Phone එක නැතිවුණොත් මෙන්න මෙහෙම කරන්න නැත්නම් ප්‍රශ්න ගොඩයි

ජූලි 29, 2024

 

ලිහිණි රාජකාරියට පැමිණියේ තරමක කලබලයෙනි. සෙනඟ පිරි දුම්රියෙන් බැස ඇය කාර්යාලයට පැමිණෙන විට රාජකාරී වේලාවද පැය භාගයකට වඩා ප්‍රමාද වී තිබුණි. කෙසේ වෙතත් ලිහිණි කාර්යාලයට පැමිණෙන විට ඇයගේ අත්බෑගයේ සිපරය විවෘතව ඇති බව දැක්කේ රාජකාරි මේසය මත එය තබන මොහොතේමයි.

 

ඉක්මනින්ම තම අත් බෑගය පරීක්ෂා කළ විට එහි ඇයගේ ජංගම දුරකථනය නොමැති බව දැනගත්තේ දුරකථනය දමන කොටසද විවෘතද ඇති බව දැකීමෙනි. ලිහිණිට දෙවියන් සිහිවිය. ඇය කලබලයෙන් බෑග් එකේ ඇති සියල්ලම එළියට ගෙන පරීක්ෂා කරන්නට විය. මේ අතර ඇයගේ යෙහෙළියන් ඇයගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගත්තේ එය කොතැනක හෝ ඇත්නම් සොයා ගැනීමටය.එහෙත් එයින් ද පලක් නොවීය. ඇයගේ දුරකථනය ඒ වන විටත් විසන්ධි වී තිබුණි. "ඔබ අමතන ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැක. තව සුළු මොහොතකින් අමතන්න." දුරකථන අංකයෙන් ලැබුණු පිළිතුරු විය.

ඇත්තටම මෙවැනි මොහොතක අප මුලින්ම කළ යුත්තේ කුමක්ද? බොහෝ දෙනෙකුට ගැටලුවකි. සමහරු ඔබට කියන්නේ ඕක ගැන දැම්ම පොලිසියට කියන්න එපා. සමහරවිට බිම වැටිලා තිබිලා කවුරු හරි ඇහින්දොත් ඒක ඔයාට ගෙනත් දෙයි. අපි තව ටිකක් බලමු. එහෙම නැත්නම් මේක ගැන ඔයා ඉක්මනට පොලිසියට කම්ප්ලේන් එකක් දාන්න . . ."

 

මේ වගේ උපදෙස්වලින් ලිහිණිගේ කන් දෙක රැව් පිළිරැව් දෙන්නට විය.

මෙවැනි අවස්ථාවක අපගේ නැතිවුණ දුරකථනය සොයා ගැනීමට කළ යුතු පළමු පියවර කුමක්ද? අප විමසීමක් කළේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මියගෙනි.

 

“දුරකථනයක් නැති වූ ගමන්ම පාරිභෝගිකයෝ මුලින්ම කළ යුතු පළමු පියවර තමයි තමුන්ගේ සිම්පත විසන්ධි කිරීම. බොහෝ දෙනකුගේ දුරකථන අංකය නැති වුණාම විවිධ උපදෙස් ලැබෙනවා. ඒ නිසා මුලින්ම තමුන්ගේ ජංගම දුරකථනයේ සිම්පත විසන්ධි කළ යුතු බව අමතක වෙනවා. මෙලෙස සිම්පත විසන්ධි කිරීමට අප උපදෙස් දෙන්නේ එය ඉතාම වැදගත් පියවරක් නිසයි. මෙලෙස තමුන්ගේ ජංගම දුරකථනය නැති වූ විට ඊළඟට ඔබගේ තොරතුරු හා සිම්පතේ අංකය හිමිවන්නේ නොදන්නා පුද්ගලයකුට. එනම් නොදන්නා තුන්වැනි පාර්ශ්වකරුවකුගේ අතට මෙය පත්වීම ඉතාම භයානකයි. එවැනි පුද්ගලයෙකුට ඔබගේ අංකය භාවිත කරමින් ඕනෑම හොරකමක් හෝ වංචනික ක්‍රියාවක් විතරක් නෙවෙයි. සාපරාධී අපරාධයකට පවා යොදා ගන්න පුළුවන්.

මෙලෙස විසන්ධි නොකළ දුරකථනයක් පිළිබඳ අපට පසුගිය දා පැමිණිල්ලක් ලැබුණා. මේ දුරකථනයේ තිබුණු සිම්පත යොදාගෙන වෙනත් දුරකථනයක් සොරකම් කරන්න යොදාගෙන තිබුණා. දැන් මේ දුරකථනයේ නැති වූ තැනැත්තාට ගැටලු දෙකකට මුහුණ

දෙන්න සිද්ධ වෙලා. එකක් ඔහුගේ දුරකථනය අහිමිවීම. දෙවැනි සිද්ධිය ඔහුගේ සිම්පත යොදාගෙන සොරකමක් සිදු කිරීම සම්බන්ධව උසාවියට ඉදිරිපත් විය යුතුයි. ඒ නිසා තමුන්ගේ දුරකථනය විසන්ධි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කරනවා.

 

ඔබ දුරකථන‍ෙය් සිම්පත විසන්ධි කළ පසු දෙවැනි පියවර තමයි මෙය පොලීසිය වෙත පැමිණිලි කිරීම. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව 2018 වසරේ සිට නැති වූ ජංගම දුරකථන සොයා දීමේ කාර්යය සඳහා දායක වෙනවා. තමුන්ගේ දුරකථනය නැතිවූ බව දැනුම් දෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි online ක්‍රමයට පැමිණිල්ල ඉදිරිපත් කිරීම. මේ සඳහා අප ආරම්භ කළ website එකක් තිබෙනවා. ඒ website එකට ගිහින් තමුන්ගේ නමට ගිණුමක් විවෘත කරලා තමුන්ගේ පැමිණිල්ල ඒ නමින් ලියාපදිංචි කරන්න පුළුවන්. www.police.lk මේ website එකට ගිහින් ගිණුමක් නිර්මාණය කරලා ඔබගේ පැමිණිල්ල එහි ලියාපදිංචි කරන්න. මේ සඳහා තමුන්ගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කළ යුතුයි. එහි ඔබගේ IMEI අංකය නිවැරදිව සඳහන් කිරීම වැදගත්. තමුන්ගේ IMEI අංකය දන්නේ නැතිනම් තමුන්ගේ අදාළ දුරකථන අංකයට අදාළ සමාගමට ඇමතීමෙන් විස්තර ලබාගන්න අවස්ථාව තියෙනවා. IMEI අංකය තිබෙනවා නම් එය හරියටම පැමිණිල්ලේ සටහන් කරන්න. IMEI අංකයට අකුරු පහළොවක් ඇතුළත්. එය ඉතාම කුඩාවට සටහන් වන්නේ. මේ ආකාරයට IMEI අංකය යොදා පැමිණිල්ල යොමු කළාට පසුව අදාළ IMEI අංකය හිමි පාරිභෝගිකයා පොලිසියට කැඳවනවා. මේ IMEI අංකය ඔබට ඕනෑම දුරකථනයක ඔබටම දැනගන්න පුළුවන්.*#06# යොදා එම අංකය ලබාගන්න. එම අංකය ඔබ කොතැනක හෝ මතක සිටින ස්ථානයක සුරක්ෂිතව සටහන් කර තබාගන්න. එය ඉතාම ප්‍රයෝජනවත්.

එසේ ඔබට online පහසුකම් නොමැති නම් ඔබ ළඟම පිහිටි පොලිස් ස්ථානයට ඔබගේ පැමිණිල්ල යොමු කරන්න. ඔබ පොලිස් ස්ථානයට මේ තොරතුරු ලබාදුන් පසුව ඒ තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කරනවා.

ඉන්පසුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඔබේ ජංගම දුරකථනය පිළිබඳ අඛණ්ඩව පරීක්ෂණ පවත්වනවා. ඔබ online ක්‍රමයට පැමිණිල්ල යොමු කළොත් ඔබටම නිරතුරුවම ඒ පිළිබඳ සොයා බලා යාවත්කාලීන වෙන්න පුළුවන්.

 

ජංගම දුරකථනය කියන්නේ සන්නිවේදනය සඳහා යොදා ගන්න උපකරණයක්. මෙහි ඔබගේ පෞද්ගලික ඡායාරූප ගබඩා කරන උපකරණයක් නොවෙයි. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනෙක් දන්නේ නැහැ තමුන්ගේ ජංගම දුරකථනය යොදාගත යුත්තේ කුමන අවශ්‍යතාවටද කියල. ජංගම දුරකථනයක් කියන්නේ දත්ත ගබඩාවක් නෙවෙයි. දුරකථනයක් භාවිතයේදී එය කොයි මොහොතක හෝ නැති වෙන්න පුළුවන්. අපට ලැබෙන පැමිණිලිවලදී අපට පාරිභෝගික ජනතාව කියන්නේ නැතිවුණු ජංගම දුරකථනයේ වටිනාකම ගැන ගැටලුවක් නැහැ. එය මට දරාගන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ තිබුණු ඡායාරූප ටික . . . . . දුරකථන අංක හා තොරතුරු ටික තමයි වටින්නේ කියලා. ඇත්තටම දුරකථනයක් නැති වූ පසුව එහි තිබෙන දත්තවල වටිනාකමත් එය හමුවෙන පුද්ගලයාට වටින්නේ නැහැ. ඒ නිසා එම දත්ත සියල්ල දුරකථනය සොයා ගැනීමෙන් හමුවෙයි කියන සහතිකය අපට දෙන්න බැහැ. ඒවා අපගේ පාලනයෙන් බැහැරව තිබෙන තොරතුරු.

තවත් ඔබ කරන ලොකු වරදක් තමයි whatsapp, facebookවැනි සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කිරීමෙන් පසුව එයින් logout නොවී විවෘතව තැබීම. සමහරු තම ජංගම දුරකථනය නැතිවීමට අමතරව මෙලෙස තමාගේ සමාජ මාධ්‍ය ගිණුම් අවභාවිත කරන බවටත් පැමිණිලි කරනවා. සමහරුන්ට මෙවැනි දේ තුළින් තමුන්ට සිදුවන අපකීර්තිය දරා ගැනීමට අපහසුයි. ඔබ සිම්පත විසන්ධි කළ අවස්ථාවේම ඔබට එම අංකයටම වෙනත් සිම්පතක් ලබාගන්න අවස්ථාව තිබෙනවා.එවිට ඔබට පුළුවන් ඔබ භාවිත කළ whatsapp සහ facebook ගිණුම් නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන්.

 

නමුත් තවමත් ජංගම දුරකථන භාවිතය ගැන නිවැරදි අවබෝධයක් නැහැ. ඇත්තටම අවබෝධයක් නොමැතිකමට වඩා නොසැලකිලිමත්කම. ඔබගේ දුරකථන නැති වූ පසුව එය මුලින්ම පොලිසියට පැමිණිලි කරන්න. ඉන්පසුව එහි පිටපතක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත එවීම අවශ්‍ය නැහැ. නමුත් දෛනිකව මෙවැනි ලිපි හා පැමිණිලි සඳහා විශාල පිරිසක් ඍජුවම විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත යොමු කරනවා. එසේ කිරීමට පෙර ඔබ කළ යුත්තේ සිම්පත විසන්ධිකර පොලීසියට පැමිණිලිි කිරීමයි.

 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ

මේනකා පතිරණ