පුස් නොවී පොෂ් වෙමුද?

ඔක්තෝබර් 7, 2024

 

  ඔය පොෂ් කියන එක සෑහෙන්න අපිට අහන්න ලැබෙන වචනයක්නේ. ඇත්තටම පොෂ් මනුස්සයෙක් වෙනවා කියන එක, එක අතකට පුද්ගලික සංවර්ධනයක්. තමන්වම යම් ලෙවල් එකකට දියුණු කර ගැනීමක්. හැබැයි ඇත්තටම පොෂ් වෙන එක, වෙන්ඩ පොෂ් වෙනවට වඩා, ඒ කියන්නේ පොෂ් කියලා පෙන්නන්න යනවට වඩා අමාරුයි. ඒත් ඒ ලෙවල් එකට යන එක වටිනවා. පොෂ් වෙන්න සල්ලිවත්, කුරුඳුවත්තෙන් පැවත එන පවුල් පසුබිමක් වත් ඇත්තටම අවශ්‍ය නෑ. පොෂ් මනුස්සයෙක් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ, ස්මාට්, ෆැෂනබල් සහ එක්ස්පෙන්සිව් මනුස්සයෙක් වෙන එකයි. තවත් විදිහකට කිව්වොත්, වෙනම ක්ලාස් එකකට අයත් වීම කියන්නත් පුළුවන්.

 ආචාරශීලීත්වය

ආචාරශීලීත්වය මනුස්සයෙක්ට තියෙන්නම ඕනෙ දෙයක්. හැබැයි දැන් මේ ආචාරශීලී වීම කියන්නේ දකින දකින හැම තැනම හැමෝටම උදව් කරන්න දඟලන එකම නෙවෙයි. ඒ වෙනුවට පොෂ් මනුස්සයෙක් ආචාරශීලී වීම කියන එක එයාගේ ඇතුළාන්තයෙන්ම එන දෙයක්. සරල උදාහරණවලින් කිව්වොත්, ඕ‍ෙනම අවස්ථාවකදී කරුණා කරලා, ස්තූතියි නැතිනම් ප්ලීස්, තෑන්ක් යූ වගේ වචන පාවිච්චි කරන එක වැරැද්දක් වුණාම සමාව ඉල්ලීම ආචාරශීලීව හැසිරෙන එක වගේ හොඳ මැනර්ස් එක්ක හැසිරෙන එක. එතකොට කතාබහේදී කාරුණිකව, කෙනෙක්ව පහත හෙළන්නෙ නැතුව, ප්‍රියමනාපව කතාබහ කරන එක. අනවශ්‍ය පුද්ගලික ප්‍රශ්න එහෙම නාහා ඉන්න එක. ඒ විතරක් නෙවෙයි, කෑම මේසෙට වාඩි වුණහම ෆොන් එක ඔබ ඔබා ඉන්නෙ නැති එක වගේ සුළු සුළු දේවල් පවා හොඳ මැනර්ස් විදිහට ගන්න පුළුවන්.

 එහෙම ආචාරශීලී කතාබහ, ඉරියව් වගේම ආචාරශීලී ආකල්පයත් මෙතැනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ ඕ‍ෙනම තත්ත්වයක ඉන්න ඕ‍ෙනම කෙනෙක්ට සම තත්ත්වයෙන්, කාරුණිකව සලකන එක, කිසිම කෙනෙක්ව කොන් නොකරන එක වගේ ආකල්පමය දේවලුත් මේ පොෂ් මනුස්සයෙක්ගෙන් දකින්න ලැබෙන ආචාරශීලීත්වයට ඇතුළත් වෙනවා.

 

උගත්කම

 

මේකත් කතාබහේදී එහෙම විශේෂයෙන්ම පොෂ් මනුස්සයෙක්ගෙන් දකින්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ හොඳ දැන උගත්කමක් තියෙන, ඇසූ පිරූ තැන් තියෙන, ලෝකයට විවෘත වුණු, ලෝකයට නිරාවරණය වෙලා තියෙන මනුස්සයෙක් කතාබහ කරන කොට පාවිච්චි කරන වචන පවා වෙනස්. ඒ කියන්නේ බර වචනවලින් කතා කරන එක නෙවෙයි. දැනුවත් භාවයකින්, හොඳ, ප්‍රියමනාප වචන භාවිතයෙන්, ප්‍රියමනාප ස්වරයකින් කතා කරන එක දැනඋගත්කමත් එක්කම එන දෙයක්. පොෂ් මනුස්සයෙක්ට ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕනෑද? එහෙමම කියන්න බෑ. හැබැයි තමන්ගේ මවු බස හැරෙන්න තව භාෂාවක් දෙකක් දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත්. එතකොට ලංකාවේ අපිට නම් ජාත්‍යන්තර භාෂාව විදිහට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඉංග්‍රීසි දැනගෙන ඉන්න එක. 

ඒ ඇරෙන්න ලෝකේ මොනවද වෙන්නේ කියලා දන්න එක, පොත් පත් කියවන, හොඳ චිත්‍රපටි බලන, සංගීතය අහන මනුස්සයෙක් වෙන එක ඇත්තටම පොෂ් කියන එක පේන්න වැදගත් වෙනවා. කොටින්ම ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක් කියන එක, කෙනෙක් එක්ක කතාබහ කරනකොට අපිට දැනෙන දෙයක්නේ.

 

තැනට ගැළපෙන ස්ටයිල් එක

 

සාමාන්‍යයෙන් පොෂ් කියලා අපිට දකින්න පුළුවන් ඕ‍ෙනම කෙනෙක් හොඳට ඇඳ පැලඳලා ඉන්නවා කියන එක දකින්න ලැබිලා තියෙනවද? ඇත්තටම, පොෂ් මනුස්සයෙක් විදිහට පේන්න හොඳට ඇඳලා පැලඳලා ඉන්න එකත් අදාළ වෙනවා. හැබැයි මේ කියන්නේ ලක්ෂ විස්සේ තිහේ ඔරලෝසු දාලා, ලක්ෂ පහක හයක හෑන්ඩ් බෑග් පාවිච්චි කරන එකට නෙවෙයි. ගාණ මොකක් වුණත්, තැනට ගැළපෙන විදිහට, පිළිවෙළට අඳින්න පුළුවන් වීම පොෂ් මනුස්සයෙක්ගේ ලක්ෂණයක්. කොටින්ම කියනවා නම්, පොෂ් කියලා පේන මනුස්සයෙක්ගේ ඇඳුම කොයිම මොහොතකවත් එයාට නොගැළපෙනවා කියලා හිතෙන්නෙ නෑ. ඔය අතරෙම, පොෂ් පෙනුමක් ලැබෙන විදිහට අඳින්න පලඳින්න හොඳ ක්‍රමයක් තමයි හැකි සෑම අවස්ථාවකදීම බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම් භාවිතා කරන එක. ඒ කියන්නේ දරන්න බැරි මිලක් තියෙන ඇඳුම් පැලඳුම් නෙවෙයි. ඊට වඩා, සාමාන්‍යයෙන් ගන්න තියෙන ඇඳුම්වලට වඩා ටිකක් මිල වැඩි, ඒත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් එන ඇඳුම් පැලඳුම්. මොකද, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම්වලින් ලැබෙන ලුක් එක වෙන විදිහකට ලබාගන්න බෑ.

 

හොඳ ආත්ම විශ්වාසයක්

 

තමන්ගේ අත්පාවල නියපොතු එහෙම ගාණට කපලා, සුද්ධ කරලා ඉන්න වියදමක් යනවද? ඉඳලා හිටලා මෙනික්‍යු, පෙඩික්‍යු එකක් කරන්න නම් ගාණක් යයි. හැබැයි ඒ ඇරෙන්න තමන්ව ගාණට පොලිෂ් කරගෙන ඉන්න වියදමක් යන්නෙ නෑ. ඒකට තමන්ගේ පුද්ගලිකත්වය ගැන අවධානය යොමු කරන එක, සමබර ආහාර වේලක් එක්ක ශාරීරික ව්‍යායාම නිරන්තරයෙන් පිළිපදින එක, තරුණයෙක් නම් කොණ්ඩේ රැවුල ගාණට කපලා පිළිවෙළට ඉන්න එක තරුණියක් නම් නිය කපලා නිට් හේයා ස්ටයීල් එකක් තියන් ඉන්න එක ප්‍රමාණවත්.

 ඒ වගේම, තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එකත් හොඳ පොෂ් පෙනුමක් තියෙන මනුස්සයෙක් වෙන්න වටිනවා. තැනකට ගියහම කාගෙත් අවධානය සහ ආකර්ෂණය තමන් වෙත නතු වෙන්න ස්ටයිල් එකට ඇඳලා පැලඳලා පොලිෂ් වෙලා ඉන්න එක එක්කම, හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එකත් අත්‍යවශ්‍යයි. මොකද, ඒ ආත්ම විශ්වාසය පිටතට පේන්න තියෙන නිසා.

 

සිග්නේචර් එකක් තියෙන මනුස්සයෙක්

 

මේ කියන්නේ තමන්ගේ අත්සන ගැනද? එක විදියකට. දැන් හිතලා බලන්න ගොඩක් දෙනෙක්ගේ අත්සන් අපිට දැක්කට මතක හිටිනවද කියලා? නෑ. හැබැයි සමහර අත්සන් තියෙනවා, දැක්ක ගමන් මතක හිටිනවා. ආන්න ඒ විදිහට, තමන්ව කොමන් මනුස්සයෙක් නැතුව අන්කොමන් බවක් තියෙන, ඒ කියන්නේ සීයක් අතරින් ගත්තොත් ඒ සීයටම වඩා වෙනස් සහ විශේෂයි කියලා කැපිලා පේන මනුස්සයෙක් වෙන එකත් පොෂ් වීමට හොඳ උදව්වක්. ඒකට ලක්ෂ ගණන් වියදම් කරලා ස්ටයිල් කරන්න ඕනෙ නෑ. උදාහරණයක් විදිහට කිව්වොත්, එක වතාවකට රුපියල් ලක්ෂයක් දීලා විවිධ විදියේ සුවඳවල් තියෙන පර්ෆියුම් පාවිච්චි කරන කෙනෙක්ගේ සුවඳ ඒ තරම් මතක හිටින්නෙ නෑ. මොකද, සුවඳ හැම වෙලේම මාරු වෙන නිසා. හැබැයි ඉතාම හොඳ, ක්ලාස්, බ්‍රෑන්ඩඩ්, තමන්ට ගැළපෙන පර්ෆියුම් එකක් තෝරාගෙන, ඒක දිගටම පාවිච්චි කරන මනුස්සයෙක්ට, ඒ සුවඳ එයාගේ සිග්නේචර් එකේ කොටසක් වෙනවා.

 

වගකීමට මුල්තැන

 

මේකත් ඇත්තටම පොෂ් මනුස්සයෙක් වෙන්න හිතන කෙනෙක්ගේ ආකල්පය සම්බන්ධ දෙයක්. ඒ තමයි, තමන්ගේ වචනය රැකීම, ප්‍රමාදයෙන් වැළකීම, තමන් කරන කියන දේක වගකීම ගැනීම වගේ දේවල්. එහෙම මනුස්සයෙක් මත විශ්වාසය තබන්න පුළුවන් කියලා අනික් අයට දැනෙනවා, හිතෙනවා. අන්න ඒ කොලිටි එක තියෙනකොට, මනුස්සයෙක්ගේ ආකර්ෂණයත් සෑහෙන්න වැඩි වෙනවා. ඒකත් පොෂ් මනුස්සයෙක් වෙන්න අත්‍යවශ්‍ය කාරණයක් ඒ නිසා.

 

හොඳ මූල්‍ය සැලසුමක්

 

මේ කලේ ගොඩක් වෙලාවට ප්‍රධාන ජොබ් එක සහ සයිඩ් ජොබ් එකක් කරන එක මේ වෙනකොට සාමාන්‍ය දෙයක් වෙලා. ඒක පවතින ආර්ථිකයත් එක්ක කරන්න වෙලා තියෙන දෙයක්. ඇත්තටම සාර්ථක වුණු හෝ සාර්ථකත්වය වෙත යමින් ඉන්න මනුස්සයෙක්ට ඒක හොඳ උදාහරණයක්. ජොබ් කරන ගමන් තමන්ගේ වයස කීයක් වුණත්, නිරන්තරයෙන්ම අලුතෙන් දේවල් ඉගෙන ගන්න එක, නිරන්තරයෙන්ම තමන්ව සංවර්ධනය කරගන්න එක පවා අවශ්‍යයි.

 හැබැයි එකක්. පොෂ් මනුස්සයෙක් වෙනවා කියන්නේ පුද්ගලික ජීවිතයක් නැතුව දිවා රෑ වැඩ කරන්න මහන්සි වෙන එක නෙවෙයි. බැලන්ස් එකකින් යුතුව වෘත්තිය ජීවිතය සහ පුද්ගලික ජීවිතය පවත්වා ගන්න එක. ඇත්තටම ජොබ් දෙකක් නෙවෙයි තුනක් කළත්, ඒ බැලන්ස් එක තියෙන්න ඕ‍ෙන පොෂ් මනුස්සයෙක් වෙන්න නම්.