අඩු වයසින් බැඳලා කරදර වැඩි කරගන්න එපා

සැප්තැම්බර් 30, 2024

 

ජීවිත ගමනේදී ඉදිරී ජීවිතය සුබවාදී ද අසුබවාදී ද යන්න තීරණය වන වැදගත් කඩඉමකි විවාහය. දෙදෙනෙක් ආදරයෙන් අතිනත ගන්නේ දහසකුත් බලාපොරොත්තු සමඟිනි. සතුටින් ජීවත් වීම, දරුවන් හැදීම, ධනය අතින්, අධ්‍යාපනය අතින් පොහොසත් වීම ඒ බලාපොරොත්තු අතර ඉහළින්ම තිබෙන බලාපොරොත්තු කිව්වොත් හරි. හැබැයි ඒ හැමදේම හිතන්න දකින්න හොඳ අවබෝධයක් හොඳ නුවණක් තිබිය යුතුයි. විවාහයටත් හරි වයසක් තියෙන්නේ ඒ නිසයි. දැනුම් තේරුම් ඇති දෙන්නෙක්ගේ විවාහ ජීවිතය සුබවාදී පැත්තට යද්දී දැනුම් තේරුම් නැති දෙන්නෙකුගේ විවාහය ගැටලුකාරී තත්ත්වයකට යන්නෙ ඒ නිසයි.

 

ඒ නිසයි විවාහයටත් සුදුසු වයසක් තිබෙන්නේ. ඉතින් දැනුම් තේරුම් නොමැතිව අඩු වයසෙන් විවාහයට යන අයගේ විවාහ සීසීකඩ විසිර යන්නට වැඩි කාලයක්ගත වන්නේ නැහැ.

 

විවාහ වීමට අදහස් කරන බොහෝ යුවළයන් කවදාද සහ කවුරුන්ද යන තීරණය සමඟ පොරබදයි. හැබැයි අඩු වයසෙන් විවාහ වීම ලෝකෙටම ප්‍රශ්නයකි. එතකොට ගොඩක් අයට හිතෙන්න පුළුවන් අපේ ඉතිහාසයේ තියෙන සාක්ෂිවල හැටියට අවුරුදු 16 දී සිදුහත් කුමාරයත් කසාද බැඳලා තමයි යශෝදරා දේවියට පුතෙක් ලැබෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි ඒ කාලෙ තිබුණ සමාජ ආර්ථික ප්‍රශ්න වෙනස්. ඒ කාලේ ආයුෂ වැඩියි. අනිත් එක දැන් ආයුෂ අඩුයි. දැන් කාලේ ළමයි අඩු වයසින් විවාහ වෙන්න තෝර ගන්නෙ සමාජ මාධ්‍ය ජාලා හරහා සම්බන්ධ වෙන අයනේ. ඒ කෙනාගේ මුල දන්නෙත් නැහැ. අග දන්නෙත් නැහැ. පවුල් පසුබිම දන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට වංචාව සහ බොරුව තමයි මේ ඇතුළේ තියෙන්නෙ. ඉතින් මේ වංචාව සහ බොරුව ඇතුළේ රැවටිලා මාසෙන් දෙකෙන් විවාහ ජීවිත කඩාකප්පල් වුණ අය මට මගෙ ජීවිතයේදී ඕ‍ෙන තරම් හමු වෙලා තියෙනවා.

 

ඒ නිසා සමාජ මාධ්‍ය ජාලා හරහා ආරාධනා ආවට තමන්ගෙ දුවලා ඒවට යොමු වෙනවද කියන එක ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මම දන්න කියන ඉතාම වැදගත් පවුලක ගැහැනු ළමයෙක් සමාජ මාධ්‍ය ජාලාවලින් හමු වුණු තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. ඔහු ඉතා පොහොසත් පවුලක, උගත් බව ගැන ලොකූ බොරු ගොඩක් මේ දරුවට කියලා තියෙනවා. ඉතින් මාස 6ක් විතර යද්දී ඒ ගැහැනු ළමයගෙ අම්මට දැනගන්න ලැබෙනවා ඔහු බොරු ගොඩාක් කියපු අයෙක් කියලා. ඔහු ඉතා දුගී පවුලක අම්මා, තාත්තා නැති ඉගෙන ගත්තෙ නැති ළමයෙක්. ඉතින් මේ ගැහැනු ළමයගෙන් ඇයි මේ සම්බන්ධයට කැමැති වුණේ කියලා ඇහුවම කියනවා මෙයා මට කන්න අරන් දෙනවා. පීසා අරන් දෙනවා. රෝස පාට ටෙඩි බෙයා කෙනෙක් අරන් දුන්නා. ඔහොම හරි සරල දේවල්වලට තමයි මේ දරුවා ඔහුට කැමති වෙලා තියෙන්නෙ. ඉතින් හොයලා බැලුවම ඒ ලිපිනයේ එහෙම කෙනෙක් නැහැ. ඒ වගේ ප්‍රාථමික දේවල්වලට වඩා විවාහය කියන්නේ ලොකු දෙයක් කියන එකවත් මේ දරුවට අවබෝධයක් නැහැ.

තව සමහර තාත්තලා ඉන්නවා තරුණ ළමයි වගේ හැසිරෙනවා. ගැහැනු දරුවනුත් ඉන්නවා වෙන වෙන අයගෙ ෆොටෝස් දාගෙන සමාජ මාධ්‍ය පාවිච්චි කරන අය. විවාහය තෝරා ගනිද්දි සමාජ මාධ්‍ය ජාලාවලින් නම් තෝර ගන්න යන්න එපා. ශරීර පැත්තෙන් ගත්තත් අඩු වයසෙන් විවාහ වීමේදි ගැටලු මතුවෙනවා. ඒ විදිහට විවාහ වුණු ළමා මව්වරු නොමේරූ මව්වරු ලෝකය පුරාම ඉන්නවා. ළමා මවක් කොහොමද දරුවෙක් බලාගන්නෙ. ඒක සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් බරපතළ වැරැද්දක්. මානසිකවත් ළමයා සූදානම් නැහැ. ශාරිරීකවත් සූදානම් නැහැ. මොකද අවයව මෝරලා නැහැනේ. විශේෂයෙන් ආකල්ප. අඩුම ගානේ විවාහයට අවුරුදු 22කවත් පනින්න ඕනේ. අනිත් එක විධිමත් අධ්‍යාපනයක් නැත්තම් අඩුම තරමේ සමාජයීය මට්ටමෙන්වත් අධ්‍යාපනයක් ලබලා තියෙන්න ඕනෙ.

ඉන්දියාව වගේ රටවල තාමත් රජයට හොරෙන් ළමා විවාහ සිදු කරනවා. ඒ සිදුවන විවාහවලින් ලොකු බලපෑමක් වෙනවා. ඒවා හු‍ෙදකලා සිද්ධියක් නෙවෙයි. හැමතැනම පැතිරෙන දේවල්.

 

එතකොට අඩු වයසෙන් විවාහ වන අයට ඉපදෙන දරුවෝ අඳුරු ව්‍යසනකාරී ළමා වියේ අත්දැකීම්වලට තමයි මුහුණ දෙන්නේ. ඒකට හේතුව ඒ දරුවන්ගේ අම්මලා ඒ අවස්ථාවට සූදනම් නැහැනෙ. කිරි දෙන්න බැහැ. කෑම හදන්න තේරෙන්නෙ නැහැ. රෙදි හෝදන්නෙ නැහැ. ආර්ථික වශයෙන් ගත්තත් ගොඩක් ගැටලුකාරියි. එතකොට නිතැතින්ම ඒ දරුවන්ගේ ළමා විය අඳුරු වෙනවා.

ගොඩක් වෙලාවට තාත්තට හරි හමන් හොඳ රස්සාවක් නැහැ. ඉන්න තැනක් නැහැ. එතැනත් ප්‍රශ්න. එතකොට නීතිය ගැන දැනුමක් නැහැ. ළමයව පාසලකට දාන්න තේරෙන්නෙ නැහැ. ළමයගෙ උප්පැන්න ගන්න තේරෙන්නෙ නැහැ. සමහර වෙලාවට අඩු වයස නිසා විවාහ වෙලා නොමැති නිසා උප්පැන්න ගන්න බැහැ. ඒ වගෙ ප්‍රශ්න ගොඩකට මුහුණපාන්න වෙනවා. සමස්ත සමාජයම මේකෙන් තුවාල වෙනවා. මේකෙ වැඩි වගකීමක් තියෙන්නෙ දුවලා ඉන්න අම්මලට. අම්මලට පුළුවන් දරුවන්ට මේ ගැන තේරුම් කරන්න. විභාගයට උනන්දු වෙන කාලයේ විවාහයට උනන්දු වුණහම සමස්ත පද්ධතියම කඩාගෙන වැටෙනවා.

 

එතකොට විශාදය කාංසාව වගේ මානසික රෝගවලට ලක් වූ අයව මට හමු වෙනවා. ඉතිහාසය හොයලා බැලුවම අඩු වයසෙන් විවාහ වෙලා, නොමේරූ දරුවන් ලෙස ඉපදුන අය. අඩු වයසෙන් විවාහ වුණාම නොමේරූ සංකූලතා සහිත දරුවන් ඉපදෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද ගර්භාෂය ඊට සුදුසු ලෙස වැඩිලා නැහැනෙ. ඉතින් දරුවෙකුට උපත දෙන්න සූදානම් නැහැ. එහෙම උපදින දරුවන් නිසා ගෙදරට විතරක් නෙවෙයි රෝහල් පද්ධතියටත් ලොකු බරක් වෙනවා. එහෙම බලද්දී සමස්ත සමාජයම ලෙඩ කරන ගැටලුවක් තමයි අඩු වයස් විවාහ කියන්නෙ.

 

එහෙම දෙන්නෙක් විවාහ වුණාම මේ පවුලේ හොරකම්, සමාජ අපචාර ක්‍රියා, අපගාමී චර්යාවන් වැඩි වෙනවා. මොකද හරිහමන් ආදායම් මාර්ගයක් නැහැනේ. සැමියා බීමත්කමට ඇබ්බැහි වෙනවා. අඩු වයස් අම්මා දරුවන් එක්ක තනි වෙනවා. මට ළඟදී අම්මා කෙනෙක් හම්බුණා. එයාට වයස 30යි. එයගෙ පුතාට අවුරුදු 20යි. කොහොමද එහෙම වුණේ කියලා හිතා ගන්නවත් බැහැ. හැබැයි එහෙම වෙලා තියෙනවා.

 

අඩු වයසෙදී රැකියා අවස්ථාවන් අඩුයි. සේවා අවස්ථාවක් ලබා ගන්නත් පුහුණුවක් තියෙන්න ඕනෙ. වෘත්තීය දැනුමක් නැතිව රස්සාවකට යන්න බැහැ. ඒ හැමදේම විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ජොබ් එකක්, ආදායම් මාර්ගයක් නැතුව පරස්ථාවට මුල් තැන දුන්නොත් මුළු ජීවිතෙම අඳුරු වෙලා යන්න පුළුවන්.

 

හැමදේටම වයසක් තියෙනවා. මලක් පිපෙන්නත් කාලයක් තියෙනවා. ගහක ගෙඩියක් එන්නත් කාලයක් තියෙනවා. සෘතු වුණත් කොටස්වලට බෙදිලා තියෙනවා. හේමන්ත, වස්සාන, සිසිර, ගිම්හාන කියලා. අපේ ජීවිතත් ඒ වගේ තමයි. හොඳටම ඵල දරන්න පුළුවන් කාලෙ තමයි විවාහයකට යන්න ඕනෙ. හැබැයි විවාහය කියන දේ ගොඩාක් පරක්කු කරන්නත් හොඳ නැහැ. මොකද ළමයි පෙරපාසල් යද්දි මව්පියෝ වයසයි. නිසි කලට විවාහය සිදු විය යුතුයි.

 

ගොඩක් වෙලාවට අඩු වයසෙන් ප්‍රේම සම්බන්ධතා පටන් ගන්න අයගෙන් හේතුව අහලා බැලුවම ඒ ගොඩක් අය අධ්‍යාපන කටයුතුවලවත්, වෘත්තියකවත් නියැළෙන්නෙ නැති අය. ගොඩක්ම නිකම් ඉන්න අය. ඉතින් මෙහෙම කලබලේට පටන් ගන්න සම්බන්ධතා ගොඩක් කල් තියෙන්නෙත් නැහැ. මගෙ ළඟට සමහර අම්මලා දරුවෝ ගේනවා ඒ දරුවෝ අවුරුදු 10 - 15දී අසීමිත විදිහට ඒ දේවල්වලට ඇබ්බැහිවෙලා ඉන්න අය. ෆෝන් එකට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න අය. මව්පියන්ට පුළුවන් දරුවන්ව ඒ දේවල්වලින් මුදවා ගන්න. හැබැයි මේක කියපු අම්මා කෙනෙක් කියන්න පුළුවන් මගෙ දරුවා කියන දෙයක් අහන්නෙ නැහැනේ කියලා. ළමයට තියෙන්නේ එයාගෙම මතයක්. ඒ මතය ටිකෙන් ටික වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ ගෙදර ඉන්න අයටමයි. හැබැයි සමහර දරුවන්ට එහෙම වෙලා තියෙන්නෙ ගෙදර අයගෙ වැරදි නිසයි. අම්මයි, තාත්තයි හැමදාම රණ්ඩු කර කර ඉද්දි ළමයි එයාලගෙම ලෝකයක් හොයා ගන්නවා. එයාලා එයාලගෙම ලෝකෙක තනි වෙද්දී දුරාචාරයට පෙළඹෙන්න තියෙන ඉඩ වැඩියි.

 

ස්වභාවික පිපෙන්න කලින් පිපෙන්න හැදුවොත් ඉතා ඉක්මනට පරවෙනවා. ගහකින් මලක් බිමට වැටුණම ගහ අඬන්නෙ නැහැ. මල තමයි තැළිලා, පොඩි වෙලා, පර වෙලා යන්නෙ. ඉතින් කාලය ආවම ඒකාලයට අනුව ජීවිතය ගෙනියන්න.

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී  ලිපි මාලාව