වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
ඔනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙ නැහැ
අධි මාත්‍රාවෙන් යමක් ගැනීමෙන් නිසැකවම ඔබ රෝගී වේවි. නැතිනම් ජීවිතයෙන් වුව සමුගන්නට වේවි. ලෝකයේ සාමාන්‍යයෙන් වසරකට මිලියන විසි තිස් ගණනක් අධි මාත්‍රාව නිසා මිය යයි. එය අමෙරිකාවේ පමණක් ලක්ෂයකට වඩා වැඩිය. අධි මාත්‍රාව නිසා මිය යන අය ලංකාවේ සිටියද ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන නොමැත.
මොනවද මේ අධි මාත්‍රාව යටතට ගැනෙන්නේ
ඖෂධ අධි මාත්‍රාවෙන් නැතහොත් ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් බොහෝ අය ජීවිතක්ෂයට පත් වෙයි. අපි Drugs Over Dose යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. මෙය හානිකර තත්ත්වයකි. මිය නොගොස් ජීවිතය සුරක්ෂිත වුවද බොහොමයක් අතුරු ආබාධයන්ට ලක්වන්නට සිදු වේවි.
එසේම නිර්දේශිත නොවන මත්ද්‍රව්‍ය ගැනීමෙන් ඒ අයගේ ජීවිත අඩාළ වේ. හානිදායක වේ. මරණය පවා උරුම වේ. මේ වන විට ලංකාවෙත් මෙම ප්‍රවණතාව දක්නට ලැබේ.
ඖෂධ අධි මාත්‍රාවක් විය හැකි ක්‍රම මොනවාද?
ඖෂධයක් සාමාන්‍යයෙන් නියම කරන්නේ වෛද්‍යවරයෙකි. වෛද්‍යවරු අතින් ඇතැම් විට දිය යුතු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලියවෙන්නට පුළුවනි. වෛද්‍යවරුන් ඖෂධ ලිවීමේ කටයුත්ත සැලකිල්ලෙන් කළ යුතුයි. එසේම දිනකට දෙවතාවක් තුන් වතාවක් ගත යුතු ඖෂධ හතර පස් වතාවක් ගැනීම සුදුසු නොවේ. ඖෂධ ගන්නා කාලය එනම් දින තුනක් පහක් සඳහා නිර්දේශ කරන ඖෂධ ඊට වඩා වැඩි කාලයක් තිස්සේ ලබා ගැනීම හානිකර වේ. දීමට නුසුදුසු ඖෂධයක් අත් වැරදීමකින් ලිවීම, අසාත්මික වෙන ඖෂධ ගැනීම සුදුසු නැත. මේ සියල්ල වැටෙන්නේ අධි මාත්‍රා ගොන්නටයි. රෝගයක් වැලඳුණු විට සුදුසුකම් ලත් වෛද්‍යවරු වෙත යෑමෙන් මෙම අවස්ථා බොහෝදුරට මගහැරී යාවි.
මෙවැනිම වගකීමක් ඖෂධවේදීන් වෙතද පැවරේ. ඔවුන් දැන උගත් දෑ අනුව වෛද්‍යවරයා නිර්දේශ කර ඇති මාත්‍රාව නිවැරැදි ද යන්න අවබෝධ කර ගත යුතු වේ. යම් වෙනස්කමක් ඇත්නම් නැවත වෛද්‍යවරයා වෙතම යොමු කරවීම හෝ නිවැරැදි මාත්‍රාව සඳහන් කර ඖෂධ නිකුත් කිරීම වැදගත් වේ.
ඖෂධ ලබාගැනීමේදී රෝගියාට ඒ පිළිබඳ යම් වැටහීමක් ඇත්නම් එය නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කළ යුතුයි. කුඩා දරුවෙක් හෝ වැඩිහිටියෙක් රැක බලා ගන්නා තැනැත්තෙක් සිටී නම් ඔවුන්ට ඖෂධ ලබාදීමේදී සැලකිලිමත් විය යුතුයි. නිවැරැදි මාත්‍රාව, නිවැරැදි කාල පරතරය,නිවැරැදි දින ගණනට අනුව ඖෂධ ලබාදිය යුතුයි. ඒ අනුව ඖෂධ සඳහා වන අධි මාත්‍රාව වලක්වා ගැනීම පහසු වේවි.
සිතා මතා හෝ වැරදීමකින් ඖෂධ අධි මාත්‍රාවන් ගැනීම
සිතා මතා හෝ වැරදීමකින් ඖෂධ අධි මාත්‍රාවකින් ගෙන රෝහල්ගත වන පිරිස වසරකට 20,000ක් පමණ වේ. මින් අත්වැරදීමකින් ඖෂධ අධි මාත්‍රාවෙන් ගන්නා පිරිස සියයට 20ත් 30ත් අතර වන අතර සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් රෝහල්ගත වන්නේ සිතා මතා ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා ගැනීම නිසායි.
ලංකාවේ බහුලවම සිතා මතා ගන්නා ඖෂධය වී ඇත්තේ පැරසිටමෝල්ය. පැරසිටමෝල් අධි මාත්‍රාවෙන් ගැනීම නිසා වන හානිය පිළිබඳ බොහෝ අයට අවබෝධයක් නොමැත. ඒ මරණය ඉතාම වේදනාකාරී එකකි. මින් සිදුවන්නේ අක්මාවට හානිවීමයි. අක්මාව ප්‍රදේශයෙන් දරුණු වේදනාවක් හටගනී. ඇස් කහ වේ. ඉන්පසු මරණය පවා ඇති වේ.
කුඩා දරුවන්ට වැරැදි මාත්‍රාවෙන් පැරසිටමෝල් ලබාදී රෝහල්ගත කරන අවස්ථා ඕනෑ තරම්ය. මේ නිසා දරුවන්ගේ අක්මාවට හානි පැමිණේ.
රෝගී වූ දරුවාට වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී එම ඖෂධ අතර පැරසිටමෝල් ද තිබිය හැකියි. මෙම ඖෂධ ලබා දෙන අතරේදී දරුවාට උණ හටගත්තොත් මාපියන් පැරසිටමෝල් ලබාදීමට පෙලඹෙයි. ඖෂධ වට්ටෝරුවේ පැරසිටමෝල් වෙනත් වෙළෙඳ නාමයකින් යුතුව සඳහන්ව ඇතත් ඒ පිළිබඳ දැනුම්වත් වීමක් නැති මාපියන් වෙනමත් පැරසිටමෝල් ලබාදීමෙන් සිදුවන්නේ ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වීමකි. මෙහිදී දරුවන් මිය යන අවස්ථාද දක්නට ලැබේ. මෙය පහසුවෙන් වළක්වා ගත හැකි තත්ත්වයකි. එහිදී ඔබ කළ යුත්තේ වෛද්‍යවරයාගෙන් ඖෂධ වට්ටෝරුවේ පැරසිටමෝල් අඩංගුව ඇත්ද යන්න අසා දැන ගැනීමයි. උණක් හට ගත් විට වෙනමම පැරසිටමුල් භාවිත කළ යුතුද නැද්ද යන්න අසන්න.
නියමිත දින ගණනට අනුව ලබා දුන් ඖෂධ අවසන් වූ පසුව වෛද්‍ය නිර්දේශයකින් තොරව එම ඖෂධම නැවත ලබා ගැනීම සුදුසු නැත. එයද ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා ගැනීමකි.
කුඩා දරුවන්ට බරට අනුව ඖෂධ මාත්‍රාව ලබාදීම අතිශය වැදගත් වේ.ඖෂධ ලබා ගැනීමේදී නිර්දේශ වන්නේ බර කිලෝග්‍රෑම් එකකට අදාළ ඖෂධය මිලිග්‍රෑම් පහළොවකින් ලබාදීමයි. ඊට වඩා වැඩිපුර ලබාදීම අහිතකර විය හැකියි. එය අක්මාවට හානිකර වේ.
අදාළ මාත්‍රාවට අනුව වේදනානාශක පෙති ලබා ගැනීමෙන් සුව කළ හැකි වයිරස් රෝගයක් සඳහාද ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් සිදුවන්නේ අධි මාත්‍රාවෙන් ඖෂධ ලබා ගැනීමකි. දෙවනුව ඇතිවන බැක්ටීරියා තත්ත්වයකදී පමණක් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. රෝගීන් අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ බලාපොරොත්තු වීම මෙයට හේතුවයි.
කොළඹ ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානය අමතන්න
මේ කුමන අවස්ථාවකදී වුවද කොළඹ ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය ඇමතිය හැකියි. එය පැය 24 පුරාම විවෘත වේ. ඒ සඳහා 0112686143 ඇමතීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගත හැකි වේවි.
ඖෂධ නොවන මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවෙන් ලබා ගැනීම
මෙය ලොව පුරාම මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාල උවදුරක් බවට පත්ව තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් සිදුවන්නේ සෞඛ්‍ය පිරිහීමයි. අඩු වයසෙන්ම හෘදයාබාධ වැනි තත්ත්ව නිසා මිය යෑමයි. මත්ද්‍රව්‍ය ලබා ගැනීම ආර්ථික වශයෙන් සමාජයීය වශයෙන් මෙන්ම සෞඛ්‍ය අතින්ද පිරිහෙන කාරණයකි.
මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා යොමු වන වයස් කාණ්ඩයන්
බොහෝවිට මේ සඳහා යොමුවීමේ වැඩිම ප්‍රවණතාවක් ඇත්තේ අවුරුදු 12ත් 19ත් අතර පාසල් වයසේ පසුවන දරුවන්ය. මේ සඳහා හඳුනාගත් අවදානම් කාණ්ඩ තිබේ.
කුඩාවියේදී ආදරය, රැකවරණය නිසි ලෙස නොලැබුණු දරුවන්, ආර්ථික වශයෙන් දුක් පීඩා ඇති දරුවන්, මාපියන් අතර නිතර අඩ දබරකම් ඇති නිවෙස්වල දරුවන්, නිවෙසේ කවුරුන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටී නම්, ශාරීරිකව මානසිකව අඩන්තේට්ටම් සිදුවන්නේ නම් මෙවැනි දරුවන් අනාගතයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ඉඩකඩ බොහෝසෙයින් වැඩිය. අනාගතයේදී මේ ප්‍රවණතාව තව තවත් වැඩි විය හැකියි.
දරුවන් ඉදිරිපිට දුම්වැටියක් දල්වා ගන්නේ නම්, මත්පැන් පානය කරන්නේ නම්, දරුවා සිතන්නේ මේ මට නැති අවස්ථාවක්, එය අත්හදා බැලිය යුතු අවස්ථාවක් ලෙසයි. ඔබ දරුවා ඉදිරිපිට මෙම ක්‍රියාව සිදුකරන්නේ නම්, අනාගතයේ දරුවාට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බව අමතක නොකරන්න. දරුවන්ගේ මොළයේ රසායනික ක්‍රියාකාරකම් රැසක් සිදුවන්නේ මේ අවධියේදීය.
සතුට දනවන හෝමෝන
අප නිතරම සතුටින් සිටීමට කැමැත්තෙමු. සතුට දනවන රසායන ද්‍රව්‍ය තිබේ. ඩොපමින්, ඔක්සිටොසීන් මට්ටම ඉහළ යද්දී අපට සතුටක් දැනෙයි. පහළට යද්දි දුකක් කාන්සියක් දැනේ. අප වැඩි හරියක් සොයන්නේ සතුට දනවන රසායන ද්‍රව්‍ය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නටයි.
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේදී මෙම රසායන ද්‍රව්‍ය විසි තිස් ගුණයකින් ඉහළ යයි.
පසුව එය තිබූ මට්ටමටත් වඩා පහළ වැටේ.එහිදී සදාකාලිකවම උරුම වන්නේ දුකක්, කාන්සියක්, තනිකමක් පමණි. ඩිප්‍රෙශන් වැනි තත්ත්ව ඇති වන්නේ ඒ අනුවයි. සික් එකක් ඇති වෙනවා යැයි කියන්නේ ද එයයි. සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිපදවීම එහෙම පිටින්ම නැතිවෙයි. නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට නම් මත්ද්‍රව්‍යයක පිහිට පතන්නටම වේ යැයි සිතයි. සාමාන්‍ය පුද්ගලයන් සතුටු වන අන්දමින් ඔවුන්ට සතුටු විය නොහැකියි. ඉදිරි ජීවිතයම මත්ද්‍රව්‍යවලින් තොරව සතුටින් ගත කිරීමට ඇති අවස්ථාව මග හැරී යයි. මේ සඳහා මුල්ම අඩිතාලම දමා ඇත්තේ දුම්වැටියෙන් සහ මත්පැන් වලිනි. මෙය වළක්වා ගන්නට නම් දරුවන් ඉදිරියේ කිසිසේත්ම දුම්වැටි මත්පැන් පානය නොකළ යුතුයි. දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් කොහෙත්ම නොගත යුතුයි.
උපදෙස් -
කොළඹ ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන