ඓතිහාසික ජයග්‍රහණයක අභිමානවත් මතක සටහන්

අගෝස්තු 5, 2024

ආසියාවේ ප්‍රබලතම රටවල් 08ක් සහභාගී වූ කාන්තා ආසියානු කුසලානය මෙවර පවත්වනු ලැබුවේ අප මව්බිමේදීය. රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලිය ආරම්භ වුයේ ජූලි මාසයේ 19දාය. එම තරගාවලියේ අවසන් තරගය ජූලි 28 දා පැවැති අතර ඒ සඳහා තරගවැදීමට සුදුසුකම් ලැබුවේ සද්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පස් වරක් කුසලානය දිනූ ඉන්දියානු කණ්ඩායමයි.

 

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති අවසන් තරගයේදී පසුගිය වර ශූරතාවද සමඟ 7 වරක් ශූරියන් වී සිටි ඉන්දියාවට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. ඉන්දියාව ආසියානු අනුශූරියන් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, 2018දී බංග්ලාදේශය හමුවේ පළමු වරට අනුශූරියන් බවට පත්ව තිබිණි. ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ 2004, 2005, 2006, 2008 සහ 2022 වසරවල අනුශූරියන් වී තිබේ.

 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළ අතර, ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 8ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඕවරයේදී පළමු කඩුල්ල අහිමි වූයේ එක් ලකුණක් ලබා සිටි විශ්මි ගුණරත්න දුවද්දි දැවී යෑමෙනි. කෙසේ වෙතත් නායිකා චමරි අතපත්තුගේ සාර්ථක ආරම්භයට අගනා සහායක් දෙමින් හර්ෂිතා මාධවී සමරවික්‍රම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.

 

නායිකා චමරි සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 63කින් ලකුණු 87ක් එක් කළ හර්ෂිතා තෙවැනි කඩුල්ලට කවිෂා දිල්හාරි සමඟ එක්ව නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 40කින් ලකුණු 73ක් ලෙසිනි. මේ තරගාවලියේදී පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ චමරි ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 43කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 61ක් රැස් කර තිබියදීය.

හර්ෂිතා හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 51කින් නොදැවී ලකුණු 69ක් රැස් කළ අතර, පන්දු 16ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 30ක් රැස් කළ දිල්හාරිගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ස්මිත්‍රි මන්දනා හතරේ පහර 10ක් සමඟින් පන්දු 47කින් ලකුණු 60ක් රැස් කළාය. පළමු කඩුල්ලට ෂෆාලි වර්මා (16) සමඟින් ලකුණු 44ක් එක් කළ මන්දනා සිව්වැනි කඩුල්ලට ජෙමිමා රොඩ්රිගස් සමඟ එක්ව පන්දු 26කින් ලකුණු 41ක් රැස් කළාය. ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂෆාලි දවාගත් කවිෂා දිල්හාරි මන්දනාගේ ඉනිම ද නිමා කිරීමට සමත් වූවාය.

ජෙමිමා පන්දු 16කින් ලකුණු 29ක් රැස් කළ අතර, ඇය දැවී යෑමෙන් පසු පිටියට පිවිසි රිචා ගෝෂ් වේගවත් ලකුණු 30ක් රැස් කරමින් කණ්ඩායම ලකුණු 165 සීමාවට රැගෙන ගියාය. පන්දු 14කට පමණක් මුහුණදුන් ඇය හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළ අතර, පූජා වස්ත්‍රකාර් (5) සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 17කින් ලකුණු 31ක් එක් කළාය. පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි දවාගත් කඩුලු 2කට අමතරව සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනි සහ චමරි අතපත්තු කඩුල්ල බැඟින් දවා ගත්හ.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මාන දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම් කෙරිණි.

 

ඉන්දීය පිල වෙනසකින් තොරව මේ තරගයට එක් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් කරමින් අවසන් පූර්ව තරගයට එක්වූ අචිනි කුලසූරිය වෙනුවට සචිනි නිසංසලා මේ තරගයට කැඳවීමට කටයුතුකර තිබිණි.

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

කළමනාකරු - රියර් අද්මිරාල් (නාවුක හමුදා විශ්‍රාමික) නිශාන්ත ද සිල්වා

ප්‍රධාන පුහුණුකරු - රොමේෂ් රත්නායක

සහාය පුහුණුකරු - තරිඳු පෙරේරා

පිතිකරු පුහුණුකරු - දුමින්ද පෙරේරා

පන්දු රැකීමේ පුහුණුකරු - කාමන් මාපටුන

ශාරීරික සුවතා පුහුණුකරු - දර්ශන් වීරසිංහ

භෞත චිකිත්සක - රොමේෂ් අරවින්ද

තරග නිරීක්ෂක - විදූ බාලා

සම්භාහනකරු - චාමිකා සෙනෙරත්

ලිපිකාරිනි - ඉන්ද්‍රාණි ආරියරත්න