ඉගෙන ගන්න රට යවන්න කලින් මේ ගැනත් හිතන්න

ඔක්තෝබර් 7, 2024

ශ්‍රී ලාංකික දරුවන් විදෙස්ගත උසස් අධ්‍යාපනයට නැඹුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබේ. උසස් අධ්‍යාපනය හැදෑරීමට ශ්‍රී ලංකාව තුළ ඇති සීමිත ඉඩකඩ, වර්තමාන ආර්ථික වටපිටාවත් මෙම නැඹුරුව කෙරෙහි බලපා ඇත. එම නිසාම ගුණාත්මක විදෙස්ගත උසස් අධ්‍යාපනයක් ලැබීම වැඩි දෙනකුගේ බලාපොරොත්තුවයි.

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ලැබීමත් සමඟ මෙම උනන්දුව සෑම වසරකම දෙගුණ තෙගුණ වේ. මේ වසරේ එය බොහෝ වැඩිවී ඇත්තේ රටෙහි පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේය. ඔබේ දරුවා විදෙස් විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමට ඔබ සැලසුම් කරනවානම් අනිවාර්යයෙන් මේ ලිපිය කියවිය ‍යුතුමය. ඔබ නොදන්නා ඔබට කිසිවිටෙකත් හසු නොවන එක් හෝ කාරණාවක් මෙම ලිපිය තුළ අන්තර්ගතය.

 

ආයෝජන ගැන සිතන්න

 

ඔබේ දරුවා විදෙස් රටක විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමේදී කවුරුන් කෙසේ කීවද පළමුව අවධානය යොමු කළ යුත්තේ ඒ සඳහා ආයෝජනය කළ හැකි ඔබට යෙදවිය හැකි මුදල් ප්‍රමාණය පිළිබඳයි. ඔබේ අතේ ඇති මුදල යොදවා මාසිකව හෝ වාර්ෂිකව ගෙවීම් කළ හැකි මුදල ද පළමුව ඇස්තමේන්තු ගත කළ යුතු වේ. ඔබ විශ්වවිද්‍යාලයක් තෝරා ගත යුත්තේ එම ඇස්තමේන්තුවට අදාළවය. එසේ නැතහොත් ඔබට සිදු වන්නේ පසුතැවිල්ලට පත් වීමටය.

 

එමෙන්ම ඇතැම් විශ්වවිද්‍යාලවලින් ශ්‍රී ලංකාව වැනි රටවලට ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරයි. ඒ පිළිබඳ දැනුම්වත්වීම හරහා දරුවන් සහනදායි ක්‍රමයකට විදෙස් අධ්‍යාපනය සඳහා යොමු කළ හැකි වේ.

 

විශ්වවිද්‍යාල පිළිබඳ අධ්‍යයනයක්

 

මූල්‍යමය ශක්තියෙන් බල ගැන්වුණු ඔබ දෙවනුව කළ යුත්තේ විශ්වවිද්‍යාල සහ ඒවාගේ ප්‍රමිතීන් පිළිබඳ අධ්‍යයනයක් කිරීමය. අපේ විශ්වවිද්‍යාල විෂය පථය සමඟ සංසන්දනාත්මකව විමසීමේදී අහසට පොළොව වගෙයි. ඒ නිසා මෙම විශ්වවිද්‍යාල පිළිබඳ ඔබ ගවේෂණාත්මක විශ්ලේෂණයක යෙදිය යුතුමය. එහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල එසේත් නැත්නම් ඔබ තෝරාගත් රටෙහි රජයේ විශ්වවිද්‍යාල පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ එම විශ්වවිද්‍යාල ප්‍රමිතිගත සහ වගකිවයුතු ඒවා වන නිසාය. එමෙන්ම ඔබ තෝරාගන්නා විශ්වවිද්‍යාලය රජය අනුමත එකක් වීම කෙරෙහිද ඔබ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. විශ්වවිද්‍යාලය පිහිටි රට ගැන ගවේෂණය

 

කලින් කලට ලෝකයේ රටවල අර්බුදකාරී වාතාවරණය වෙනස්වන බව ලෝකය පිළිබඳ අවදියෙන් සිටින ඔබ දන්නා කාරණාවකි. එබැවින් ඔබේ දරුවා විදෙස් විශ්වවිද්‍යාලයකට යැවීමට ප්‍රථමයෙන් එම රටවල තත්ත්වය පිළිබඳ පෙර විපරමක් කිරීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස පසුගිය වසර ගණනාවක් පුරා අපේ රටේ දරුවන් තම විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගැනීම සඳහා විදෙස්ගත වීමට බහුලව තෝරාගනු ලැබුවේ රුසියාව, යුක්රේනය, බෙලරුසියාව වැනි රටවල් ය. නමුත් අද වන විට එම රටවල පවතින බිහිසුණු යුදමය තත්ත්වය තවත් වසර ගණනාවකට එම රටවල දොරගුළු අපට වසා තිබේ. තිස් වසරක බිහිසුණු යුද්ධයක අත්දැකීම් සහිත අපි අපේ දරුවන් එම ගිනිගන්නා දේශයට යැවීමට කිසිසේත් සැලසුම් නොකරයි. එබැවින් ඔබ දරුවා යැවීමට  බලාපොරොත්තු වන රට පිළිබඳ හොඳ අධ්‍යයනයක් කිරීම ඉතා වැදගත් වේ.

 

සහතිකයේ හෝ උපාධියේ වටිනාකම පිළිබඳ තක්සේරුව

 

ඔබ අධ්‍යාපනය සඳහා තෝරාගත් විශ්වවිද්‍යාලයට ලෝකයේ ඇති පිළිගැනීම සහ ඉන් ලබා ගන්නා සහතිකයේ හෝ උපාධියේ වලංගුභාවය පිළිබඳ විමසිලිමත් වන්න. ඇතැම් විශ්වවිද්‍යාල යෙදවිය යුතු මුදල් ප්‍රමාණය අඩුවන අතර ලබා දෙන සහතිකයත් ඊට සාපේක්ෂව වලංගුභාවයේදී ගැටලු ඇති කරවයි. ඒ නිසා මුදලට වඩා විශ්වවිද්‍යාලයට තියෙන පිළිගැනීම ගැන හොයලා බලන්න. ඒ නිසා උපාධියට වටිනාකමක් තියෙන විශ්වවිද්‍යාලයක් තෝරා ගන්න.

වටපිටාව ගැනත් හොයන්න

 

ඔබගේ වටිනාම වස්තුව ඔබ පිටත් කර හරින්නේ කවුරුත් නොදන්නා ලෝකයකටයි. එබැවින් ඔබේ දරුවා යැවීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාලය පිහිටා ඇති ප්‍රාන්තය හෝ ප්‍රදේශය ගැනත් එම ප්‍රදේශයේ කාලගුණ දේශගුණය විපර්යාස, ගැනත් එමෙන්ම එම සමීපයේ මිනිසුන් ගැනත් ඔබට හැකි පරිදි පිරික්සා බලන්න.

 

විශ්වවිද්‍යාලයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයන් සමඟ සෘජුව සම්බන්ධ වෙන්න.

 

ලෝකයේ බොහෝ ප්‍රමිතිගත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පහසුකම් සහ සේවා සපයනු ලබන නිත්‍ය නියෝජිතයින් ඒ ඒ රටවලට පත්කොට තිබේ. එවැනි වගකීම්සහගත එම විශ්වවිද්‍යාල සමඟ සෘජු සම්බන්ධතා පවත්වන නිත්‍ය නීත්‍යනුකූල නියෝජිතයින් ඔබ විසින් මෙම කටයුත්ත සඳහා තෝරා ගැනීම ඉතා වැදගත් වේ. ඔබ තෝරාගන්නේ ඔබේ පණ හා සමාන දරුවාගේ අනාගතය බැවින් එම ආරක්ෂාව ඔබ විසින් සැපයීම ඉතාමත් වැදගත්ය. එමෙන්ම ඔබ තෝරාගත් විශ්වවිද්‍යාලයට ඔබට සෘජුව සම්බන්ධ වීමට නොහැකි බැවින් එම ඒජන්තවරුන් හරහා සියලු කටයුතු සිදුකොට ප්‍රවේශ විභාගය සමඟ විශ්වවිද්‍යාලයට නියමිත ක්‍රමවේදයට ඇතුළත්වීම ඔබේ කාලය සහ ධනය ඉතිරි කරන්නකි. එබැවින් ඔබ තෝරාගන්නා විශ්වවිද්‍යාලයේ  ලියාපදිංචි  ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයින් සොයාගැනීමට අමතක නොකරන්න. එසේම එම නියෝජිතයන් සමඟ හෝ ඒජන්තවරුන් සඳහා ඔබට සෘජුව සම්බන්ධ විය හැකිදැයි බලන්න.

එම නියෝජිත ආයතනවල ඉතිහාසය සහ එහි කටයුතු කරනු ලබන පුද්ගලයන්ගේ කීර්තිමත් බව ගැනත් සොයා බලන්න.

 

ඉගැන්වීමේ භාෂාව

 

ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල භාෂාව වාගේ ලෝකයේ එක් එක් රටවලත් ඔවුන් භාවිත කරන වෙනමම භාෂාවන් තිබේ. ඒ නිසා ඔබ තෝරාගත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබාදෙන ප්‍රධාන භාෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න. ලෝකයේ ඇතැම් විශ්වවිද්‍යාල ඔවුන්ගේ ස්වභාෂාව භාවිත කරන බැවින් ඒ පිළිබඳ සැක හැර දැනගන්න. ඉංග්‍රීසි භාෂාවෙන් දේශන පවත්වන විශ්වවිද්‍යාල තෝරා ගන්න. නොඑසේ නම් එම රටට ගිය පසු ඔබේ දරුවා දැඩි අපහසුතාවට පත්විය හැකිය.

 

නවාතැන් සහ ආහාර පහසුකම් සහ ගාස්තු  පිළිබඳ විමසන්න

 

ඔබේ දරුවා විදෙස්ගත වන්නේ එක් දිනකට සතියකට හෝ මාසයකට නොවන බැවින් දරුවාට නිසි මානසිකත්වය සහ ආරක්ෂාව සමඟ අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැපයීම ඔබේ පූර්ණ වගකීම වේ. එබැවින් එම විශ්වවිද්‍යාලවල ඇති නවාතැන් පහසුකම්, ආහාර පහසුකම් සහ ආරක්ෂාව පිළිබඳ නියෝජිත

 

 

ඒජන්තවරුන් සමඟ සාකච්ඡා කරන්න.

 

බැංකු ණය පහසුකම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න

 

මෙසේ විදෙස් රටවල උසස් අධ්‍යාපනය සඳහා දරුවන් යොමු කිරීමේදී ඒ සඳහා නියෝජිත ආයතන මැදිහත්වීමෙන් ණය පහසුකම් සැපයීම සිදු කරනු ලබති. නමුත් මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලබන්නේ නීත්‍යනුකූල ආයතන පමණි. එබැවින් ඔබ තෝරාගත් ආයතනයේ ඔබ හමුවන නියෝජිතයින් සමඟ බැංකු ණය සහ වාරික පිළිබඳ සාකච්ඡා කොට මනා අවබෝධයක් ලබා ගන්න.

 

වංචනිකයන්ට හසුවෙන්න එපා

 

මෙවන් අවස්ථාවලදී බොරදියේ මාළු බාමින් ඔබේ දරුවාගේ සිහිනය ප්‍රයෝජනයට ගන්නා වංචනිකයන් සමාජයේ බහුල බව අමතක නොකරන්න. එබැවින් ඔබ තෝරාගන්නා නියෝජිතයාගේ නීත්‍යනුකූල බව තහවරු කරගන්න. කඩ පිළක, අවන්හලක හෝ නිවෙසක ඔබ සමඟ සාකච්ඡා කොට එකඟතාවට පැමිණ අත්තිකාරම් ලබා ගන්නා වංචනිකයන්ගෙන් ගැලවීමට ඔබේ සබුද්ධිකබව මේ මොහොතේ ප්‍රයෝජනයට ගන්න. නිශ්චිත කාර්යාලයක, නියමිත වේලාවක, නියමිත වගකිවයුතු නිලධාරියකු සමඟ ඔබේ දරුවාගේ විදෙස්ගත අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා අරඹන්න.

 

පෙර අත්දැකීම් පිළිබඳ විමසන්න

 

ඔබේ දරුවා අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාලයට මීට පෙර එම නියෝජිතයින් සිසුන් යවා ඇත්දැයි සොයා බලන්න. එම අත්දැකීම් සහ විස්තරය පිළිබඳ පළමු හමුවේදීම විමසා සැක හැර දැනගන්න. ඔබට ඇතිවන ගැටලු ඒ මොහොතේ සාකච්ඡා කරන්න. සැකහැර සියල්ල දැන ගන්න.

මෙම සියලු කරුණු සම්පූර්ණ නම් එම නියෝජිත සමාගම සමඟ ඔබේ දරුවාගේ අධ්‍යාපන සිහිනය සැබෑකරන ජීවන ක්‍රියාන්විතය අරඹන්න. කිසිදු විටෙකත් ඔවුන් සමඟ ඇති කරගන්නා සබඳතාව පලුදු නොකරගන්න.

 

මෙම කරුණු සියල්ල අනුගමනය කරමින් කටයුතු කරන ඔබට ඔබේ දරුවා ලෝකයේ ඉහළම මනුසත් ගුණ සහිත වෘත්තිකයා බවට පත් කරගැනීමට වාසනාව උදාවනු නියතයි.

 

 

උපදෙස් -

හිටපු විභාග කොමසාරිස්

ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන