අද ගොඩක් නිර්මාණ සිල්ලර තැටියකට වැටිලා

සාහිත කෙන් බිමේ අකුරු ආනන්දය
ඔක්තෝබර් 7, 2024

සුදත් රෝහණ

තරුණී මකරන්දය සාහිත්‍ය කලාවට ආදරය කරන ඔබ වෙනුවෙනි. මෙම විශේෂාංගය හරහා සාහිත්‍ය කලාවේ විවිධ ක්ෂේත්‍රයන් සොයමින් සාහිත්‍ය කතිකාවතක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඔබ ලියූ පොත පත පිළිබඳ තොරතුරු අප වෙත ලැබෙන්නට සලස්වන්න.

075 984 5548 whatsapp අංකයට යොමුකරන්න.

ඔහු ටෙලිනාට්‍ය වංශකතාව වෙනස් මානයකට ගෙන ගිය අපූර්වතමයෙක්. වනවදුලේ වසන්තය, බැද්දෙ ගෙදර, කළුවර ගෙදර, ගිරිකුල, අවිදු අඳුර වැනි අපූරු නිර්මාණ හරහා මනස සියුම්ව විචිත්‍රවත් කළ රසවතෙක්.

දශක 3කට අධික කාලයක් තිස්සේ කලා නිර්මාණ රැසක් හෙළ කලා කෙතට දායාද කළ ඔහු සුදත් රෝහණ වේ.

සුදු කළුවර වැනි චිත්‍රපට මෙන්ම වාර්තා වැඩසටහන් රැසක් ද ඔහු නිර්මාණය කර තිබෙනවා. සිය නිර්මාණවලට ඔහු ලැබූ සම්මාන සංඛ්‍යාව ද ඉමහත්. සිනමාවත් පුංචි තිරයටත් අග්‍රගණ්‍ය නිර්මාණ දායාද කළ ඔහු පසුගිය දා ලේඛණයටත් පිවිසියා. ඒ විකුම්සිහ කතන්දර කෘතිය මඟිනි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘මුදියන්සේ මාමා’, ‘සිසිලියාට පාඩමක්’, ‘උපාසකම්මා’, ‘මව’ කෙටිකතා ඇසුරින් සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ ටෙලි නාට්‍යයට නැඟූ,  ජනාදරයට පත්  ටෙලි නාට්‍යවල තිරනාටක එළිදැක්වෙන, ‘සියවසක් ඇසෙන විකුම්සිහ කතන්දර’ ග්‍රන්ථ එළි දැක්වීම එසේ පසුගිය දා සිදු විය. විකුම්සිහ කතන්දර ගැන අදහස් දැක්වීමට ඔහු තරුණී සමඟ කතා බහකට එක් වූයේ මෙලෙසිනි.

 

මේ දිනවල ඔබ නිර්මාණවලට කාලය යොදවන්නේ කොහොමද?

 

මාණික්කාවතෙන් පසුව මාර්ටින් වික්‍රමසිංහගේ ජීවිතය අලළා වාර්තා වැඩසටහන් කිහිපයක් කළා. ඉන්පසු විකුම්සිහ කතන්දර ලෙසින් රූපවාහිනී තිර රචන ග්‍රන්ථ සිංහල සාහිත්‍යයට එක් කිරීමේ භාරදූර කාර්යය මම නිම කළා. අදටත් තවදුරටත් ඉදිරි සහස් වසරකට වුණත් මාර්ටින් වික්‍රමසිංහ කෘති යාවත්කාලීනයි. අදටත් එය එසේමයි. එය සැබැවින්ම නොසිඳෙන චින්තන උල්පතක්. ඉදිරි පරම්පරාවටත් ඒ දායාදය උරුමයි.  එය වඩාත් ප්‍රායෝගික කරන්නට දරන උත්සාහයක් තමයි මේ.

 

විකුම්සිහ කතන්දර කෘතීන්හි අන්තර්ගතය කිව්වොත්?

 

මුදියන්සේ මාමා, සිසිලියාට පාඩමක්, උපාසකකම්මා මව යන කෙටිකතා ආශ්‍රය කරගෙන රූපවාහිනී තිර රචනා ග්‍රන්ථයක් ලෙසයි විකුම්සිහ කතන්දර එළිදකින්නේ. මෙම ටෙලිනාට්‍ය හතරම විකාශනය වුණේ ජාතික රූපවාහිනියෙයි. 1994 විකාශය වූ ඒ ටෙලිනාට්‍ය හතර වසර තිහකට පස්සෙ තිර රචනා ලෙස නුදුරේදී එළිදකිනවා.

 

ඒත්,  තිර රචනා කෘති ඕනෑතරම් හඳුනාගත හැකියි නේද ?

 

ඔව්. ඒත් මේ කෘති ඊට වඩා වෙනස්. තිර රචනයෙන් ඔබ්බට ඊට වැඩි යමක් පාඨකයාට, ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නටයි මෙයින් උත්සාහ දරන්නේ. ඒ වෙනුවෙන් මෙතෙක් තිර රචනා කෘතියකින් එළිනොදැක්වුණු විදිහේ විශේෂාංග ගණනාවක්ම ඇතුළත්වයි මේ කෘති එළිදැක්වීම සිදු වුණේ.

 

කෘතියක් රචනා කිරීමේ කාර්යයට අත ගැසුවේ ඇයි?

 

වසර තිහකට පෙර මෙම ටෙලිනාට්‍ය විකාශය වූ අවධියේ සිට මේ දක්වා කාලය තුළ රූපවාහිනිය තුළ තාක්ෂණික අංශයෙන් විශාල ඉදිරියට යාමක් තිබුණත් දිනෙන් දින කලාව තුළ මම දකින්නේ ආගමනයකට වඩා අවගමනයක්. මේ මොහොත වන විට රූපවාහිනියේ හතු පිපෙන්නාසේ ඇති නිර්මාණවලින් අප දකින්නේ සමාජ ව්‍යසනයන් පමණයි. සමස්තය එසේ බාල නිර්මාණ නොවුණත් බහුතරයක් නිර්මාණ තුළ සහෘදයාට රසවත් යමක් ලැබෙන්නේ නැහැ. සෑම නිර්මාණකරුවෙකුටම ස්වයං වාරණයක් තිබිය යුතුයි. එසේ ස්වයං වාරණයක් නොමැතිව පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් මුදල් මුල් කරගෙන කුමක් හෝ යමක් විකාශනය කිරීම ජාතියේ අවාසනාවක්. එවැනි තත්ත්වයක ක්ෂේත්‍රයට සම්බන්ධ වන කලාකරුවන්ටත් සම්බන්ධ වීමට සිදුවන්නේ එම නිර්මාණවලට පමණයි. මෙවැනි වටපිටාවක් තුළ මෙම පොත එළි දැක්වීමෙන් මම බලාපොරොත්තු වන්නේ ක්ෂේත්‍රයට පිවිසෙන අංකුර නිර්මාණකරුවන්ට වගේම ක්ෂේත්‍රයේ නියුතු නිර්මාණකරුවන්ගේ දැනුම යම් පමණින් හෝ ඉහළට එසවීමයි. මෙම විෂය පථය ගැන හදාරන්නට ඇති අවස්ථා හරිම අවමයි. ඒවගේම දුලබයි. විෂය ගැන හැදෑරීමට කැමති දක්ෂයන්ව අයාලේ යන්නට නොදී ඔවුන්ව රැක ගැනීමේ චේතනාවෙනුයි මම මෙම නිර්මාණය කරන්නේ. මෙහිදී තිර රචනයක් කියන්නේ මොකද්ද? තිර රචනාවකින් නිර්මාණයක් ගොඩනගන්නේ කොහොමද? ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව කතාබහ කරනවා.

තිර රචනාව ගැන හදාරන්නන්ට පමණක් නොවෙයි සාමාන්‍ය පාඨකයන්ටත් මෙය රස විඳින්න පුළුවන්. මෙම පොත් හතර තුළ කෙටිකතා හතරම අන්තර්ගත වෙනවා. ඒ වගේම තිර රචනාත් එහි අන්තර්ගතයි. තිර රචකයා කෙටිකතාව තමන්ට අවැසි ලෙස වෙනස් කරන ආකාරය, එසේ වෙනස් කිරීම් කළේ කුමන හේතු පදනම් කරගෙනද යන්න එහි අන්තර්ගතයි. විෂයය ප්‍රාමාණිකයන්ට මෙම තිර රචනා හා කෙටිකතා සංසන්දනය කර ලියූ ලිපි වගේම QR කෝඩ් එක ස්කෑන් කර එම ටෙලිනාට්‍ය නැරඹීමට මෙහිදී අවකාශ සැලසෙනවා. එකම කෘතියක් තුළ කෙටිකතාව තිර රචනය හා එහි රූප මාධ්‍යය කියවීමට හා නැරඹීමට හැකි ලංකාවේ බිහිවූ එකම කෘතිය මෙයයි. මේකේ කෙටි කතාව තියෙනවා තිර රචනය තියෙනවා. එතකොට ශ්‍රව්‍ය දෘශ්‍ය රූප නිර්මාණය ගැන විචාරාත්මක ලිපි අඩංගු වෙනවා. විචාරාත්මක පැත්තෙනුත් යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ හැමදේම අතරේ තියෙන විශේෂම දේ එම ටෙලි නාට්‍යත් නැරඹීමට අවස්ථාව හිමි වීම. සාහිත්‍ය කෘතියක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් බවට පත් වූ පළමු අවස්ථාව මෙයයි. මේ කෘති නිර්මාණකරුවකුට පමණක් නොවෙයි සාමාන්‍ය පාඨකයකුටත් මේක පොතක් විදිහට අරගෙන කියවලා රස විඳින්න පුළුවන්.

 

පොත් ලිවීම අත්හැරුණු මෙවන් යුගයක ටෙලිවිෂනයත් එක්ක හැප්පුණු ඔබ ඇයි පොතක් ලියන්න හිතුවේ?

 

මම මේ පොත තුළින් මුදා හරින කරුණු වෙනත් මාධ්‍යයකින් මුදාහැරලා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න අපහසුයි. එකී කාර්යයට මාර්ටින් වික්‍රමසිංහ භාරකාරත්ව පදනම වගේම මම හා මෙම නිර්මාණවලට දායක වූ ශිල්පීන් මූල්‍යමය වශයෙන් දායක වුණා. මම හිතනවා යහපත් හා නිවැරදි දෙයකට තවමත් මිනිසුන් එක්රොක් වෙනවා කියලා. හොඳ නිර්මාණ බිහි වෙන්නත් එය හේතුවක් වේවි කියලා මම හිතනවා.

 

අද හොඳ තිර රචනා අඩුයි කියලා ඇතැමුන් මැසිවිලි නඟනවා ?

 

ඒ කතාවේ ඇත්තක් තියෙනවා. අද හුඟක් ටෙලි නාට්‍ය නිර්මාණ සිල්ලර තැනකට වැටී ඇතැයි පෙනෙනවා. ඒකයි මං කලිනුත් කිව්වෙ අන්තර්ගතය පිළිබඳ ගැටලු අද ඇතැම් ටෙලි නාට්‍යවල තියෙනවා කියලා. තිර පිටපත ඒ ඒ දවසේ දර්ශන තලයට පැමිණ සිටින නළු නිළියන් කවුදැයි බැලීමෙන් පසුව තීරණය කරන වටපිටාවක් සමහර නිර්මාණවලදී දකින්න පුළුවන්. ඉතින්, ඒ විදිහට කරන නිර්මාණ  එතරම් සාර්ථක නොවීම පුදුමයට කරුණකුත් නෙවෙයි. අද වනවිට නළු නිළියන්ට තිර රචකයා  දුරකතන ඇමතුමකින් දෙබස් කියන තැනට එය ඔඩුදුවා ඇතැයි ද  සමහරවිටදී අසන්නට ලැබෙනවා. හැබැයි එදා එහෙම නැහැ. තිර පිටපතට ප්‍රධාන තැනක් පිරිනැමුවා.

හැබැයි අද වනවිට පවුලේ හැමෝටම එකට ඉඳගෙන බැලීමට නුසුදුසු දර්ශන ඇතුළත් ටෙලිනාට්‍ය පවා දක්නට ලැබෙනවා. ඒ සමහර ඒවා රාත්‍රී 10ටවත් රූපවාහිනියේ පෙන්වන්නට සුදුසුදැයි නැවත සිතා බැලිය යුතුව තියෙනවා. ඒත්, ඇතැම් රාජ්‍ය නාළිකා ටෙලි නාට්‍ය අතින් ඒ තත්ත්වයට ඇදවැටීම ගැනත්  කනගාටුදායකයි. මෙයින් මතු පරපුර ගලවා ගැනීමට නම් නියාමනයක් තිබිය යුතුයි.

 

 

අපි දැන් ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කරමුද?

 

ඉකුත් කාලයේදී මාර්ටින් වික්‍රමසිංහ සූරීන් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම නිසා ඊට බෙහෙවින් කාලය කැප කළා. ඉතින්, ඊළඟට මා චිත්‍රපටයකට යොමු වීමේ වැඩි  ප්‍රවණතාවක් තියෙනවා. ඒ පිළිබඳ තවම මූලික කටයුතු සොයා බලමින් සිටින නිසා වැඩියමක් කිව නොහැකියි.  හැබැයි, මං ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙලා නැහැ.  එය මා බෙහෙවින් ඇලුම් කරන මගේ නහරගත දෙයක්.