ටිකට් එක ඇදෙන්න කලින් බකට් ලිස්ට් එක ගොඩ දාමු

සැප්තැම්බර් 23, 2024

 

ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හිතන්න වුණත් කෙනෙක්ට මතක් වෙන්නේ ජීවිතේ මහ එපාකරපු විදිහට ගෙවෙන්න ගත්තහම තමයි. ජීවිතේ බෝරිංග් වෙන්න හේතු තියෙනවා. ලේසියෙන්ම වෙන්න පුළුවන් දේ තමයි රස්සාව, පවුල් ජීවිතේ වගේ හැමදේම එකම විදිහකට, එකම පිළිවෙළකට සිද්ධ වෙන්න පටන් ගැනීම. ඒ කියන්නේ හැමදාමත් එකම දේ මිසක් අලුත් දෙයක් නෑ. හැබැයි ඉතින් එහෙම ජීවිතේ මෙලෝ රහක් නැති බෝරිංග් එකක් වුණාට පස්සේ දාර්ශනික ප්‍රශ්න ගැන විතරක් හිත හිතා ඉඳලා හරියන්නෙ නෑ. ජීවිතේ ආයෙමත් කූල් කරගන්නත් මොනවා හරි කරන්න ඕ‍ෙන. ජීවිතේ කියන්නේ ඇත්තටම මොකක්ද කියලා හිතන්නහරි හැඟීමක් තියෙන එක හොඳයි. හැබැයි ඒ හැඟීමත් එක්කම එන්න ඕ‍ෙන ජීවිතේ මොන ප්‍රශ්න, දුක්කම්කටොලු ආවත් ජීවිතේ සතුටින් ගෙවන්න ඕනෑ කියන හැඟීමත්. ඉතින් අපි කියන්න යන්නේ ජීවිතේ බෝරිංග් වෙලා ගිය තැන, ආයෙමත් ජීවත්වීමේ රහ ගේන්න කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් ටිකක් ගැනයි. මේ දේවල් මහා ලොකු දේවල් නෙවෙයි, හැබැයි මේ දේවල්වලට ජීවිතේට අායේ ලයිට් පත්තු කළා වගේ එළියක් ගේන්න පුළුවන්.

ආදරේ බෙදා ගන්න

ආදරේ කරන්න කෙනෙක් හිටියොත් ජීවිතේට රහක් එකතු වෙනවා කියලා කතාවට කිව්වට ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මොකද ආදරේ කරන්න කෙනෙක් ඉද්දි ජීවිතේ බෝරිංග් වෙන්න පුළුවන් ද?

ඒකට හේතුව සරලයි. දෙන්නෙක් කාලයක් ආදරේ කරද්දි ඒ දෙන්නා ජීවිතේ එක පහසු මාර්ගයකට එනවා. මෙහෙම කියද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිනෙ දන්නේ අපිට තියෙන ප්‍රශ්න කියලා. ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක් තමයි. හැබැයි ඒ ප්‍රශ්නත් එක්ක එළිවෙනවා, වැඩට යනවා, ගෙදර එනවා, රෑ වෙනවා වගේ දිනචරියාවකට හුරුවෙන එක ලේසියි. හැබැයි ඔය ප්‍රශ්න, වැඩ කන්දරාව අස්සෙන් දෙන්නත් එක්ක කොහේ හරි රවුමක් ගහලා එන්න, මුණගැහිලා කියව කියවා ඉන්න, ට්‍රිප් එකක්, ‍ෆිල්ම් එකක් බලන්න යන්න වේලාව සහ මූල්‍යමය හැකියාව හදාගන්න එක අමාරු වුණාට ඇත්තටම ආදරේ කරනකොට ජීවත් වෙනවා කියලා දැනෙයි!

හොඳ සංවාදයක්

මේක ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි ෆේස්බුක් වගේ සමාජ ජාලයක්. මේ වගේ තැන්වල ජොලි සංවාද වගේම බොහොම සීරියස් සංවාදත් යනවා. ඉතින් ඒ වගේ ජොලියට යන සංවාදයක් යාළුවෙක්ගෙ වෝල් එකක හරි යනවා නම් බය නැතුව ගිහින් සම්බන්ධ වෙන්න. සීරියස් සංවාදයක් යන තැනකදී ඒ ගැන හොඳ දැනුමක් තමන්ට තියෙනවා නම් ඒකට එකතු වෙන්න. දැනුමක් තමන්ට නැතිනම් ඒ ගැන කරුණු හොයලා දැනුම්වත් වෙලා සංවාදෙට එකතු වෙන්න. එතැනින් අලුත් යාළුවොත් එකතු වෙයි.

ඊළඟට ඔය කොළඹ අවට විතරක් නෙවෙයි, ගාල්ල, නුවර වගේ තැන්වල පවා පොත් සංවාද, චිත්‍රපට සංවාද, කලා සංවාද වගේ දේවල් තියෙනවා. ඒ වගේ තැන්වලට ඉඩ තියෙන වෙලාවට ගිහින් එකතු වෙන්න. ඇත්තටම සයිබර් අවකාශයේ ඇතිවෙන සංවාදයන්ටත් වඩා මේ වගේ ඇත්ත ලෝකේ සිද්ධ වෙන සංවාදයන් ජීවිතේ මොන තරම් ඉන්ට්‍රස්ටින් කරනවා ද කියන එක පහසුවෙන්ම වැටහෙයි.

බකට් ලිස්ට්

බකට් ලිස්ට් කියන්නේ මැරෙන්න කලින් කරන්න ඕ‍ෙන වැඩ ලැයිස්තුවකට. ඒ කියන්නේ අපි හැමෝගේම හිත්වල තියෙනවනේ කවදාහරි අමෙරිකාවේ යන්න ඕ‍ෙන, කවදා හරි හිමේ ලිස්සලා යන්න ඕ‍ෙන, කවදාහරි එවරස්ට් නගින්න ඕනෙ වගේ සිහින. ගන්න පොඩි නෝට් පොතක්. ලියන්න ඒකෙ තමන්ට මැරෙන්න කලින් කරන්න ඕනෙ වැඩ හැම එකක්ම. මේකේ ලියන්න ඕනෙ සිහින. ඒ වගේ සිහින ලියන ගමන් මම දුප්පත් ළමයින්ට උදව් කරන්න ඕනේ. කන්න බොන්න නැති මේ ගම්මානෙට කෑමවලින් උදව් කරන්න ඕනේ වගේ එව්වත් ඒකට එකතු කළාට කමක් නැහැ. දැන් තියෙන්නේ පුළුවන් වැඩවල ඉඳන් ඒ එක එක සිහිනය හැබෑ කරගන්න එක. සමහර හීන හැබෑ කරගන්න අවුරුදු කිහිපයක් යනවා. හැබැයි ඒවට දැන්මම ඉඳන් ෆවුන්ඩේෂන් දාන්න ඕ‍ෙන. ආන්න ඒ වගේ සිහින සැබෑ කරගන්න සැලසුම් කරන්න. ඒ සැලසුම් දැන්ම ඉඳන්ම ක්‍රියාත්මක කරන්න. කවදාහරි බකට් ලිස්ට් එකම ගොඩදානවා මැරෙන්න කලින් කියන ෂුවර් එකේ වැඩ කරන්න.

එක අත්තෙ කුරුල්ලෝ

සාමාන්‍යයෙන් අපි දකින සමාජයේ විදිහට කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට යාළුවෝ වෙන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ කෙල්ලෙක් සහ කොල්ලෙක් නම් එක්කෝ ආදර සම්බන්ධතාවක් නැතිනම් ලිංගික සම්බන්ධතාවක් හරි තියෙන්න ඕනෙ කියන එකයි පොදු මතය. හැබැයි ඉතින් අපි එහෙම පොදු මත පිළිගන්න පරම්පරාවක් නෙවෙයිනේ. ආන්න ඒ නිසා කොල්ලෙක් නම් හොයාගන්න හොඳම යාළුවෙක් කරගන්න පුළුවන් කෙල්ලෙක්. කෙල්ලෙක් නම් හොයාගන්න හොඳම යාළුවෙක් කරගන්න පුළුවන් කොල්ලෙක්. විශේෂම දේ තමයි දෙන්නට සමාන අදහස් තියෙන එක. මුල්ලකට වෙලා මොකකට හරි, මොකෙක්ට හරි ඇදකරලා හරි, පරණ විහිළුවක් මතක් කරලා හරි පැළෙන්න හිනාවෙන්න පුළුවන්කම. ඒ වගේම සීරියස් සංවාදයකට බැරිනම් මරාගන්න වාදයකට වුණත් යන්න පුළුවන්කම. ඒ වගේම මොන සීරියස් වාද විවාද සංවාද කළත් ආයෙමත් මොකක් හරි මතක් කරලා හිනාවෙන්න පුළුවන්කම. ආන්න එහෙම ඩයල් එකක් ජීවිතේට ඉන්නකොට අර බෝරිංග් ගතිය නම් ඇති වෙන්නේ නැහැ.

මනස සහ ෆිට්නස් එක

අපි වැඩිදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ බොහොම කම්මැළි ජීවිත ගත කරන්න. ඒ කියන්නෙ අපි කරන ලොකුම ශාරීරික ව්‍යායාමය තමයි බස් එකට දුවන එක. හැබැයි ජීවිතේ කියන්නෙ ඕක නෙවෙයි. ආන්න ඒ නිසා පොඩි උත්සාහයක් ගමු අපේ ජීවන රටා වෙනස් කරගෙන ඇඟ සහ හිත හදාගන්න.

ඇඟ හදාගන්නවා කියන්නේ ජිම් එකේ පදිංචි වෙලා ඉන්න එක නෙවෙයි. හැබැයි උදේ පැයකට දෙකකට රවුමක් දුවලා නැතිනම් ජිම් එකට ගිහින් එන එක බොහොම හොඳයි. ඒකෙන් දවසම නැවුම්, දවසම ‍ෆිට්. ඒ විතරක් නෙවෙයි, කරනකොට තේරෙයි මේ වගේ දේකින් ජීවිතේටත් කොයි වගේ ‍ෆිට් එකක් දැනෙනව ද කියලා.

එතකොට හිත හදන්න කරන්න පුළුවන් දේවල් තියෙනවා. හොඳ පොතක් පතක් බලන්න හුරු වෙන එක. උසස් චිත්‍රපටයක් බලන්න පුරුදු වෙන එක. හොඳ සංගීතයක් අහන්න හුරු වෙන එක. චෙස් වගේ ගේම් එකක් ඉගෙන ගන්න එක. තව සෑහෙන්න දේවල් තියෙනවා. ඉගෙනගන්නම කොයි තරම් දේවල් මේ ලෝකේ තියෙනවද?

විනෝදෙට කරන එවා

පුංචි කාලේ නම් අපි ඕනෙම කෙනෙක්ගෙන් විනෝදාංශය මොකක්ද කියලා අහන පරක්කුවට කියන්න දේවල් තියෙනවා. මුද්දර එකතු කිරීම, කාසි එකතු කිරීම, පෝස්ට් කාඩ් එකතු කිරීම, පොත් කියවීම, මල් පාත්තියක් වැවීම, වයලීනය වාදනය වගේ නොයෙක් විනෝදාංශ. හැබැයි ඉතින් අපි ලොකු ගෑනු මිනිස්සු වෙනකොට ඔය විනෝදාංශ ඈලියාවට යනවා. පුංචි කාලේ පිස්සුවෙන් එකතු කරපු දේවල් දැන් හොයන්නත් නැහැ. දැන් බැරිවෙලාවත් අපෙන් ඇහුවොත් විනෝදාංශ මොනවද කියලා, එක්කෝ කියයි ටීවී බලන එක කියලා, නැතිනම් නිදාගන්න එක කියලා. ඉතින් අපේ ජීවිත පට්ට බෝරිංග් වෙන එක අහන්නත් දෙයක්ද?

දැන්වත් බෝරිංග් ජීවිත වෙනස් කරන්න පටන් ගමුද? ගිටාර් ගහන්න ඉගෙන ගැනීම වෙන්න පුළුවන්, බොන්සායි කලාව වෙන්න පුළුවන්, දැව භාණ්ඩ නිර්මාණය වෙන්න පුළුවන්, අත්කම් වැඩ වෙන්න පුළුවන්, බයික් රයිඩින් වෙන්න පුළුවන්, කඳු නැගීම වෙන්න පුළුවන්, එහෙම නැතිනම් ලොවෙත් නැති නිර්මාණශීලී, වෙනස්ම විනෝදාංශයක් වෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ විනෝදාංශයක් පටන් ගැනීම. ඒකට කාලය සහ මූල්‍යමය හැකියාව වෙන් කර ගැනීම.

ඔන්න ඔය වගේ දේවල් දීර්ඝකාලීනව කරනකොට බෝරිංග් ජීවිතේක බල්බ් දැම්මා වගේ මල් පිපිලා එයි.