වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නුදුටු සේයා
එදා මීදුමින් වැසීගිය දවසක්. අහසේ වලාකුළු මිදුලට පායලා වාගෙ. සීතලින් මිරිකිච්ච දෑත් අලසකමින් ගු ලි ගැහෙද්දි චිත්ත සන්තානයට වැඩි මගේ හිතුවක්කාරයාවත් හිතේ ගු ලිකරගත්තෙ ප්‍රේමණීය සංවාදයකට මුලපුරන්න...ඔහුගේ ආදරණීය පපු තුරෙහි හිස තියාන ආලවට්ටම් මුමුණන්න සිත කෙතරම් ලොබ බැන්දත් නොපෙනෙනා දුර ඉසව්වක ගව්ගාණක් දුරින් ඉන්න මගේ සිහින කුමාරයාගේ සෙනෙහස විඳින්න ලැබෙන ඉඩකඩ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුයි.
ඇලෙක්සැන්ඩර් ග්රැහැම්බෙල්ට පිං සිද්ධ වෙන්න අපේ ආදර කතාව දැහැමෙන් සෙමෙන් ගලාගෙන යනවා සයුරුතෙර බලා ගලායන ගංගාවක් වගේ.
නුඹව හමුවනා දිනක් ගැන සිහින දකින්නට මගේ සිත වෙහෙසෙන තරම් නුඹ දන්නවානම් නුඹ අත්තටු ලත් කුරුල්ලකු සේ මා සොයා ඒවි නිසැකවම.
උදෑසන නිදිගැට කඩමින් මම සයනයට සමු දෙන්නෙ නුඹේ ආදරණීය වදනින් ප්‍රබෝධවත්ව..වෙහෙසකර දවසක අවසානයේ නිදි දෙව්දූ තුරුලට යන්නෙ නුඹේ ආදරණීය වදනින් මුසපත්ව..මගේ සිනහවේ මැවුම්කරු නුඹයි...හිතින් අල්ලාගෙන හුඟක් දුර ගියාට අතින් අල්ලාගෙන නිදහසේ පියමනින්න, මුවට මුව බලා දොඩමළු වෙන්න, උරහිසේ හිස තියාන ඉන්න, ආදරේ සුව විඳගන්නම ආසාවෙන් දෑස් අයා බලන් ඉන්න බව ඔයා දන්නවා. ඒත්...ඇයි එක දවසක්වත් මාව බලන්නට නොඑන්නෙ? නුඹේ ආදරේ නාමයෙන් සිතේ දුක්මුසු හැඟීමක් ජනිත වන්නේ සිතින් විඳින එකී රස හෝරා හැබෑ කරගන්නට නුඹගේ පසුබැස්ම මා සිත තුළ සැරිසරන නිසා ය..මා තරම් නුඹේ සිතේ ආලයක් නැද්දෝ විටෙක මට සිතේ..
ඇතැම්විට ඔහුට නොහඟවා ඔහු සොයා යාමට මට සිත්දේ...නමුදු නන්නාඳුනන පළාතක ගැහැනු ළමයෙක් තනිව යාම කිසිසේත්ම සුදුසු නැත. ඔහු නොඑන්නේනම් මා ඔහු සොයා යා යුතු ය. ආලය අන්ධ ය. එම කතාව සත්‍යයකි. මව්ගේ සවනත මුසාවාදයක් රඳවා සිත හා ඇතිකර ගත් ගිවිසුමට අනුව මම අලුයම නිවසින් පිටමං වූයේ කිසිදා හැබැහින් නුදුටු ඔහුගේ රුව මා දෑසින්ම දැකගැනීමට ය. ඔහු පවසා ඇති තොරතුරු ඔස්සේ මම පියමැන්නේ ඔහු සිටිනා ඉසව්වට ය. නමුදු ඔහු පැවසූ පරිදි මේ ප්‍රදේශයේ එවන් තැනක් නොමැත.අසල්වැසියන්ගෙන් ද විමසා මම තවත් ඔහු කියූ පෙදෙස සොයා ගියෙමි.
මොහු පැවසූවේ මුසාවක්ද? මා දැන් අතරමං වී ඇත. මම වහා ඔහුගේ අංකය ඇමතුවෙමි...
"ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත" අනෙක් පසින් පිළිතුරු දුන්නෙ ඔහු නොව දුරකතන සමාගමෙනි.
සිතිවිලි වියරුවෙන් දස අත දුවමින් එකිනෙක ගැටෙයි. අභ්‍යන්තරයේ උණුසුම් යුද්ධයකි. ගත සීතල ව ගොසිනි. මා ප්‍රාණ සම ප්‍රේමවන්තයා මා අතරමං කොට පලා ගොසින්ද. එහෙත් මා ඔහු සොයා පැමිණෙන වග ඔහු දන්නේ නැත.
නැවත මම ඔහුගේ අංකය ඇමතීමි.. දුරකතනය නාදවනු මට ඇසේ...සිතට දැනුණේ මඳ සහනයකි. අනෙක් පසින් සම්බන්ධ වූයේ සුසිනිඳු ගැහැනු හඬකි. මම සිතින් වෙර වඩා මගේ හඬට පණ දුනිමි.."හෙලෝ.. සඳරු අයියා ඉන්නවද?"
"සඳරු? සඳරු කවුද තමුන්ගෙ?" සුසිනිඳු යැයි හැඟුණු ඒ හඬට ආවේගශීලීත්වයක් ආරෝපණය වී ඇත. මගේ හදගැස්ම තීව්ර විණි.
"මං..මං..එයාගෙ යාළුවෙක්. මට එයාට කතා කරන්න පුළුවන් ද ටිකක්." මම ගොත ගැසීමි.ඔහුගේ සහෝදරිය විය හැකිය.
"හෙලෝ" ඒ... මා බලාපොරොත්තු වූ සඳරු අයියගේ හඬය..
අයියෙ, මම ඔයාව හොයාගෙන ඔයාගෙ ගෙදර ආවා. ඔයා මාව බලන්න එන එක කල් දැම්මට මට ඔයාව නොදැක ඉන්න බෑ.." සහෝදරියට ඇසෙතැයි බියෙන් මම රහසින් මෙන් කීවෙමි.
"ආහ්හ්..බලන්න ආවද? කවුද මේ නැට්ටිච්චි..කෝ බලන්න.."
රික්වෙස්ටින් වීඩියෝ කෝල්.. වට්සැප් තිරය මත දිස්විණි. මා ගල් ගැසුණි. එය ප්‍රතික්ෂේප කළ නොහැක. මම එය ඇමතීමි..
ආහ්හ්.මේ ඉන්නෙ..සුරූපි ලලනාව. කොහෙන් හොයාගත්තද දන්නෙ නෑ මෙයාව. මම සඳරුව මැරි කරන්න ඉන්න කෙනා.
"හෙලෝ..තමුසෙට මම කියලා තියනවා නේද මට කෝල් ගන්න එපා කියලා.දැන් හරිද. තමුන් ප්‍රශ්න ඇති කළා නම් තමුන්ම විසඳනවා."
ඔහුගේ කෝපාවිෂ්ඨ වූයේ කිසිවක් පෙර නුවූ විරූ සේ ය.
"මට සමාවෙන්න. ඔයාලා සතුටින් ඉන්න. බුදු සරණයි" මම ඇසේ කඳුළට තහංචි දමමින් පැවසීමි..
හීන මාළිඟයක් හැබැහින් දැකගැනීමේ ආශාවෙන් පැමිණිය ද අපේක්ෂා භංගත්වයෙන් මෙලෙස පරාජය භාර ගැනීමට සිදුවෙතැයි කෙදිනකවත් මා සිතුවේ නැත. නමුදු සියල්ල එලෙසින් සිදුවී හමාර ය. වෙව්ලන දෙපා ඉදිරියට තැබීමට සවියක් නොමැත. කෑගසා හැඬීමට මට සිත්දේ. නමුදු මේ ඒ සඳහා සුදුසු ස්ථානය නොවේ. සිත සවිමත් කර නැවත ගම්බිම් කරා පියනැගිය යුතු ය.
චිත්තාභ්‍යන්තරයේ නැගි ශෝකාලාපයෝ පවුරු බිඳගෙන පිටතට ගලායති. නමුත් එම ව්‍යසනය ලෝකයා හමුවේ වසන් කළ යුතු ය.
නුඹ සමඟ මැව් හීන මාලිගය එකවර ම මා හිස මතට කඩාගෙන වැටුණි. සිනහවෙන් එකී මාලිගය හැඩ කරන්නට මා පැතූ පැතුම් නුඹ අමු අමුවේම මරා දැමුවේ හිත් පිත් නැත්තෙකු ලෙසිනි.
සිහිනෙකින්වත් නොපැතූ දෙයක් සිදුවෙද්දී මගේ සිත තවමත් මේ සිදු වූ දෙය විශ්වාස කරනු නොහැකිව ළතැවිල්ලේ පසුවෙයි....පරාජිත දෑසින් උනනා කඳුළු කැට ඉවසීමේ බැම්මෙන් හරස් කළ යුතු ය. ආදරයේ සුව විඳිනු සේම වියෝව ද දරාගත යුතු ය. මම නැවතත් සවිමත් වුණෙමි. අප්‍රාණික දෙපා කෙලෙසින් හෝ මාව නිවෙස් බලා රැගෙන ගොසිනි. ඒ ධෛර්යවන්තකමට මම කෘතඥ වූයෙමි.
මහ පොළොව සේ සියල්ල දරාගත යුතු ය. ඒ දරාගැනීම භූමිකම්පාවක් කරමින් නැවත මා දුරකථනයට ආ ඇමතුම
සඳරු අයියාගෙනි. එයට ප්‍රතිචාර නොදැක්වීමට ඉටාගත් මගේ සිත පසුව ඔහු වෙත ගියේ මටත් සොරා ය.
"අනේ නංගි මට සමාවෙන්න..මම ඔයාට ආදරෙයි. ඒත්...එයා මාව බලෙන් අයිති කරගන්න හදනවා"
ඔහුගේ සුපුරුදු ආදරණීය හඬ අවදි විය. කුමක් පවසන්නදෝ'යි සිත අතරමං වී ඇත.
"අයියෙ.මම නවතින්නම්. ඔයා මා ඉස්සරහා මවපු ප්‍රේම පරාදීසයේ මම තනිවෙන්නම්. ඔයා පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි" වෙව්ලන කටහඬින් යුතුව ආයාසයෙන් පිළිතුරු දුන් මම දුරකතනය විසන්ධි කළේ ඔහුගේ ලෝකයට අවතීර්ණ වෙමිනි. මේ සා ආදරයක් මවෙත දුන් ඔහු වෙස්මුහුණක් පැළඳගත් දෙබිඩි චරිතයක් බව මගේ සිත ඉඳුරාම පිළිගත් බව මම දනිමි. ඔහුගේ නමින් ඉපදි ප්‍රේම වෘතාන්තය සමාප්ත කොට මතක මිහිදන් නොකොට පුළුස්සා දමන්නට හිත අනුබල දුන්න ද එය අසීරු කාර්යකි. දුක්බර මනෝ ලෝකයක සිරවෙමින් මා නිදි දෙව්දූ තුරුලට ගත්තේ බැඳීම් දුකකි යන බුදුන් දෙසූ දම්පදයක් සිත ගුලි කරගනිමිනි.