑම් බීම් වට්ටෝරු ඕනෑතරම් පළවී තිබේ.

රිද්මිගේ අතගත් ඒ භාග්‍යවන්තයා මෙවන් අග්බෝ කරුණාතිලකයි. මෙවන්ගේ පියා නාරද කරුණාතිලක සහෘද මාධ්‍ය සගයෙකි. ඔහු රිවිර පුවත්පතේ හිටපු උපකර්තෘවරයෙකි. සිංහල බෞද්ධයා පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයායි. දැන් අරුණ පුවත්පතේ උපකතුවරයෙක් ලෙස විදෙස්ගතව සිට කටයුතු කරයි. මෙවන්ගේ තාත්තා, සීයා මේ හැමෝම ජනාධිපති සම්මානලාභි ගත්කතුවරුන්ය.

මේ වනවිට මෙවන් ඇතුළුව ඔහුගේ පවුලේ උදවිය සියලුදෙනා පදිංචිව සිටින්නේ අමෙරිකාවේය.

පාසල් සමයට සමුදෙනවාත් සමඟින්ම රිද්මි සහ මෙවන්ගේ ආදර කතාවේ ඇරැඹුම සනිටුහන් වේ. ඇය කොළඹ යශෝධරා බාලිකාවේය. ඔහු අසෝක කනිෂ්ටයේය. රිද්මිගේ බාප්පගේ පුතත් මෙවනුත් අසෝකයේ එකම පංතියේ සගයන් වීම ඔවුන්ගේ ආදර කතාව මුල පුරන්නට අපූරූ පාලමක් සැපයීය.

කන්කළුව ගීත ගයන්නට හපනෙකු වූ මෙවන් ගැයූ ගීයක් ෆේස්බුක් එකෙන් ගෙන රිද්මි තම මවට පෙන්වූයේ 'අම්මා මේ අයියා ලස්සනට සිංදු කියනවා නේද කියාය. ඊට වසර කිහිපයකට පසු තමා ඒ අයියා සමඟ ආදර සබඳතාවක් ඇති බව මවට කීවේ අම්මාගේ ආශීර්වාදය නොමඳව ලැබිය යුතු නිසායි. රිද්මි නදීටත් ඇගේ සැමියාටත් සිටින එකම දරුවායි. තමාටත් එවැනිම අතීතයක් තිබුණු බැවින් ඇය තම දියණියට කිසිසේත්ම පිටුපෑවේ නැත. මෙවන් පුතාට කීවේ, 'පුතා ඔයා අම්මට මේ ගැන කියන්නකෝ්' කියාය. ඒ මාපියන් රිද්මි බලන්නට පැමිණීමෙන් පසු රිද්මිටත් මෙවන්ටත් දෙපාර්ශ්වයේම හද පත්ලෙන් නැඟෙන ආශීර්වාදය හිමි විණි.

ඒ වකවානුවේ මෙවන්ගේ පවුලේ උදවියට පළමු ඉල්ලුම් කිරීමෙන්ම ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදීමත් සමඟින් ඔවුන් සියලුදෙනා අමෙරිකාවේ පදිංචියට ගියේ රිද්මිව විවාහ කරගන්න⁣ට ලංකාවට පැමිණෙන පොරොන්දුව පිටයි.

කොටිකාවත්ත ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි රිද්මි ඇතුළු පවුලේ උදවියට තවදුරටත් කුලියට ඉන්න එපා, අපි හිටපු මුල්ලේරියාවේ ගෙදර පදිංචි වෙන්න කියා නිවෙස බාර දී විදෙස්ගත වූයේ පවුල් දෙකේ උදවිය එකම එකවරක් මුණ ගැසී කතාබහ කළ දැන හැඳුනුම්කමටයි. රිද්මි දියණියට ඇති ළබැඳියාව නිසායි.

ඒවන විට රිද්මි බටහිර සංගීතය අංශයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා තිබුණත් මෙවන් ඇතුළු පවුලේ අය ඉල්ලීමක් කළේ 'ඔයා කැම්පස් යන්න එපා , කොහොමත් රට යන්න වෙන නිසා තව කෙනකුගේ අවස්ථාවක් නැති කරන්න එපා ' කියායි.

රිද්මිට ඔපෙරා සංගීතය පැත්තෙන් ගීත ගායනය සඳහා සුවිශේෂී හැකියාවක් තිබේ.

පොරොන්දු වූ පරිදි වසරක් ගතවත්ම මෙවන්, මව සහ ⁣බාල සොහොයුරා මෙරටට පැමිණීමෙන් පසු රිද්මිගේත් ⁣මෙවන්ගේත් විවාහය ලියාපදිංචි කරන්නට විය. රිද්මිගේ වීසා කටයුතු සාර්ථක වනවාත් සමඟින් මෙවන්ගේ පවුලේ සියලුදෙනා පැමිණියේ ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ කටයුතු සිදු කරන්නයි.

ලියක් මනාලියක්වන දා හැඩවැඩවන අන්දම පිළිබඳ සිහින මවන්නේ අපූර්වතම හැඟීමකිනි. රිද්මි තම සිහිනය සැබෑ කරලන්නට දෙවරක් නොසිතාම තෝරාගත්තේ සැලෝන් සුරංගි හි සුරංග ආකාෂ්වයි.

'ඇස් දෙක වගේ බලා ගත්ත පණ වගේ රැක්ක මගේ මැණිකගේ මේ දවස එනකම් මං කොයි තරම් ආසාවෙන් බලා හිටියද? අම්ම විදිහට ලබන මේ සතුට වචනයෙන් නිම කරන්න බැහැ මට. ඇය තම දියණියගේ වගකීම්, වගවීම් සියල්ල ආදරණීය පුතකුට බාර දෙන මොහොතේ ෆේස් බුක් ගිණු⁣මට එකතු කළ සටහනයි.

' පාරම්පරික සම්ප්‍රදායික උඩරට මනාලියක් විදිහට සැරසෙන්න රිද්මිට ලොකු ආසාවක් තිබුණා. එයා මේ තැලි පිළි පලඳින්න, ඒ වෙනුවෙන් සති ගණන් නිර්මාංස වුණා. තැලි පිළි පලඳවද්දී මම රිද්මිට කිව්වේ වැඳ ගන්න පුතේ. ගැහැනු දරුවකුගේ දෙවැනි ඉපදීම තමයි විවාහය කියන්නේ. දෙදෙනාට දෙදෙනා හැමදේම ගළපගෙන ජීවත් විය යුතුයි. අතරමැද්දෙදි දාලා යන්න බැහැ දුක, වේදනාව, සතුට ...මේ හැමදේම විවාහයක් ඇතුළේ තියෙනවා. හිත ශක්තිමත් කරගෙන හයිය ගැහැනියක් ලෙස සියලුදේට මුහුණ දිය යුතුයි. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. දැනුම් තේරුම් ඇති වයසේ පටන් අම්මා කෙනෙක් විදිහට මම ඇයට දුන්න ගුරුහරුකම් බොහොමයි.

ඉතිං රිද්මිගේ මේ ලස්සන හීනය සැබෑ කරගන්න අපි දෙපාරක් නොසිතා තෝරා ගත්තේ සුරංග ආකාෂ්ව. ඔහු පුංචි වෙලාවක් ගත කරලා රිද්මිව මිහිපිට සුරංගනාවක් කළා. පණ පෙවූ බෝනික්කෙක් කළා. මගේ ඇස් අදහාගත නොහැකි තරමටම. ජයමංගල ගාථා සජ්ඣායනය මැද එයා රිද්මිගේ සිහිනේ සැබෑ කළා. සුරංග ....මම දැක්ක නිහතමානී අතිදක්ෂ රූපලාවණ්‍යවේදියෙක්. ඒ ගැන විවාදයක් නැහැ.' නදී තම දියණියව චමත්කාරජනකව හැඩගැන්වීම සම්බන්ධව සුරංගට කෘතගුණ දැක්වූයේ ඒ විදිහටයි.

ජූනි මස 07 දින සිකුරාදා උදෑසන 5.03 ට යෙදී තිබු සුබ මොහොතින් රිද්මිට නළල් පටිය තැබු ඒ සුන්දර මොහොත ආදරයෙන් නැරඹූ මිලියනයකට අධික ආදරණීය හදවත්වලට ආදරෙයි හැමදාමත්. වීඩීයෝව නැරැඹූ ආදරණීයයන්ව ඇය සිහිපත් කළේ එහෙමයි.

මේ වීඩීයෝ එකෙන් පස්සේ තවත් කිහිපදෙනෙක්ම මේ විදිහට ජයමංගල ගාථා සජ්ඣායනය කරමින් තැලි පිළි පලඳන අවස්ථාවන් කිහිපයක්ම සමාජජාලා වෙබ් අඩවිවල සැරිසරන්නට වුණා. වේල් එක තියද්දිත් වැදගෙන ජයමංගල ගාථා කියන අයුරු දුටුවා. හරි සතුටුයි, අපෙන් දෙයක් ගත්තා නේද කියන හැඟීමක් ඇති වුණා.

උඩරට ක්‍රමයට හැඩගැන්වෙන මනාලියක් අනිවාර්යෙන්ම නළල් පටිය පලඳිනවා. නළල් පටිය මනාලියගේ මව විසින් මනාලියට පැලඳවීම සිරිතයි. මෙම අවස්ථාවේදී පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයාවත්, වම් පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරයි. "සාම්ප්‍රදායික අයුරින් හැමදේම කෙරෙද්දී කිරිබත් කපලා, කිරි කළ නාවලා තියෙද්දී කේක් එකක් නොකපා ඉන්නත් තීරණය කළා. ඒත් මම සූපවේදිනියක් ලෙස කේක් එකක් නොකපා කොහොමද කියලත් හිතුවා. රිද්මිගේ සතුට වෙනුවෙන් මම තනිකරම සුදු පැහැයෙන් යුතුව පුංචි පුංචි මල් දාලා කේක් එකක් නිර්මාණය කළා.

රිද්මි සහ මෙවන් දෙපලගේ විවාහ දිවියට තරුණි වෙතින් උණුසුම් සුබ පැතුම්!!!