හි‍ෙතන හි‍ෙතන දේ ෆෝන් එකට එන්නෙ මැජික් බලෙන්ද ?

අගෝස්තු 5, 2024

 

කවුද ඔයා ගැන වැඩියෙන්ම දන්නේ? මෙන්න මෙහෙම, කෙනෙක් ඇහුවොත් එක එක්කෙනාගේ උත්තර විවිධාකාර වෙයි. එක්කෙනෙක් කියයි මං ගැන හොඳටම දන්නේ මගේ හස්බන්ඩ් කියලා.. තව කෙනෙක් මගේ අම්මා තමයි මාව හොඳටම දන්නේ කියලා කියද්දි තව කෙනෙක් කියයි මටත් වඩා මං ගැන කවුද දන්නේ කියලා. හැබැයි තමන් ගැන තමන්ටත් වඩා දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. මටත් වඩා මං ගැන දන්න කෙනෙක් ඉන්න පුළුවන් ද? ඔව් ඉන්න පුළුවන්. එයා තරම් ඔයා ගැන දන්න කෙනෙක් කොහෙවත් නැහැ. ඒ කෙනා නිතරම ඉන්නේ ඔයත් එක්කමයි. ඒ ඔයාගේ ළඟින්ම ඉන්න Google. ඒ මොන විකාර කතාවක් ද කියලා හිතුණාට අද කියන්න යන්නේ ඒ කතාවේ සුල මුල ගැන.

 

ගූගල් ඔයා ගැන කොයිතරම් දුරට දැනුම්වත් ද?

කෙටියෙන් කිව්වොත්.. ඔයා ඔයා ගැන දන්නවටත් වඩා ඔයා ගැන දැනුම්වත්. Google ආයතනය ඔයා ගැන දන්න දේවල් ගැන කියන්න ගියොත් ඉතින් එක පැත්තකින් බැලුවොත් ලැජ්ජා සහගතයි කියලා කිව්වත් වැරැද්දක් නැහැ. ඔයාගේ Browsing History එක. ඔයා යූ ටියුබ් එකේ බලපු වීඩියෝස්. ඔයා අන්තර්ජාලය හරහා මිල දී ගත් බඩු බාහිරාදිය. ඔයාගේ Location History එක වගේ දේවල් Google ආයතනයට ලබා ගැනීමට පුළුවන්. මේවා පොඩි පොඩි දේවල් වගේ පෙනුණට මේවාගෙන් උත්පාදනය කරගන්න පුළුවන් දත්ත ප්‍රමාණය විශාලයි.

 

හොයන්න බලන්න නැතුව එකඟ වෙන Terms & conditions

අපි සාමාන්‍යයෙන් අලුත් Service එකක් හරි Software එකක් හරි ස්ථාපනය කරනකොට අදාළ සේවාවට අයත් Privacy settings නොහොත් රහස්‍යතා සැකසුම් ගොඩක් වෙලාවට කියවන්නේ නෑනේ. ඉතින් මේවට ඔයා එකඟ වෙනවා කියන්නේ ඔයා නොදැනුවත්වම හෝ දැනුවත්වම ඔයාගේ දත්ත ගන්න අවසර දෙන එක කියලා ඔයාලටම දැන් තේරෙනවා ඇතිනේ. ඉතින් දැන් ඔයාලට පුදුම වෙන්න දෙයක් නෑනේ ඔයාගේ Google ඔයාගේ වයස, ඔයා ජීවත් වෙන තැන, ඔයා කරන දේවල් දන්නවා කියලා.

 

ඔයාගේ අාශාවන් ගැනත් එයා දැනුම්වත්

ඔයා Google mapsවල හොයපු තැන්, ඔයා පාවිච්චි කරන Apps, ඔයා බලපු you tube videos සහ ඒ ඇසුරින් ඔයා තුළ තියෙන ආශාවන්, ඔයා යවපු සහ පසුවට යවන්න කියලා හිතාගෙන ඉන්න Drafts Gmails පණිවිඩ සහ ෆයිල්ස්. ඔයා Google එකේ හරි යූ ටියුබ් එකේ හරි ඇඳුම් ගැන, විවිධ තැන් ගැන කැමැති කැමැති දේවල් හොයලා බලද්දී Google දැන ගන්නවා ඔයා කැමැති මොනවට ද කියලා. එතකොට ඔයා යූටියුබ් එකෙදී අහම්බෙන් දැකපු වීඩියෝ කිහිපයක් බලන්න පටන් අරන් තත්ත්පර ගණනකින් වෙනත් වීඩියෝවක් බලන්න පටන් ගන්නවනම් එතැනදී Google එක දැන ගන්නවා ඔයා අකැමැති මොනවට ද කියලත්.

 

කොහොමද එහෙම වෙන්නේ?

ඉතින් ඔයාගේ location විස්තර ගැන කතා කරනවා නම්, ඒක ඔයා ඉඳපු තැන ගැන විතරක්ම නෙවෙයි අදාළ දිනය, වෙලාව, ගමන් වෙලාව, කොච්චර වෙලාවක් අදාළ ස්ථානයේ ගත කළා ද, Google fit වගේ එකක් යූස් කරනවා නම් ඔයා තිබ්බ අඩි ගණන පවා , ඔයා එළියට බැහැපු ඕනෙම වෙලාවක් සහ කොච්චර වෙලාවක් ද යන්න වගේ දේවලුත් ගබඩා වෙනවා.

ඒ වගේම Google විසින් ඔයාගේ දත්ත ලබා ගැනීමට එකඟ වුණ ඇප්වලින් කෙළින්ම කිව්වොත් ඔයා Spotify වගේ ඇප් එකක් යූස් කරනකොට ඒ හා අදාළ දත්ත වගේ ඒවත් Collect කරන්න පුළුවන්.

Google photo කියන්නේ නොමිලේ ලබාදෙන ඉතා හොඳ Cloud storage එකක්. ඒත් මේ සේවාව තුළත් ඔයාගේ photos විතරක් නෙමේ ඒවට අදාළ දින ස්ථාන වගේ දත්තත් දත්ත ගබඩාවක ගබඩා වෙනවා.

 

Google එකට ඇයි මේ දේවල් ?

ඉතින් ඒක ගැන කියනවනම් ඒක ඔයාවම ට්‍රැක් කරන්න කියලා හදපු එකක්ම නෙමේ. මේ දත්ත යොදාගෙන තමා Google ආයතනය ඔයාට ගැළපෙන යූටියුබ් Add වගේ දේවල් විවිධ සේවාවන් ඔස්සේ පෙන්වන්න පුළුවන් වෙන්නේ. Youtube recommend videos algorithm නිර්මාණය වෙන්නෙ ඔයා බලන වීඩියෝ සහ ඔයා සොයන දේවල් නිසයි. ඒ අනුව Google තීරණය කරනවා ඔයාට අවශ්‍ය දේ. Algorithm එකෙන් කරන්නේ ඔයාගේ Rabbit Hole ටික හොයාගන්න එකයි. ඒ කියන්නේ ඔයා කාලේ නාස්ති කරන වෙලාවේදී මොනවගේ මාතෘකාවලට ද කැමැති, මොනවගේ දේවල්ද බලන්නේ කියලා එයාලා හොයාගන්නවා. එයාලා එහෙම ඔයා කොහොම කෙනෙක් ද කියලා නිගමනය කළාට පස්සේ ඔයා ඔයාගේ යූටියුබ් එකට, ෆේස්බුක් එකට එන්න ගන්නේ ඔයා ආසකරන වීඩියෝස් විතරමයි. ඒ විදිහට watch time වැඩි වෙන්න වැඩි වෙන්න youtube එකට පුළුවන් ඒ වීඩියෝස්වලට Add ප්ලේස්ට් කරලා සල්ලි මිලියන ගණන් හොයාගන්න. එහෙම බැලුවම Google එක ඔයාව යොදාගෙන බිස්නස් එකක් කරනවා කියලත් කිව්වත් වැරැද්දක් නැහැ.

 

අන්තර්ජාලය තුළ විශ්වාස කරන්න පුළුවන් කාව ද?

එයාලා මෙහෙම අපේ දත්ත ලබා ගත්තා කියලා Google සේවාවන් සියල්ලගෙන්ම ඉවත් වෙලා ඉන්න අපට හැකියාවක් නැහැ. මොකද අපි ඒ තරමටම Google එකත් එක්ක බැඳිලා ඉන්නේ. අපේ ජීවිතයට ඒ තරමට ඒ සේවාවන් අත්‍යවශ්‍යයි.

හැබැයි Google එක මේ තරමට අපි ගැන ඇහැ ගහගෙන ඉන්න නිසා මේ වෙලාවේ තාක්ෂණය ගැන කතා කරද්දි ඔයාට ඔයාව විතරයි විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට යොදා ගනිද්දි දෙවරක් සිතා බලන්න. මොකද Google සමාගම තමන්ගේ පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කරපු අවස්ථාත් නැතුවම නොවෙයි.