වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බැරිස්ට කෙනෙක් වුණොත් කරන්න බැරි දෙයක් නැහැ
කෝපි කෝප්පයක රස බලනවා කියන්නෙම ලස්සන කතාවක් කියවනවා වගේ වැඩක්. තැළී බිඳී පොඩි වී ගිය හැම හිතකටම සුවය බෙදන්නත් ප්‍රේමයේ වැසි වස්සන්නත් උණුසුම් කෝපි කෝප්පයකට පුළුවන්. ඒ නිසයි කෝපි පාටට ආදරය කරන කෝපි රසට ප්‍රිය කරන අය වෙනුවෙන්ම වෙනම කල්චර් එකක් හැදිලා තියෙන්නෙත්. කොෆී ලවර්ස් එහෙමත් නැත්තම් කෝපි ප්‍රේමවන්තයින් වෙනුවෙන් හැම තැනකම හරි අපූරු පුංචි පුංචි කොෆී ෂොප් නිර්මාණය වෙන්නෙත් ඒ නිසාමයි. මේ කියන්න යන ඇයත් ප්‍රේමණීය කෝපි පැහැයට ආදරය කරන වින්ටේජ් හදවත්වලට කෝපි රස මවන්නියක්.. ඇය ලංකාවේ යුවතියක් වුණාට කොෆී ආර්ට් අඳිමින් හරි අපූරු කෝපි හදන්නේ ඩුබායි රටේදී. ඇය පූර්ණිකා දෙව්මිණි. මේ හරි අපූරු කෝපි නිසා ඇය ටික් ටොක් එකෙත් හරි ජනප්‍රිය චරිතයක්.
ඩුබායි රටේදී කෝපි රස බෙදන ඇය ඒ කතාව කියන්න පටන් ගත්තේ මේ විදිහට.
මම ටික් ටොක් කරන්න අරන් වැඩි කාලයක් නැහැ. මාස පහක් වගේ ඇති. මම දාන ගොඩක් ටික් ටොක්වල තියෙන්නේ මම ෂොප් එකේ කොෆී හදන ඒවා. මම ඩුබායිවල ෂොප් එකක කොෆී හදන නිසා වෙන්න ඇති ලංකාවේ ගොඩක් අය ඒ ටික්ටොක් වීඩියෝස්වලට මේ තරම් කැමැති. මගෙ ටික්ටොක්වලට කමෙන්ට් කරන ගොඩක් අය ආසයි මං වගේ බැරිස්ට කෙනෙක් වෙන්න.
පූර්ණිමා කොහොමද ඩුබායි රටේ බැරිස්ට කෙනෙක් වුණේ.
ඒක මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්. ඒ ගැන කිසිම දැනුමකින් නෙවෙයි මම ඩුබායිවලට ආවේ. මම ලංකාවෙන් ආවේ මෙහෙදි මොකක් හරි ජොබ් එකක් හොයාගන්නවා කියන අදහසින්. ඒ කියන්නේ හරි අරමුණක් නැතුව. මුලින්ම හම්බුණේ වේටර් ජොබ් එකක්. අන්තිමට බැරිස්ට කෙනෙක් වෙන්න ලැබුණා. බැරිස්ට කියන්නේ ප්‍රමිතිගත කෝපි සාදන්නියට. ඒක හරියට චෙෆ් කෙනෙක්ට සමානයි. හදන දේ විතරයි වෙනස්.
ඩුබායි ජීවිතය පටන් ගැන්මම අපහසු වෙන්න ඇති...
පිටරට ජීවත් වෙනවා කියන්නේ ලේසි නැහැ. වේටර් කෙනෙක් විදිහට පොඩි ෂොප් එකක වැඩ කළාට එතැන හරිම කාර්යබහුලයි. එතැන කෑම සර්ව් කරන්න, චෙෆ්ලට උදව් කරන්න වගේ දේවල් තමයි මට කරන්න තිබුණේ. කාලයක් යද්දි මට වීසා ප්‍රශ්නයකුත් ආවා. ඒ දේවල් එක්ක මම වෙන තැනකට මාරු වුණා. ඒක කොෆි ෂොප් එකක්. මට කොෆි ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැනේ. එතැනත් මට වේටර් කෙනෙක් විදිහට වැඩ කරන්න වුණේ. ඉතින් එතැනදී මම වැඩ කරන ප්‍රවීණ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොෆීවල ආර්ට් ගහන්නත් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තා. වැඩ කර කර ඉද්දි ගැටලු කිහිපයකටම මුහුණ පාන්න වුණා. මම දාන කොෆී ආට්වල නීට්නස් එක හරි මදි වගේ අදහසක් ඒ අයට තිබුණා. මම මේ ක්ෂේත්රයට නවක කෙනෙක්. ඉතින් අඩුපාඩු වෙන්න පුළුවන්. මගෙත් ඒ වගේ අඩුපාඩු තියෙන්න ඇති. මොකද එතකොට වේටර් කෙනෙක්නේ. එතැනින් කිසිම පුහුණුවක් ලබා දුන්නේ නැහැ. මම එතැනින් දේවල් හොය හොය ඉගෙන ගත්තා. ගොඩක් වෙලාවේ ඒ ෂොප් එකේ මට තනියම වැඩ කරන්න වුණ අවස්ථා තියෙනවා. ඒ නිසාමයි මම වැඩි වැඩියෙන් උනන්දුවෙලා ඉගෙන ගත්තේ. ඉතින් මං දාන කොෆී ආර්ට් හරි නැහැ කියලා එයාලා මාව ජොබ් එකෙන් අයින් කළා.
මේ හැමදේම දරා ගත්තේ කොහොමද?
මට ටිකක් හරි සහනයක් තිබුණෙ තාත්තත් ඩුබායි හිටපු නිසා. මම නැවතිලා හිටපු කිට්ටුවමයි එයත් නැවතිලා හිටියේ. එතකොට අම්මා ඉන්නේ ලංකාවේ වුණාට එයා තමයි ලොකුම ශක්තිය වුණේ. අම්මා ගයනි කාංචනා.
තාත්තා අජිත් ප්‍රියන්ත. මල්ලි තෙනුජ නිල්නෙත්. ගෙවල් හංවැල්ලෙ. එයාලා හැම වෙලාවෙම මගේ හයියට හිටියා.
ඉතින් ජොබ් එකක් නැතිව සතියක් වගේ හිටියා. මම හරිම දුකකින් හිටියේ. මාව ජොබ් එකෙන් අයින් කරපු එක ගැන. මොකද මගේ වැරද්දකින් නෙවෙයිනේ ඒ දේ සිද්ධ වුණේ. මම වේටර් කෙනෙක් විදිහට ඉද්දි කොෆි ආර්ට් ගහන්න වුණේ එතැන වැඩට කට්ටිය මදි නිසා. සාමාන්‍යයෙන් බැරිස්ට එහෙමත් නැත්තම් කොෆී හදන අයගේ වගකීමක් ඒක. අනිත් අයගේ වගකීමක් මගේ කරගෙන කරන්න ගිහින් මට ජොබ් එක නැති වුණේ.
ඒ සතිය ඇතුළතදී මම කළේ ඒ වගේ ජොබ්වලට ඇප්ලයි කරපු එක. මට එක තැනක ජොබ් එකක් හම්බුණා. ඒක කොෆී වෙනුවෙන්ම කරගෙන යන ෂොප් එකක්. කොෆී ලවර්ස්ලගෙ ෂොප් එකක්. එතැන මම හොඳට වැඩ කළා. හැමදේම ඉගෙන ගත්තේ එතැනින්. කොෆී වර්ග ගැන, රසට හදන හැටි, කොෆී ආර්ට් දාන හැටි ඒ හැමදේම හරියට ඉගෙන ගත්තා. මම එතැනට ආවෙත් වේටර් කෙනෙක් විදිහට. එහෙම ඉඳලා දැන් කොෆී හදන කෙනෙක් දක්වා ඇවිත් තියෙනවා. බැරිස්ට කියන්නෙත් හරියට චෙෆ් කෙනෙක් වගේ තමයි.
ෂොප් එක ගැන කතා කළොත්
මේ ෂොප් එකේ නම Dark door speciality coffee dubai. මේ ෂොප් එකේ ෂිෆ්ට් එකට වැඩට පස් දෙනෙක් වැටෙනවා. කණ්ඩායමක් විදිහට අපි වැඩ කරන්නේ. ලංකාවේ ගොඩක් අය මේ ෂොප් එකේ වැඩ කරනවා. පිලිපීනය, මියන්මාරය, ඇල්බේනියාව වගේ රටවල අයත් මෙහෙ වැඩ කරනවා. එයාලත් එක්ක වැඩ කරද්දි මේ වෙන රටක අය කියලා දැනෙන්නේ නැති තරමට එයාලා හරි ළෙන්ගතුයි. ඇත්තටම ලංකාවේ අයට වඩා වෙන රටවල අයත් එක්ක වැඩකරන එක හරි පහසුයි කියලා මට හිතෙනවා.
හැමෝම කතා වෙන පූර්ණිකාගෙ ටික් ටොක් එකවුන්ට් එක ගැනත් කියමු
Poorneeka Dewmini නමින් මම ටික් ටොක් එකවුන්ට් එක පටන් ගත්තේ ආසාවකට. ඉතින් ඒකට මම ෂොප් එකේ කොෆි හදන වීඩියෝස්, ආර්ට් දාන වීඩියෝස් නිතරම දානවා. ඊට අමතරව එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය දේවලුත් මේ ටික්ටොක් පේජ් එකට දානවා. Tik tok එකේ කොෆී ගර්ල් එහෙමත් නැත්නම් කොෆී කෙල්ල කිව්වම ගොඩක් අය මාව දන්නවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය අහන්නේ ඩුබායිවල බැරිස්ට කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ තැනට එන්න පාර හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයට වචනෙකින් හරි උදව් කරන්නයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. මේ සියලුම ඒවා වීඩියෝ කරන්නේ නේපාල් තරුණයෙක්. එයා මනෝජ්.
බැරිස්ට කෙනෙක්ට යා හැකි දුර කොහොමද?
ඕනෙම දේකට උනන්දුවක් තියෙනව නම් යන්න පුළුවන් දුර උපරිමයි. බැරිස්ට කෙනෙක්ට වුණත් එහෙමයි. හැමදාම එකම දේ කර කර හිටියොත් එක තැනමයි. මම මෙහෙට ආවේ මේ සම්බන්ධ කිසිම පාඨමාලාවක් කරන්නෙ නැතුව. හැබැයි කොෆි ආර්ට්වලට පාඨමාලා කරපු සමහර අය මෙහෙට ආවම සාමාන්‍ය කොෆී එකක්වත් හදා ගන්න බැහැ. ලොකු දේවල්වලට දැනුම තිබුණට දැනගන්න ඕනෙම දේවල් ඒ කියන්නේ ප්‍රාථමික දේවල් ගැනවත් ඒ අයට අවබෝධයක් නැහැ. ඒ නිසා පාඨමාලාවක් කරපු පලියටම ඩුබායිවලදී ජොබ් එකක් හොයාගන්න බැහැ. පාඨමාලාවක් කරනවනම් හරියට ප්‍රැක්ටිකල් කරන තැනකින් කරන්න. එයාලට ඕනෙ තියරි දැනුම නෙවෙයි හැකියාවයි ඕනේ. මෙහෙ ඇවිල්ලා ඉගෙන ගෙන මං වගේම සාමාන්‍ය හොඳ සැලරියක් ගන්න ගොඩක් අය මෙහෙ ඉන්නවා.
මම මෙතැනට වැඩට ඇවිත් මාස 8යි. ආවේ වේටර් කෙනෙක් විදිහට. ඒ මාස 8 ඇතුළේදී මගේ ජිවීතය හොඳ අතට වෙනස් වුණා. මම මෙතන වැඩ කරන්නේ හරිම සතුටින්. මම කොහේ ගියත් හිනා වෙලා ඉන්න කෙනෙක්. මම කිසි දෙයක් ආතතියක් විදිහට ගන්නේ නැහැ. මට ස්ට්‍රෙස් එකක් ආවත් මම ගන්නේ නැහැ. මොකද මම කැමැති නැහැ මගේ හිනාව නැති වෙනවට. ඉතින් මම වැඩ කරද්දී කා එක්කවත් ගැටෙන්නෙ නැහැ.
මේ ෂොප් එකේ කළමනාකරුව මම මතක් කරන්නම ඕනෙ. එයා මාව විශ්වාස කරලා මේ ජොබ් එක දුන්න නිසයි මම අද මේ තැන ඉන්නේ. මගෙ හොඳම යාළුවා කේෂානී. මට මොන ප්‍රශ්නෙ ආවත් එයා මාත් එක්ක ඉන්නවා. පිටරටක තනි වෙද්දි හොඳ යාළුවෙක් ඉන්නම ඕනේ. පීනන්න නම් වතුරට බහින්නම ඕනෙ කියනවනේ. එහෙම හිතාගෙනයි මමත් මෙහෙ ආවෙ.