ලොකුවට වැට බැන්දොත් පිට යන එක වැඩියි

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව
සැප්තැම්බර් 16, 2024

 

එදා වැහිබර ඉරිදා දවසක්. මේසය උඩ තිබ්බ ෆෝන් එක රින් වුණේ නොදන්නා අංකයකින්. "හෙලෝව්" එහා පැත්තෙන් ඇහුණේ ගැහැනු කටහඩක්. මිස් මේ කතාව අහන්නම ඕනේ. අපි බැදලා අවුරුදු 25ක් වෙනවා. අපි හරි සතුටින් හිටියේ. ඒත් හදිස්සියෙම වගේ මට එයාගේ ලොකු වෙනසක් දැනෙන්න ගත්තා. මම කවදාවත් එයාගේ ෆෝන් එකවත් බැලුවෙ නැහැ. ඒ තරමටම මම එයාව විශ්වාස කළා. එයා නිතරම එක දුරකතන අංකයකට මැසේජ් කරන්න පුරුදු වෙලා හිටියා. දවසක් ආපු මැසේජ් නොටිෆිකේෂන් එකක තිබුණේ "ඔයා කෑවද පැටියෝ" කියලා. මම තීරණය කළා එයාගේ ෆෝන් එක හොරෙන් බලනවා කියලා. ඒ මැසේජ් කියෙව්වාම මට තේරුණා මිස්, ඒක සෑහෙන දුරදිග සම්බන්ධයක් කියලා. මගේ ජීවිතේම කඩාගෙන වැට්ලා කියලා දැන් මට දැනෙනවා.

 

මේ වගේ දේවල්වලට මුහුණ දීපු අය ඕනතරම් ඇති. මේ වගේ දෙයකට මුහුණපාන්න වුණොත් මොක්කද කරන්නේ. අද කියන්න යන්නේ ඒ ගැන. මෙතැන් ඉඳන් ඒ කතාව අහමු.

 

ගොඩක් කරුණු කාරණා දිහා බැලුවම අවුරුදු 40 පැන්නම කාන්තාවන් ඒ වගේ දේවල්වලට පෙළඹෙනවා වැඩියි. ඒ වගේම පිරිමිත් එහෙමයි. නෝටි ෆෝටි කියලා අපි කියන්නේ ඒකට. එහෙම සම්බන්ධතාවකදී නැවත පිටුපස හැරී බලද්දී තමන්ට දැනෙන වෙහෙස, මහන්සිය නිසා ඇසුරු කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. දෙවැනි එක අතරමඟ අහම්බෙන් මුණගැහුණ කෙනෙක් අපි දෙන්නාගෙ අදහස් සමානයි නේද කියලා එකට එකතු වෙන්නත් පුළුවන්. ඒ වගේ සරල දේවල්. දෙන්නා එකම සිංදුවකට කැමැති වෙනවා දෙන්නා එකම කෑමකට කැමැති වෙනවා. දෙන්නා එක පාටකට

 

කැමැති වෙනවා. දෙන්නා එකම විදිහේ සමාජශීලි ජීවිත ගත කරන අය වෙන්න පුළුවන්.

 

ඉතින් තමන්ගේ සහකරු හෝ සහකාරිය තමා වගේ සමාජශීලි ජීවිතයක් ගත කරන්නෙ නැති වුණාම ලොකුවට දැනෙනවා. ඉතින් තමන්ට දැනෙන්න ගන්නවා මම තෝර ගත්තේ හරි කෙනාව ද? මට කොතැන ද වැරදුණේ වගේ හැඟීමක්. ඒ හැඟීමත් ඇති වෙනතක පැටලෙන්න. කොහොම වෙතත් දෙන්නෙක්ට ආදරය කළොත් තුන් දෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ඛේදවාචක ඕනෙ තරම් අහන්න ලැබෙනවා. බිරියගේ අනියම් සැමියව මරපු කතන්දර... ඕනෙ තරම් අහන්න දකින්න පුළුවන්.

 

මේ තත්ත්වයේදී මානසික පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ගොඩක් වෙලාවට විවාහ වෙන්න තෝර ගන්නේ ගොඩක් දේවල් හිතලා නෙවෙයි. ඒ වෙලාවේ හිතට ආපු හැඟීමක් නිසයි ඔහුව හෝ ඇයව තෝරා ගන්නේ. ආකර්ෂණයට එයා තමයි හොඳම කෙනා කියලා බඳින්නේ. එහෙම හීන ලෝක මැව්වට ඒක එහෙම වෙන්නේ නැහැ. කාලයක් යද්දී මේ බැදීම ඛාදනය වෙන්න පටන් ගන්නවා. මම ආස වුණේ මගෙත් එක්ක නිතරම කතා බහ කරලා හිනා වෙන කෙනකුට. හැබැයි බකමූණෙක් වගේ මිනිහෙක්නේ ගෙදර ඉන්නේ. ඒ වගේම මම කැමැති වුණේ පිරිසුදු, ලස්සන ගැහැනු ළමයෙකුට. හැබැයි දැන් ඉන්නේ අපිරිසුදු අපිළිවෙළ ගැහැනු ළමයෙක්නේ. ඒ වගේ එක එක විදිහේ අදහස් තියන අය මට ඕනෙ තරම් මුණගැහිලා තියෙනවා. ඒ විදිහේ අය මගේ සායනයට එනවා.

 

එක පෞද්ගලික ආයතනයක ලොරි රථ රියැදුරෙක් කියපු දෙයක් තමයි මම ආසයි මම ගියාම කෑවද බිව්වා ද එන්න පරක්කු වෙනවද කියලා අහනවා නම්. හැබැයි එයා කවදාවත් ඒ වගේ දේවල් අහන්නේ නැහැ. එතකොට බිරිය කියනවා, නැහැ මම එහෙම අහන්නේ නැති හේතුවක් තියෙනවා. එහෙම අහන්න ගියාම ගොඩක් වෙලාවට මෙයාට තරහ යනවා. මම වාහනේ එළවන ගමන්නෙ ඉන්නේ වද දෙන්න එපා කියලා එයා දෙතුන් දවසක්ම කිව්වා. පිරිමි කෙනාගේ පැත්තෙන් බැලුවම එයා වැරදිත් නැහැ. ගැහැනු කෙනාගේ පැත්තෙන් බැලුවම එයා වැරදිත් නැහැ. එක්කෙනෙක් 6 ලිව්වාම කෙනෙක්ට ඒක 6 වගේ පෙනෙද්දී අනෙක් පැත්තෙන් බලන කෙනාට ඒක 9 වගේ පේනවා.

 

තව ආපූ පිරිමි කෙනෙක් කිව්වේ මට ඕනේ ප්‍රශ්නයක් වුණාම මගේ නෝනා එක්ක කතාබහ කරලා හිමීට විසඳගන්න. හැබැයි ප්‍රශ්නයක් වුණාම එයා කරන්නේ කෑගහන එක. ළමයි ඉස්සරහ තමයි කෑගහන්නෙත්. මම ඒකට පොඩ්ඩක්වත් කැමැති නැහැ. ඉතින් ගැහැනියක් බිරියක්, මවක් වුණාම ප්‍රශ්නයකදී කලබල වෙලා හරියන්නේ නැහැ. මොකද ඒකට අපි කරන්නේ කියලා මහත්තයත් එක්ක කතාබහ කරන්න ඕනේ. අනිත් එක ප්‍රශ්නයක් වුණාම ළමයි ඉස්සරහ කෑගහ ගන්න එක නම් අන්තිම නරක පුරුද්දක්.

 

එතකොට පිරිසුදුකම සහ පිළිවෙළ. අපි මේ ගැන නිතරම කතා කරනවා. කාන්තාවකගේ පිළිවෙළ සහ පිරිසුදුකම පිරිමියෙක් ඉදිරියේදී ඉතාම වැදගත්. ගොඩක් පිරිමි බලන්නේ ඒ ගැහැනිය ලස්සනද හැඩද කියලා නෙවෙයි පිරිසුදු ද පිළිවෙළ ද කියලයි.

 

ඊළඟ එක මුදල් කළමනාකරණයේ තියෙන ගැටලු නිසාත් වෙනතක බැඳෙන අවස්ථාත් නැතුව නෙවෙයි. එක්කෝ අනියම් බිරිය ජීවත් වෙන්න මාර්ගයක් විදිහට ඔහුව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. නැත්තම් එදිනෙදා දවස කවර් කරගන්න සල්ලි තියෙන වැඩිහිටි ගැහැනු කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ සමහර දේවල්වලට හේතු නැහැ. ඒවා ඇති වුණේ කොහොමද කියලා ඒ අයටවත් අදහසක් නැහැ.

 

හැබැයි හිතන්නකෝ මොන හේතුවකට හරි එහෙම සම්බන්ධතාවක් තිබිලා අතටම අහුවුණා කියලා. ශ්‍රී ලංකාවෙ නම් වෙන්නේ ගහගන්නවා, බැණ ගන්නවා, හතර වටේටම කියනවා. හැබැයි සමහර වෙලාවට එහෙම සම්බන්ධතාවක් තිබිලත් නැහැ. ඒක නිකම් සැකයක් වෙන්නත් පුළුවන්. වැරැද්දක් කරලත් නැතුව ගුටි කන්න වුණාම කෙනෙක්ට දරන්න පුළුවන්ද? එහෙම සැකයක් හරි කාගෙ හරි කටකතාවක් හරි ආරංචි වුණාම මුලින්ම කරන්න ඕනේ ඒක සියුම්ව හොයලා බලන එක. දුරකතනය බලන්න ඉල්ල ඉල්ල රණ්ඩු කරන්න එපා. පාස්වර්ඩ් ඉල්ල ඉල්ල කෑගහගන්න එපා.

 

මොකද අනිත් කෙනාටත් පෞද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙන්න ඕනේ. එයාටත් යාළුවෝ ඉන්නවනේ. සමහර ගැහැනු ඉන්නවා තමන්ගේ සැමියා කිසිම ගැහැනු ළමයෙක් එක්ක කතා කරනවට කැමැති නැහැ. සමහර පිරිමි ඉන්නවා තමන්ගේ බිරිය කිසිම පිරිමියෙක් එක්ක කතා කරනවට කැමැති නැහැ. ගැහැනියෙක් පිරිමියෙක් එක්ක කතා කළා කියලා පිරිමියෙක් ගැහැනියෙක් එක්ක කතා කළා කියලා අනියම් සම්බන්ධතාවක් ඇති වෙන්නේ නැහැ.

 

මම දන්න පිරිමි කෙනෙක් ඉන්නවා. එයාට පාසල් යාළුවෝ ඉන්නවා. කැම්පස් යාළුවෝ ඉන්නවා. ඉතින් හම්බුණාම කෝපි එකක් බොන්න යන එක සාමාන්‍ය දෙයක්. අපි හැම කෙනෙක්ම කතා කරනවා විහිළු තහළු කර ගන්නවා. අපිට ඕනෙ දෙයක් කියන්න පුළුවන් ගැහැනු යාළුවෝ සහ පිරිමි යාළුවෝ ඉන්න ඕනේ. ඉතින් සැකයක් හරි මොකක් හරි වුණාම මව්පියන්ට කියන්න හදිස්සි වෙන්න එපා. සාක්ෂි නැතුව කිසි දේකට හදිස්සි වෙන්න එපා. මුලින්ම කරන්න ඕනේ සැමියයි බිරියයි කතාබහ කරන එක. ඇයි මට මෙහෙම කළේ.. මොකක්ද මගෙන් වුණ වැරැද්ද? මෙහෙම

වෙන්න හේතුව මොකක්ද? ඔයා ඒවට මට උත්තර දෙනවනම් අපිට මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳගන්න පුළුවන් වෙයි. මේ විදිහේ සුහද කතාබහකින් ගොඩක් ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න පුළුවන් වේවි.

 

මෙහෙම දෙයක් වුණාම සමහර බිරින්දෑවරු රණ්ඩුවෙලා බුම්මගෙන ඉඳලා ගෙදර කිසි වැඩක් නොකර ඉන්නවා. දරුවන්ට සැමියට කෑම ටික හදන්නේ නැතුව ඉන්නවා. රෙදි ටික හෝදන්නේ නැතුව ඉන්නවා. ගෙදර දොරේ වැඩ පැහැර හරිනවා. බිරිය ඒ වගේ වැරැද්දක් කළොත් සැමියා ගෙදරට අවශ්‍ය බඩු ටික ගෙනත් දාන්නේ නැතුව ඉන්නවා. ළමයින්ව පාසලට පන්තිවලට ගිහින් දාන්නේ නැතුව ඉන්නවා. මේ දේවල් ඔක්කොම යන්නේ අනේ අර මුකුත්ම නොදන්න අහිංසක දරුවෝ පිටින්.

 

ගොඩක්ම නරක දේ තමයි දරුවන්ව ඔත්තුකාරයෝ විදිහට යොදා ගන්නවා. අම්මා දවල්ට කොහෙ හරි යනවද? අම්මා කාට හරි කතා කරනවද? කියලා තමන්ගේ දරුවව ඒවට යොදවනවා. ඇත්තටම මේ අම්මට එහෙම සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. ඒ අම්මා ඒ කිසි දෙයක් දන්නේ නැතුවත් ඇති. සමහරවිට ඒ අම්මා පාසලේ ගුරුවරයෙක් එක්ක, පාසලේ දරුවෙක්ගේ තාත්තෙක් එක්ක වචනයක් දෙකක් කතා කළා වෙන්න පුළුවන්. ඉතින් දරුවට ඒක තේරෙන්නේ නැහැනේ. ඔව් තාත්තේ අම්මා අද අන්කල් කෙනෙක් එක්ක කතා කළා කියලා දරුවත් තාත්තට කියනවා. තාත්තා අහනවා අම්මා ඒ අංකල් එක්ක කතා කළේ කොහොමද කියලා. දරුවත් කියනවා අම්මා ඒ අංකල් එක්ක හිනා වෙවී කතා කළේ කියලා. දරුවා හිතනවා තාත්තා මට ලොකු වගකීමක් දීලා තියෙන්නෙ අම්මගෙ රහස් හොයන්න කියලා. ඉතින් මේ දරුවෝ නැති දේවලුත් හොයන්න පටන් ගන්නවා. මේ දේවල්වලින් ලිහාගන්න බැරි ප්‍රශ්න ගොඩකට පැටලෙනවා.

 

ඉතින් මේ වගේ දෙයක් වුණාම දරුවන්ව, අසල්වැසියන්ව, මව්පියන්ව කිසිම අවස්ථාවක සම්බන්ධ කරගන්න එපා. මේක බිරියයි සැමියයි කතාබහ කරගත යුතු ප්‍රශ්නයක්.

 

මේ වගේ දෙයක් වෙලා පවුලක් කැඩුණම පහසු නැහැ යළි සකසන්න. කැඩුණු බිඳුණු වීදුරුවක් නැවත හදන්න බැහැනේ. පවුලක ඇති වෙන සමහර ගැටලුත් ඒ වගේ. ඉතින් පුළුවන් තරම් සන්සුන්ව විසඳ ගන්න උත්සාහ ගන්න.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක