ඉන්ටර්වීව් එකට හරියට ෆේස් කළොත් ජොබ් එක ෂුවර්

ජූලි 8, 2024

 

දැන් ඉතින් කුස්සි පල්ලේ වැටීගෙන ළමයි හදන ඒවාට විතරක්ම කැපවෙලා ගැහැනු උදවිය ජිවත් වුණ කාලේ ගියා. වැඩ ලෝකෙදී පිරිමි උදවිය එක්ක කරට කර සටනක් දෙන්න, දැනටමත් ගොඩක් ක්ෂේත්‍රවල තමන්ගේ ආධිපත්‍යය පවත්වාගෙන යන්න තරම් සාධනීය උණක් ගැහැනු උදවියටත් හැදිලා තියනවා. ඉතින් ඕක කරන්න කොතැනින් හරි පටන්ගැන්මක් තියෙන්න එපැයි. ආයතනයකට බඳවා ගැනීමේදී අහන දේවල් නම් ගැහැනු පිරිමි මල් පලතුරු කියලා බෙදන්න අමාරුයි. ඒත් එතැනදී හිතන්න ඕනි දේවල්වලට එහෙම අර්ථකථනයක් දෙන්න පුළුවන්.

 

 

 රිහසල් එපා

ගොඩක් අය ඉන්ටර්වීව් එකකට කලින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා පොඩි පෙර පුහුණුවක් කරනවා. ඕක කරන එකෙන් වෙන්න පුළුවන් නරක දේවල් බොහෝමයක් තියෙනවා. මුල්ම දේ තමයි අපිට කණ්ණාඩියෙන් පේන්නෙ අපිව වුණාට ඉන්ටර්වීව්  බෝඩ් එක අපිට වඩා වෙනස් වීම. අන්න ඒ නිසා ඉන්ටර්වීව් බෝඩ් එක ඉස්සරහදි අනපේක්ෂිත මානසික කඩාවැටීමක් සිද්ධ වෙන්නට පුළුවන්. අනිත් කාරණය තමයි අපේ පෙර පුහුණුව කණ්ණාඩිය ඉස්සරහදි අප්සට් ගියොත් අපිව මානසිකව වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම දෙතුන්වතාව පෙර පුහුණුවීම් කරද්දි අපිට අපේ කතාව තව වෙනස් කරලා හැඩ කරන්න හිතෙනවා. ඒකෙන් නොහිතන වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔළුව ඇතුළෙ චිත්‍රයක් මවාගත්තට, ඒක පෙර පුහුණුවක් වෙනතෙක් ගෙනියන්නට එපා.

 

ස්ට්‍රෙස් බස්සගන්න

ඉන්ටර්වීව් එක ළංවෙද්දි මං මේ ඉන්ටර්වීව් එක ෆේල් වේවිද? ඊටපස්සෙ යාළුවොන්ට මුහුණ දෙන්නෙ කොහොමද? ගෙදරට කන්න දෙන්නෙ කොහොමද? කියලා හිතිලා ඔයාව මානසික ව්‍යාකූලත්වෙකට පත්වෙන්නට තියෙන ඉඩ වැඩියි. ඉතින් ඔය ව්‍යාකූලත්වය නිසාම ඔයාව ෆේල් වෙන්නට පුළුවන්. ඒ නිසා හැම තිස්සෙම සුබවාදී හිතක් තියාගෙන වැඩේට සෙට් වෙන්න. ඒ වගේම මේක ෆේල් වුණත් තමුන්ට කරන්න පුළුවන් විකල්ප දේවල් ගැන හිතන්න. ආසාවත් කැපවීමත් තියෙනව නම් මේ ලෝකෙ සල්ලි හොයන්න ඕනෙ තරම් ක්‍රම තියෙන බව මතක තියාගන්න.

 

පමණ දැනගෙන යන්න

අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ වැදගත්. තමන්ගේ පමණ දැනගෙන සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න. තමුන් දන්නේ මොනවාද සහ නොදන්නේ මොනවාද යන්න ගැන හොඳින් දැනගෙන යන්න. අදාළ මාතෘකාව සම්බන්ධයෙන් දන්නා දේ තවත් වරක් පැහැදිලිව සිහි තබාගෙන යන්න. ඉදිරිපත් කරන්නට අවශ්‍ය සහතික නිවැරදිව අසුරන්න. කිසිම මොහොතක නොකරපු බොරු දේවල් කියන්න එපා.

 

ඇඳුම

ශිෂ්ටාචාරේ පටන් ගත්ත මුල් කාලේදී ඉඳන් ඇඳුම් ආයිත්තම්වලට ගැහැනු අයගේ තිබුණ මනාපේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. හැබැයි ඉතින් සම්මුඛ පරීක්ෂණයකට යනකොට තොරොම්බල් කරත්ත වගේ ගිහින් හරියන්නෙත් නැහැ. ගැහැනු ළමයෙක් සම්මුඛ පරීක්ෂණයට යන්න පෙරාතුව තමන්ගේ ඇඳුම ගැන වෙනදාටත් වඩා සැලකිල්ලක් දෙන්න ඕනි. ඩෙනිම්, ත්‍රී ක්වාටර්, සල්වාර් වගේ අරුමෝසම් මානසිකත්වයෙන් බැහැර වෙලා ඔසරියක්, කාර්යාලයට අඳින පන්නයේ කලිසමක් සායක් ඇන්දාම හරි. එහෙම නැත්තම් සාරියක් වුණත් ගැළපෙනවා. ඊටම හරියන ආභරණ සහ සපත්තු භාවිතයත් වැදගත්. තියෙන තරමක් උරචක්‍රමාල බෙල්ලේ දාගන්නෙත් නැතුව, සම්මුඛ පරීක්ෂණයට යන්න කලින් කෙණ්ඩා පෙරළිලා මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් වෙන්න ඉඩ නොදෙන සපත්තු දාගෙන යන්න වගබලාගන්න ඕනි.

 

බොඩි ලැන්වේජ් එක

අපි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න දොරෙන් ඇතුල් වුණා විතරයි එවෙලේ ඉඳන් අපිට ලකුණු ලැබෙනවා. ඇතුළට එද්දිම බය බිරන්තට්ටු වෙලා වෙන ලෝකෙකින් ආවා වගේ හැසිරෙන්නේ නැතුව හිනාවකින් මුව සරසාගෙන් ගුඩ් මෝර්නිං කියලා ඇතුළට එන්න. පුරුද්දට කොයි වෙලෙත් කොණ්ඩේ හදන්න එහෙම ගත්තොත් වැඩේ වර්චස් වෙලාම යන්න පුළුවන්. නියම නෝනා කෙනෙක් වගේ පුටුවේ වාඩි වෙන්න. හෑන්ඩ්බෑග් එකක් අරන් යනවා නම් දෙයියන්ගේ නාමෙට ඒක මේසේ උඩින් තියන්න යන්නේ නැතුව පුටුවේ පැත්තකින් බිමින් තියන්න.

 

කතාව

ගැහැනු ළමයි ගැන මොන විදියේ නිර්වචන සමාජයෙන් ලැබිලා තිබ්බත් ඒ එකක්වත් සම්මුඛ පරීක්ෂණයේදී අදාළ කරගන්න යන්න එපා. හරි හුරතල් කියලා කියන නිසා එතැන ගිහින් තොදොල් වෙන්න එහෙම එපා. ඒ ඔක්කොම මායම් දාතහැකි පිළිගැනීමේ නිලධාරිනි තනතුරකට ගියා නම්. ඒත් අනික් රැකියා එක්ක නම් තමන්ට තියෙන්නේ මෙහෙම මානසිකත්වයක් කියලා කතාබහෙන් පෙන්නන්න යන්න එපා. තමන් අනෙක් අයට වඩා වෙනස් ශක්තිමත් අයෙක් කියලා පෙන්නන්න.

 

මේකප්

මේකප් එකක් ඕනි. හැබැයි එහෙමයි කියලා මස්කාරා බාල්දියක බැහැලා හිටපු, ලේ බොන, පාන් පිටි ගොඩක් අස්සේ ඔළුව ඔබාගෙන ඉඳන් ගියපු විදිහට ඉන්නේ නැතුව බොහොම සැහැල්ලු මේකප් එකක් දාගෙන යන්න. ලස්සනට පේන්න කියලා බොරු ඇස්පිහාටු එහෙම අලවාගෙන යනවා එහෙම නෙවේ. නහය කඩාගෙන යන විදියේ සැන් පවුඩර් නම් ඕනිම නැහැ.

 

ආයතනයට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සමඟ පවත්වන සම්බන්ධතාව

ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය පරීක්ෂණය තියෙන කාමරයට යන්න කලින් ඒ ආයතනයට යන අය කීදෙනෙක් නම් හම්බ වෙනවද? ඉස්සෙල්ලම එන්න කියලා කෝල් එක දෙන පුද්ගලයා, ආරක්ෂක නිලධාරි, පිළිගැනීමේ නිලධාරි, සුළු සේවකයන් යන හැම දෙනාගෙන්ම පස්සේ තමයි එතෙන්ට යන්නේ. ගොඩක් තැන්වල මේ හැම දෙනාගෙන්ම ඔයා ගැන අහනවා මොන වගේ කෙනෙක් ද කියලා. එක් අයෙක් හරි කීවොතින් එහෙම මහා නසරානියෙක් කියලා එතැනින් ම වැඩේ හබක්. අන්න ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

 

ආත්මවිශ්වාසය

ගැහැනු ළමයෙක් වෙන නිසා මේක නම් හරියන එකක් නැහැ වගේ ගොන් දේවල් හිතන්නේ නැතුව තමන් ගැන විශ්වාසය ඇතිකර ගන්න. සමහරවිට දක්ෂතාවලින් පිරුණු ඔයා ගැහැනු ළමයෙක් වෙන එකම ලකුණු වැඩියෙන් එකතු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. බයාදු විදිහට කුලෑටි ලයින් එක දීගෙන හිටියොත් ඉවරම තමයි.

 

සෞඛ්‍ය ගැටලුවලින් මිදෙන්න

මාසික ආර්තවහරණය නිසා බඩ රිදෙන, වමනේ යන ස්වභාවයක් ඔයාටත් තියෙනවා නම් වහාම වේදනා නාශක භාවිත කරන්න. නැත්නම් ඒ සඳහා වෛද්‍ය සහය ලබාගන්න. මොකද අසනීප ගතියකින් ඉන්නවා නම් ඒක අපේ මූණෙන් පේනවා. මේ කිසිම දෙයක් නොදන්නා පරීක්ෂකයෝ හිතන්න පුළුවන් මේ කෙල්ල නම් ගෙදරින් එවපු නිසා ආපු, ජොබ් එකට ඒ තරම් මනාප නැති කෙනෙක් කියලා. මේ විදිහට ලක ලැහැස්ති වෙලා හරියටම ඉන්ටර්වීව් එකට ෆේස් කළොත් ජොබ් එක ෂුවර්.