වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මෙවර සාහිත්‍ය වසන්තයේ ඔබ දෝතට අලුත් පොත් රැගෙන ආ සහෘද ලේඛිකාවෝ
ශ්‍රී ලාංකේය සාහිත කෙත අස්වද්දන්නට වසරකට වරක් ඇද හැලෙනා ස්වර්ණමය වැහි පොදක් බඳු වූ පොත් ප්‍රදර්ශනය මෙවර ආරම්භ වූයේ සැප්තැම්බරයේ අවසන් සතියේ. ඒ කියන්නෙ සාහිත්‍ය මාසයේ අවසානයේ. හැබැයි ඔක්තෝබර් මාසය නම් කරලා තියෙන්නෙ කියවීමේ මාසය හැටියට. මොකද සාහිත්‍ය මාසය පුරාවට මිල දී ගන්නා පොතපත වැඩිදෙනෙක් මේ ඔක්තෝබරයේ කියවනවා. ඒ හින්දා ඔක්තෝබරය කියවීමේ මාසය කියලා නම් කළාට කිසි වැරැද්දක් නැහැ.
ඒ කොහොම වුණත් පතපොතට පෙම් බඳින කවුරු කවුරුත් සෑම වසරකම මේ මාසය උදාවෙන තෙක් ඇඟිලි ගණිනවා. ඒ තමන්ගේ හිතේ හැටියට පොත් මිල දී ගන්න. ඒ විතරක් නෙවෙයි තමන් ආසා කරන ලේඛකයෙක්, ලේඛිකාවක් එක්ක වචනයක් දෙකක් කතා කරන්න, ඔහුගේ හෝ ඇයගේ අත්සනක් සහිත පොතක් මිල දී ගන්න, අද කාලයේ හැටියට නම් සිහිවටනයක් විදිහට සේයාරුවක් ගන්නත් අමතක කරන්නෙ නෑ.
ඉතින් ඒවාගේ සොඳුරු මතක සටහන් රැසක් පිරුණු සාහිත්‍ය වසන්තයට අලුත් පොත් එකතු කරපු ආදරණීය ලේඛිකාවන් බොහෝමයි. මේ ඒ අතරින් කිහිපදෙනෙක්.
රන්සුනු පරිස්සමෙන් ඇහිලුවොත් නිර්මාණකරණය ආගන්තුක දෙයක් නොවේ
සුමුදු චතුරාණි ජයවර්ධන
සුමුදු චතුරාණි ජයවර්ධන ලියූ රන්සුනු - නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි කෘතිය නොබෝදා නිකුත් විණි.
නිර්මාණකරණයේ නිරතවන්නන්ට හා සාහිත්‍ය පිළිබඳ හැදෑරීමට බලාපොරොත්තු වන්නන් හට ප්‍රේරණයක් සපයන මේ කෘතිය ඔස්සේ ඇය නිර්මාණකරණය පිළිබඳ සමාජයේ ගොඩනැඟී ඇති දුර්මත කිහිපයක් බිඳ හෙළයි.
රන්සුනු, සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය ලෙස සේවය කරන සුමුදු චතුරාණි ජයවර්ධනගේ අටවන ග්‍රන්ථයයි.
මෙය තීරු ලිපි සංග්‍රහයක්ද?
ඇත්තටම මේ නමින් සිළුමිණ පුවත්පතට මම කාලයක් තීරු ලිපියක් ලිව්වා. තීරු ලිපිය ඉතා කෙටි ඉඩක ලියැවෙන්නක්. නමුත් මේ ලිපි කාලයක් ගොස් නැවත කියවද්දී මට හිතුණු කාරණය තමයි මීට වඩා කොච්චර දේවල් මේ ගැන ලියන්න පුළුවන්ද කියන එක. ඒ නිසා නිර්මාණකරණය පිළිබඳ මා ලියූ ඒ ලිපි පදනම් කරගෙන ඒවා වඩාත් විස්තීර්ණය කරමින් පුළුල් කරමින් මා ඒවා නැවත ලිව්වා. ඒ නිසා අන්තර්ගතමය වශයෙන් හා සංකල්පීයව පුළුල් කරමින් ලියැවුණු ලිපි පෙළකුයි දැන් මේ කෘතිය ඔස්සේ ඔබට හමු වෙන්නෙ. ඒනිසා පුවත්පතේ පළවූ ලිපි මේ කෘතියේදී හමු වෙන්නේ නැහැ. එබැවින් මෙය තීරු ලිපි සංග්‍රහයක් ලෙස නම් කරන්න අපහසුයි.
රන්සුනු කෘතිය එවැනි නැවත ලියවීමක් සහිත කරන්න හේතු වුණ කාරණා මොනවාද?
සාමාන්‍යයෙන් අපි පුවත්පතකට ලිපියක් ලියද්දි එහි සීමිත ඉඩ පිළිබඳ අනිවාර්යයෙන් සැලකිය යුතුයි. රන්සුනු සිළුමිණට ලියද්දි එය උපරිම තීරු දෙකක් පුරා ලියැවුණක්. එය ඉතා සීමිත ඉඩක්. නමුත් නිර්මාණකරණයට අවැසි දේ ලියද්දි එයට පුළුල් පරාසයක් අවශ්‍ය වෙනවා. එනිසා ග්‍රන්ථයකට යෑමේදී මා හිතුවා මෙය විස්තීරණය කරමින් ලිවිය යුතු බව. ඒනිසා බොහෝ කරුණු අලුතෙන් එකතු කළා.
එමෙන්ම රන්සුනු ලියැවෙන්නෙම නිර්මාණකරණය පිළිබඳ පවතින යම් යම් දුර්මත කිහිපයක් පිළිබඳ කාලයක් තිස්සේ කරන ලද නිරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනුයි. සමාජයේ පවතින ප්‍රකට දුර්මතයක් වන්නේ නිර්මාණකරණය යන්න පෙර පරම්පරාවෙන් ලැබෙන තිළිණයක් හෝ පූර්ව වාසනා ගුණයෙන් ලැබෙන දෙයක් ලෙසටයි. එය ඉතා සුළු ප්‍රතිශතයක් වශයෙන් සත්‍ය විය හැකියි. එ් සුළු ප්‍රතිශතය ගොඩනැඟීම සඳහාත් බලපෑම් කරන සාධක තිබෙනවා. ඒ නිසා නිර්මාණකරණයට එන්න ආසාවෙන් සිටින නමුත් බියවී සිටින බොහෝ පිරිස් මට හමු වී තිබෙනවා. ඒ අය එක්ක කතා කළාම මට ලැබෙන පිළිතුර තමයි අනේ අපේ කවුරුත් කලාව කරලා නෑ, මං හිතන්නෙ මං වාසනාවන්ත නෑ වගේ ඒවා. මේ දේවල් එක්ක කාලයක් තිස්සෙ ගනුදෙනු කරද්දි මට හිතුණු දේ තමයි මේ දුර්මතය නැති කරන්න ඕනෙ කියන එක. අවශ්‍යතාව තියෙනවා නම්, කැපවෙන්න පුළුවන් නම් ඉවසීම තියෙනවා නම් යමක් වෙනස් ලෙස දැකීමේ හැකියාව ප්‍රගුණ කරගන්න පුළුවන් නම් නිර්මාණකරණය කියන්නේ ඕනෑම කෙනකුට නිරත වෙන්න පුළුවන් අවකාශයක්. අප සෑමදෙනා ඇතුළතම කලාකරුවකු සිටිනවා. ඒ කලාකරුවා, නිර්මාණකරුවා එළියට ගන්නෙ කොහොමද කියන එක තමයි ගොඩක් අය දන්නෙ නැත්තෙ. මේ කාරණාව ලෝකයේ බොහෝ කතාබහට ලක්වූවක්.
කලාව කියන්නේ තවදුරටත් එක්තරා පිරිසක් අතර වැජඹෙන, ඒ අයට පමණක් අයිති දෙයක් නොවේය යන්න මට පෙන්නා දෙන්න ඕෙන වුණා. ඒ වෙනුවෙනුයි රන්සුනු- නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි කියන මේ කෘතිය ලියැවෙන්නේ.
රන්සුනු ඔබ ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කරනවා. කුමක්ද එයට හේතුව?
නිර්මාණකරණය හදාරන කෙනකුට එය කිරීමේ ක්‍රමවේද පහසුවෙන් වටහා ගත හැකිවනු පිණිසයි මම කෘතිය පරිච්ඡේද 3ක් යටතේ රචනා කළේ. ඒ කොටස් තුන තමයි කියැවීම පිළිබඳ සිතිවිලි, හැදෑරීම පිළිබඳ සිතිවිලි සහ ලිවීම පිළිබඳ සිතිවිලි ලෙසින්. නිර්මාණකරණය හදාරන පුද්ගලයකු අනිවාර්යෙන් ඇබ්බැහි වූ කියවන්නකු විය යුතුයි. එහිදී මුලින්ම තෝරා ගත් කියැවීමකට යන්න අපහසු වුණත් කාලයක් තිස්සේ කියවද්දී තමා කියැවිය යුතු කුමන වර්ගයේ කෘති ද යන්න ගැන අවබෝධයක් තමාටම ලැබෙනවා. එයට අපි කියන්නේ පුහුණු කියැවීම කියලා. මම මෙහිදී කියැවීම යන්න පොත්පත් වගේම, පරිසරය, අපි අවට වෙසෙන්නන්ගේ ජීවිත ඈ නොයෙක දේ කියැවීම යන්න ගැන අවධානය යොමු කරනවා.
දෙවැන්න හැදෑරීම පිළිබඳ සිතිවිලි. මෙය අප කියැවූ, අත්දුටු හා නිරීක්ෂණය කළ දෑ පිළිබඳ ප්රායෝගක තලයේ ක්‍රියාත්මක වීම් ගැන ලියැවුණු කොටසයි. සාහිත්‍යකරුවකු අධ්‍යයනය කළ යුතු වන්නේ එහි ශිල්පීය පක්ෂය පමණක් නොවෙයි. එය එහි එක් කොන්දේසියක්. නිර්මාණකරුවකුට කීමට යමක් තිබිය යුතු අතරම එය විවිධ සමාජ පද්ධති ඇසුරේ සහ ස්වානුභූතීන් ඇසුරේ නිර්මාණය වූවක් විය හැකියි. මෙහි එවැනි දෑ වර්ධනීය කලාංග කර ගන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කරනවා.
තුන්වැනි කොටසේදී එනම් ලිවීම පිළිබඳ සිතිවිලි යන්නේදී නිර්මාණාත්මක රචනයේ ශිල්පීය හා තාක්ෂණික එළැඹුම් ගැන අවධානය යොමු කරනවා. එහිදී තමා කියන්නේ කුමක්ද, එය කියන ආකෘතිය සකසා ගන්නේ කොහොමද, කියන්නේ කවුරු ලවාද, කුමන ක්‍රමවේද ඔස්සේ ද වැනි කරුණු සනිදර්ශිතව සාකච්ඡා කරනවා.
මේ සියලු දෑ මඟින් මම උත්සාහ කරන්නේ නිර්මාණකරණය තවදුරටත් ආගන්තුක කලාපයක් නොවන බව සනාථ කරන්නයි. අවශ්‍යතාව, උවමනාව, කැපවීම මෙන්ම වෙනස්වීමේ හැකියාව ඇති ඕනෑම අයකුට නිර්මාණකරණය කියන්නේ සැරිසරන්න පුළුවන් කලාපයක් ය යන්න මේ කෘතියෙන් අවධාරණය කෙරෙනවා.
රන්සුනු එකතු කරන එක ලේසි කාර්යයක් වෙන්න බෑ. කුමක්ද ඔබ යෝජනා කරන්නේ ඒ වෙනුවෙන්?
ඇත්ත, රන්සුනු එකතු කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. කොන්ස්තන්තීන් පවුස්තවුස්කි The Golden Rose නමින් ලියන කෘතිය ආරියවංශ රණවීර නිර්මාණකරුවා රන්රෝස නමින් සිංහලට පරිවර්තනය කරනවා. කොන්ස්තන්තින් පවුස්තවුස්කි මේ කෘතිය ලියන්නේ ෂාමිට් නම් සොල්දාදුවාගේ වෘත්තාන්තයෙන් නිර්මාණාවේශය ලබමින්. එසේ ලියැවුණු රන්රෝස නිසා ඇතිවුණු සිතිවිලි ධාරාවකින් පෝෂණය ලබා තමයි මම රන්සුනු ලිව්වෙ. ලෝකයේ සියලු නිර්මාණ සඳහා පසුබිම සැකසෙන්නේ ඒ වැනි වූ විවිධ හේතු. ඒ වගේ සිතන පතන, පය තබන, නික්ම යන ඕනෑම තැනකදී නිර්මාණකරුවාට වස්තු බීජ හමුවෙන්න පුළුවන්. වස්තු බීජ හමුවන්නේ ලේඛකයන්ට නිර්මාණකරුවන්ට විතරක් නොවෙයි. ඔබට, මට සෑම දෙනාටම මේ සිදුවීම්, හැඟීම්, අත්දැකීම් ලැබීම, පහළ වීම නියතයක්. ඒත් අපි බොහෝ දෙනාට ඒවා පේන්නෙ නෑ; ඒවගේම දකින්නෙ නෑ. සියුම් දෑ අතරත් සියුම් දෑ හමුවන්නේ ඉසියුම් මනසකට, දෙනතකට පමණයි. ඔබට මට බොහෝ දෑ මඟ හැරෙන්නේ ඒ ඉසියුම් බව නැති නිසා.
අප අවට නිර්මාණකරණයට අවැසි බොහෝ රන්සුනු විසිරී තියෙනවා. ෂාමිට් රන්කම් කෙරෙන සාප්පු අවට පිරිසුදු කරද්දී ඇසට නොපෙනෙන තරම් සියුම් රන් කුඩු පෙනේරයකින් පෙරමින් එකතු කළා වගේ, අප අවට ඇති නිර්මාණකරණයට අවැසි රන්සුනු අප එක්කාසු කරන්න ඕනෙ. ඒවා කිසිවෙක් ඔබට, මට ප්රදානය කරන්නේ නෑ. ඔබ අවබෝධයෙන්, අවධානයෙන්, කැපවීමෙන් හා පරිස්සමෙන් මේවා අහුලා ගෙන එක්කාසු නොකොළොත් මේවා අපට මඟ හැරීම වළක්වන්න බෑ. ඒ නිසා ඉවසීමෙන්, කැපවීමෙන් අප අවට තියෙන දෑ නිරීක්ෂණය කළ යුතුයි. අවැසි දෑ සටහන් කරගත යුතුයි. කාලයක් තිස්සේ ඒවා වැඩෙන්නට ඉඩ හැරිය යුතුයි. මේ සියල්ල පහසු කාරණා නොවෙයි. ඒ නිසා නිර්මාණකරණයේ යෙදෙන්න නම් ඔබ මේ සියල්ල ගැන අවධානයෙන් පසුවෙන්න ඕනෙ.
----------------------
රමණී බුලත්සිංහල ගෙනෙන මවාපෑම සහ ගවේෂණය
රමණී බුලත්සිංහල කියන්නෙ සෑම වසරකම සාහිත්‍ය මාසයේ අලුත් පොතක් දෙකක් තමන්ගේ පාඨකයන්ට පිරිනමන ප්‍රවීණ ලේඛිකාවක්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ශිල්පිනියක ලෙසින් රැකියාවක නිරතව සිටි ඇයට ලේඛිකාවක් වන්නට දොරගුළු හැර දෙන්නේ තාරක ප්‍රකාශන අධිපති රෝලන්ඩ් ඒ ප්‍රනාන්දු මහතා. 2004 වර්ෂයේ ‘තාරුකා‘ නමින් එළිදැක්වූයේ ඇයගේ පළමු නවකතාවයි. “දයාබර ශාන්ත, ආදරණීය නිම්සා, දේදුණු සිහිනය, එරීනා, මුවැසිය, රාජාරානි, පිනිබිංදු, එක් යුවතියක්, ලිටිල් මෑන් ආදී වශයෙන් එදා මෙදාතුර ඇය අතින් ලියවුණු පොත් ප්‍රමාණය 85කට අධිකයි. නවකතා, පරිවර්තන වාගේම අනුවර්තන කෘති කිහිපයක්ම ඒ අතර වේ.
ප්‍රේමය, විවාහය මෙන්ම ත්‍රාසය, භීතිය, අද්භූත සිදුවීම්, විවිධ සමාජ සිද්ධීන් අලළා හරි අපූරුවට පාඨක සිත් සතන් ඇද බැඳගන්නා අයුරින් පොත් රචනා කරන ඇය මෙවර සාහිත්‍ය මාසයට ද පොත් දෙකක් තිළිණ කළාය. ඒ “මවාපෑම“ සහ “ගවේෂණය“ නමිනි.
------------------------
සිිතිවිලිවලට බලපෑම් කරන්න කවියකට පුළුවන්
- ශිවන්ති ඩි සිල්වා
ඇය අමුතු කවි එක්ක බැඳුණ අමුතුම ශෛලියක් තියෙන කවිකාරිනියකි. ඒ වගේම සයිබර් කිවිඳියකි. ඇය ශිවන්ති ඩි සිල්වා. ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්රය තුළ වෙනස්ම සන්නාමයක් තමා වෙනුවෙන් සකසාගත් නිර්මාණකාරිනියක්. ඇගේ නවතම කාව්‍ය සංග්‍රහය "ශෙරි ශෙරි sweetheart". මේ ඇගේ නවතම කෘතිය ගැන පිළිසඳරකි.
"ශෙරි ශෙරි sweetheart" මගේ තුන්වැනි කෘතිය. 2022 වසරේදී එළිදැක්වූ "ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු" කෘතිය හරහා බොහෝ පාඨක පිරිසක් මා වටා එකතු වුණා. ඉන් ලබපු උත්තේජනයෙන් 2023 වසරේදී "ට්‍රැක් පැනපු හීනයට ක්‍රෂ් වෙන්න" කෘතිය එළිදැක් වූවා.
"ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු" සමාජ මාධ්‍යත් තුළත් වයිරල් වුණු කෘතියක්.
මම ඒ පළමුවැනි පොත කළේ කොවිඩ් කාලේ. අපිට ගෙවල්වලින් එළියට බහින්න බැරුව හිර වෙලා හිටපු කාලේ. මට ඕෙන වුණේ පොතක් කරන එකට වඩා මම කාලයක් තිස්සෙ facebook එකේ ලිව්ව ලියවිලි ටික යම් විදිහකට එකතු කර ගන්න. 2012 වගේ ඉඳන් facebook එකේ මගෙ අදහස් ලියමින් හිටියෙ. ඒ ලියන දේවල් යම්කිසි හේතුවකින් නැති වෙයි කියන බය නිසා තමා document එකකට ගන්න ඕනෙ කියන අදහස ආවෙ.
ඔබේ ප්‍රධාන ආත්ම ප්‍රකාශන මාධ්‍යය කවිය යැයි මා සිතනවා?
ඔව්. හැබැයි මම කැමති නෑ මම ලියන ලියවිලි කවි විදිහට හඳුන්වන්න. මොකද සාහිත්‍යමය කවි ලක්ෂණ හෝ කවි ගුණයන් මගේ ලියවිලිවල නෑ.
ඇත්තටම ඒවා ආත්ම ප්‍රකාශන ලියවිලි. මම සරල වචන භාවිත කරලා යම් දෙයක් විස්තර කරන්න උත්සාහ කරන්නෙ. කොහොමත් මම පෞද්ගලිකව කැමති කෙටි සහ සරල කවි කියවන්න. ඒ නිසා වෙන්න ඇති මම ලියන්න උත්සාහ කරන්නෙත් ඉතා කෙටියෙන් සහ සරලව. මගෙ අතින් ලියවුණු ගොඩක් ලියවිලිවල යටිපෙළක් බොහෝ විට තියෙන්න හේතුවත් මම භාවිත කරන සරල වචන වෙන්න පුළුවන්.
සෝෂල් මීඩියාවල පළවෙන කවිය නිසා මුද්‍රිත කවියට තියෙන තැන නැති වෙලාද?
නෑ. මම නිර්මාණකරුවෙක් වෙන්නෙ සමාජ මාධ්‍යය නිසා. මං හිතන්නෙ මාව පොතකින් කියවන පිරිසට වඩා සමාජ මාධ්‍යය ඔස්සේ කියවන පිරිස තමා වැඩි. මම පළමුවැනි පොත "ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු " නිකුත් කරනකොටත් මාව මුද්‍රිත මාධ්‍ය ඔස්සෙ කියවන්න බලාගෙන හිටිය පිරිසක් හිටියා. අදටත් මම ලියන දේවල් රස විඳින්නෙ මාව සමාජ මාධ්‍යය හරහා හඳුනා ගත් ආදරණීයයන්. එයාලා තමා පොත් හොයාගෙන එන්නෙ.
කවියකුට පුළුවන්ද සමාජය වෙනස් කරන්න?
මේ මගේ පෞද්ගලික අදහස සමාජය කියන්නෙ මිනිස්සු කියල ගත්තම මනුස්සයෙක්ගෙ සිතුවිලිවලට බලපෑමක් කරන්න කවියකට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නෙ කවියා කියන නිර්මාණකරුවාට පුළුවන් සියුම්ව මිනිස් සිතුම් පැතුම්වලට යම්කිසි බලපෑමක් කරන්න.
වත්මන් පරපුරෙන් කවියන් බිහි වෙන්න ප්‍රමාද ඇයි?
මම හිතන්නෙ මෑත කාලයේ වැඩියෙන්ම බිහි වන්නෙ කවියො. නමුත් එයාලගෙ නිර්මාණ කොතෙක් දුරට පාඨකයන් අතරට යනවද කියල ගැටලුවක් තියෙනවා.මොකද හරි ප්‍රකාශකයෙක් හම්බවුණේ නැත්තම් නිර්මාණය අතරමං වෙනවා. ලියන මනුස්සයෙක් බොහෝ වෙලාවට කරන්නෙ තමන්ගෙ නිර්මානය ප්රකාශකයෙකුට භාර දෙන එක. කියන්න කණගාටුයි සමහර පොත් ප්‍රකාශකයො නිසා ගොඩක් නිර්මාණකරුවො තමන්ගෙ පළමුවැනි නිර්මාණයෙන්ම නිර්මාණ ජීවිතේට සදහටම තිත තියන තත්ත්වෙකට පත් වෙනවා.
නැවත කිසිම ප්‍රකාශකයෙක් එක්ක පොතක් කරන්නෙ නෑ කියන කලකිරීමට පත් වෙනවා.
නිර්මාණයක් කියන්නෙ නිර්මාණකරුවෙක්ට තමන් බිහි කරන දරුවෙක් තරම් ආදරණීය වස්තුවක්. ඒ නිර්මාණය ඇතුළේ නිර්මාණකරුගෙ ආත්මයම දිය කරලා තියෙනවා.