අපේ මලල ක්‍රීඩා පිටියට පායන අලුත්ම තරුව තරුෂි අභිෂේකා

සැප්තැම්බර් 30, 2024

 

දක්ෂතාවය, කැපවීම හා උනන්දුව මත සෑම ජයග්‍රහණයක්ම තීරණය වෙයි. එය ඕනෑම ක්ෂේත්‍රයකට වලංගු වූ සිද්ධාන්තයකි. ඕනෑම ජයග්‍රහණයක් ලබන්නට විශාල කැපවීමක් කළ යුතුමය. මෙය ක්‍රීඩාවේදී බෙහෙවින්ම අවශ්‍ය වෙයි. මෙවර ඔලිම්පික් තරගාවලිය පුරාම අපට අසන්නට දකින්නට ලැබුණේ එවැනි ජයග්‍රහණ රාශියකි.

 

ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගන්නට කළ යුතු කැපවීම අපමණය. ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසය තුළ අපට හිමිව ඇත්තේ එවැනි අවස්ථා දෙකකි. එක් අවස්ථාවක් ඩන්කන් වයිට් ක්‍රීඩකයාගේ ජයග්‍රහණයයි. දෙවැනි අවස්ථාව සුසන්තිකා ජයසිංහගේ ජයග්‍රහණය සනිටුහන් කළ දිනයයි. මේ ජයග්‍රහණ දෙකම අපට ඓතිහාසික ජයග්‍රහණ දෙකකි. ඉන්පසුව අපට එවැනි ජයග්‍රහණයක් ගැන බොහෝ කාලයකින් අසන්නට නොලැබුණි. නමුත් අපට ජත්‍යාන්තර වශයෙන් හිමි වූ ජයග්‍රහණ බොහෝ විය. පසුගිය දා ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග රැසකින් ජයග්‍රහණය හිමිකර ගැනීම අපගේ ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සුබ නිමිත්තකි. එම තරගාවලියේදී මීටර් 800 කාන්තා තරගයෙන් රන් පදක්කමක් හිමිකර ගත් තරුෂි අභිෂේකා ප්‍රේමසිරි ක්‍රීඩිකාවගේ ජයග්‍රහණය සුවිශේෂි වෙයි. ඇය මෙම ජයග්‍රහණය ලබාගන්නේ අවුරුදු 20 පහළ වයස් කාණ්ඩය නියෝජනය කරමිනි.

 

තවමත් අවුරුදු 15ක් පමණ වන තරුෂිගේ මේ ජයග්‍රහණයන් සඳහා තරුෂි කරුණාරත්න මෙන්ම දක්ෂතාවය ඇති ක්‍රීඩිකාවන් බිහිවීමේ සුබ නිමිති පෙන්වයි. ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන තරුෂි මේ වසරේදී ජාත්‍යන්තර තරග දෙකකට සහභාගී වෙමින් ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන සිටීම එයට කදිම සාක්ෂියයි. ඇය ලැබූ මේ ජයග්‍රහණයේ සතුට අප සමඟ බෙදාගත්තේ එම ජයග්‍රහණ දෙකෙන්ම පසුවයි.

 

“මම මුලින්ම ක්‍රීඩා කරන්න පටන් ගත්තේ 2021 අවුද්දෙ මගේ මුල්ම ක්‍රීඩා ගුරුතුමිය මුදිතා ගුණරත්න මැඩම්. ඇය තමයි මගේ හැකියාව හඳුනාගෙන ක්‍රීඩාවට යොමු කළේ. මගේ මුල්ම ක්‍රීඩා තරගය වුණේ පාසලේ පැවැති නිවාසන්තර තරගාවලිය. ඒ තරගයෙන් පසුව මට හරිම ඉක්මනට ජාතික තරගාවලිය දක්වා එන්න පුළුවන් වුණා. ඇයගේ පුහුණුවෙන් පසුව මම බුද්ධික නුවගේ මධුෂන්ක සර්ගේ යටතේ පුහුණුව ලැබුවා. දැනට අවුරුදු 1 1/2 කට පෙර තමයි මම බුද්ධික සර් යටතේ පුහුණුව ආරම්භ කළේ. මගේ මුල්ම ජාතික මට්ටමේ ජයග්‍රහණය ලබාගත්තේ 2023 වසරේදි. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවයේ වයස අවුරුදු 16න් පහළ මීටර් 800 රන් පදක්කම මට හිමිවුණේ. බුද්ධික සර් යටතේ පුහුණුව ලැබීම ආරම්භ කිරීමක් සමඟමයි.

 

ඊට පස්සේ මම ජයග්‍රහණ රාශියක් ලබාගත්තා. එම වසරේදීම මලල ක්‍රීඩා ශුරතාවයේ නව තරග වාර්තාවක් පිහිටු වන්න මට හැකි වුණා. ඒ තරග වාර්තාව තිබ්බේ තරුෂි අක්කාගේ වාර්තාව අලුත් කරමින්. එහිදී රන් පදක්කම හා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේදී නව තරග වාර්තාවක් තබමින් දක්ෂතම ක්‍රීඩිකාව වෙන්න මට හැකි වුණා.

 

තරුෂිගේ ඊළඟ තරග වාර්තාව තැබු වසර බවට පත් වන්නේ 2024 වර්ෂයයි. ඇය මේ වසර තුළ මේ වනවිටත් තරග වාර්තා රාශියක් තබා ඇති අතර ඒ සෑම වාර්තාවක්ම තරුෂි කරුණාරත්න තැබු වාර්තා පසු කරමින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඇය ඒ ගැන ද අප සමඟ සඳහන් කළේ නිහතමානී ලෙසිනි.

“මේ වසරේ තිබුණු ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදී මීටර් 800,1500 හා ඉසව් දෙකෙන්ම තරඟ වාර්තා 2ක් පිහිටුවීමට හැකි වී තිබෙනවා. ඒ වගේම ඒ තරගාවලියේදී 18න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වීමට මට හැකියාව ලැබුණා. මේ වන විට මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ ශූරතාවය මට හිමි වී තිබෙනවා. මේ සෑම ජයග්‍රහණයක් පසුපසම ඉන්නේ පුහුණුකරු ලෙස කටයුතු කරන බුද්ධික සර්. ඒ වගේම මගේ මවුපියන් දෙන්නා මම වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. මගේ පියා සමන් කුමාර ඔහු හෝටලයක සේවය කරන්නේ. ඒ වගේම අම්මා නිලානි ප්‍රිතිකා. ඇය මගේ සෑම තරගයකට මාව එක්ක යනවා. තව මගේ නංගියි අයියයි දෙන්නත් උදව් කරනවා. ඇත්තටම මම තවම ළාබාල ක්‍රීඩිකාවක්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ මට දුර ගමනයක් යන්න තියෙනවා. ඒ ගමන යන්න තව හොඳ පුහුණුවක් අවශ්‍යයි. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි ඒ ගැන හිතන්නේ. ඉදිරියේදී මට ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම සමබරව කරගෙන යන්න සැහෙන්න කැපවෙන්න වෙයි. නමුත් ඒක ලොකු අභියෝගයක් නොවෙයි කියලා තමයි මට හිතෙන්නේ.”

 

පුංචි තරුෂිට ඇත්තේ අධිෂ්ඨානයෙන් පිරි දිගු ගමනකි. ඒ ගමන ඉතාම සීරුවෙන් ගමන් කළ යුතුවෙයි.

 

ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරන බුද්ධික නුවන් මහතා ඒ ගැන සඳහන් කළේ මෙවැනි අදහසකි.

 

“මේ දරුවා මා ළඟ පුහුණුවට ඇවිත් අවුරුදු 1 1 /2ක් වැනි කෙටි කාලයක්. නමුත් මේ කෙටි කාලය තුළ විශාල ජයග්‍රහණ රාශියක් ලබාගත්තා. ඇය මේ වන විටත් මීටර් 800 අවුරුදු 20න් පහළ ශුරතාවයට හිමිකම් කියනවා. මම හිතන්නේ ඇය ශ්‍රී ලංකා ජාතික සංචිතයට තෝරා ගැනීමට පවා දක්ෂතාවයක් පෙන්වා තිබෙනවා. ඇය තරුෂි කරුණාරත්න වගේම දුර ගමනක් යන්න පුළුවන් ක්‍රීඩිකාවක්. ඒ ගැන මම 100%ක් විශ්වාසය තිබෙනවා. මේ දරුවා ඉදිරියේදී ආසියාවේ දක්ෂතම ක්‍රීඩිකාවන් අතරට එක්වීමට පුළුවන් බව මට සහතිකයි.“