ජොබ් එක වගේම ටැබ් එකත් බලාගන්න

ඔක්තෝබර් 14, 2024

 

තොරතුරු තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් එක්කම විවිධාකාර උපාංග මිනිස් ජීවිතයෙන් බොහෝ ඉඩකඩක් වෙන්කරගැනීම පසුගිය දශකයක පමණ කාලයේදී අපි ඉතා විශාල වශයෙන් අත්වින්දා. සාමාන්‍ය පරිගණක, ලැප්ටොප් පරිගණක සහ Smart ජංගම දුරකථනවලින් තම අවශ්‍යතා ඉටුකර ගනිද්දී තවත් පිරිසක් යොමු වෙලා තියෙන්නේ ටැබ් එකක් හරහා ඒ කටයුතු ඉටුකර ගැනීමටයි. ඔබගේ එදිනෙදා තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනිම සඳහා ටැබ් එකට විශාල දෙයක් කරන්න පුළුවන් වීම ඊට හේතුවයි.

හැබැයි ටැබ් එකක් භාවිත කිරීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය නොකළහොත් විවිධ ගැටලු ඇතිවෙන්න පුළුවන්. අද අපි කතා කරමු ඒ ගැන.

screen protection එකක් භාවිත නොකිරීම

 

ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් භාවිත කිරීමට අපොහොසත් වීම නිසා ටැබ්ලටය සීරීම් වලට ලක්වෙන්න පුළුවන්. පැල්ලම් ඇති වීම ඇතුලු වෙනත් හානි වලට ගොදුරු වීම ආදිය සිදුවීමෙන් උපාංගයේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්. හොඳ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් සඳහා මුදල් වෙන් කිරීමෙන් ටැබ් යන්ත්‍රයේ ආයු කාලය දීර්ඝ කරගන්න පුළුවන්.

මෘදුකාංග යාවත්කාලීන නොකිරීම 

 

ටැබ් යන්ත්‍රයේ මෘදුකාංග නිසි පරිදි යාවත්කාලීන කළ යුතුයි. නැතිනම් ටැබ් යන්ත්‍රයේ ආරක්ෂාව දුර්වල වෙනවා. කාර්ය සාධන ගැටලුවලට ගොදුරු වෙනවා. ප්‍රශස්ත කාර්ය සාධනයක් සහ නිසි ආරක්‍ෂාවක් සහතික කරවා ගැනීම සඳහා ටැබ් යන්ත්‍රයේ මෙහෙයුම් පද්ධතිය සහ යෙදුම් නිතිපතා යාවත්කාලීන කළ යුතුය.

 

දත්ත ආරක්ෂා කිරීමට පියවර නොගැනීම

 

 ටැබ් යන්ත්‍රයේ ඇති ඡායාරූප, වීඩියෝ, ලේඛන වැනි වැදගත් දත්ත backup කර ගැනීමෙන් ඒවා ආරක්ෂා කරගත යුතුය. ටැබ් යන්ත්‍රයට යම් කිසි හානියක් සිදු වුවහොත් හෝ අස්ථානගත වුවහොත් වැදගත් දත්ත රාශියක් අහිමි වෙන්න පුළුවන්.

ආරක්ෂක විශේෂාංග නොසලකා හැරීම

 

ටැබ් යන්ත්‍රයක ආරක්‍ෂාව සහතික කිරීමට යොදා ගත හැකි මුරපද, කේත, සත්‍යාපන ක්‍රම, යෙදුම්වලට පිවිසීමට අවසර ලබාගත හැකි විශේෂාංග ආදී ආරක්ෂක ක්‍රම නොසලකා හැරීමෙන් ටැබ් යන්ත්‍රයේ ඇති පුද්ගලික තොරතුරුවල රහස්‍යතාව අවදානමට ලක් වෙන්න පුළුවන්. ටැබ් යන්ත්‍රයක ඇති සියලු ආරක්ෂක විශේෂාංග අනුගමනය කරමින් යන්ත්‍රයේ දත්ත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුය.

අනාරක්ෂිත Wi-Fi ජාල භාවිත කිරීම

බැටරිය ආරක්ෂා කර නොගැනීම 

ටැබ්ලටයේ බැටරිය අධික ලෙස චාර්ජ් කිරීම, අධික උෂ්ණත්වයට නිරාවරණය කිරීම  වැනි දෙයින් එහි ආයු කාලය කෙටි වෙනවා. මෙවැනි ගැටලු වළක්වා ගන්න ටැබ් යන්ත්‍රයේ බැටරිය නිසි ලෙස රැක ගත යුතුයි. 

 

ආරක්ෂක කවරයක් භාවිත නොකිරීම 

 

ටැබ් යන්ත්‍රයේ භෞතික ආරක්ෂාව වැඩිදියුණු කර ගන්න කවරයක් තිබීම ගොඩක් වැදගත්. ආරක්‍ෂිත කවරයක් භාවිත නොකිරීමෙන් වැටීම් වැනි හදිසි බලපෑම්වලින් හානි වෙන්න පුළුවන්. කල්පවතින කවරයක් භාවිත කිරීමෙන් මිල අධික අලුත්වැඩියාවන් හෝ ප්‍රතිස්ථාපනයන් වළක්වා ගන්න පුළුවන්. 

පමණ ඉක්මවා වැඩ කිරීම 

 

ටැබ් යන්ත්‍රයට විවේකයක් ලබා නොදී දිගින් දිගටම භාවිත කිරීමෙන්  ටැබ්ලටයේ වේගය අඩු වෙනවා. ඒ වගේම බැටරිය ඉක්මනින් බැස යන්න මෙය හේතුවක් වෙනවා.   කාර්යසාධනය නොවෙනස්ව පවත්වා ගන්න අනවශ්‍ය ටැබ් සහ ඇප් වසා දැමිය යුතුය. 

උපදෙස් නොසලකා හැරීම 

 

ටැබ්ලටය මිල දී ගන්නා විට එය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ ලබා දෙන අත්පොත කියවන්නේ නැතිව වැරදි ක්‍රමවලට එය භාවිත කිරීම, සැකසීම් සිදු කිරීම නිසා ගැටලු ඇතිවෙන්න පුළුවන්. නිවැරදි විශේෂාංග,දෝෂ නිරාකරණය කරන පියවර ගැන දැන ගැනීමට නම් එම අත්පොත හොඳින් කියවිය යුතුයි. නැත්නම් නිවැරදි ක්‍රම අන්තර්ජාලයෙන් සොයා ගත යුතුයි. නොදන්නා දේවල් කිරීමට යාමෙන් ටැබ් යන්ත්‍රය ගැටලුවලට ගොදුරු වෙන්න පුළුවන්.

 ටැබ් යන්ත්‍රය නිතිපතා පිරිසුදු නොකිරීම 

 

ටැබ් යන්ත්‍රයේ තිරය, බාහිර පෘෂ්ඨයන් ආදිය පිරිසුදු කිරීම නොසලකා හැරීම නිසා දූවිලි අපද්‍රව්‍ය ඒ මත එකතු වෙනවා. එය කාර්යසාධනයට සහ ටැබ් යන්ත්‍රයේ සුන්දරත්වයට සෘජුවම බලපානවා. එය වළක්වා ගැනීමට ක්ෂුද්‍ර, මෘදු ෆයිබර් රෙදි කඩක් භවිත කර නිතර පිරිසුදු කළ යුතුය. මෘදු පිරිසුදු කිරීමේ ද්‍රාවණයක් ඒ සඳහා යොදා ගත හැකිය. මේ සඳහා නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන පිරිසුදුකාරකයක් තෝරා ගත හැකි නම් වඩා සුදුසුය.

පුද්ගලික දත්ත අනාවරණය කිරීම

 

 ටැබ් යන්ත්‍රය හරහා ඔබ සිටින ස්ථානය දැනගැනීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට නිසි රහස්‍යතා උපක්‍රම අනුගමනය කරන්න.

 

මෙය කිරීම නොසලකා හැරීමෙන් පුද්ගලිකත්වයට හානි වෙනවා. ඔබගේ සංවේදී තොරතුරු තෙවන පාර්ශ්වයන්ට හෙළිදරව් වෙනවා.

නොගැළපෙන උපාංගවලට සම්බන්ධ කිරීම

 

ටැබ් යන්ත්‍රයට නොගැළපෙන චාජර්, කේබල්, කේස් භාවිත කිරීම ටැබ් යන්ත්‍රයට හානි සිදු කරනවා. එයින් කාර්යසාධනය අඩු වෙනවා. නිවැරදි ගැළපීමක් සහ ආරක්ෂාවක් සහතික කර ගැනීම සඳහා ටැබ් යන්ත්‍රයේ නිෂ්පාදකයා විසින් පිළිගත් අමතර උපාංග පමණක් භාවිත කළ යුතුය.

 ගබඩා ඉඩ කළමනාකරණය නොකිරීම

 

 ටැබ් යන්ත්‍රයේ ඇති ගබඩා ඉඩ පිරී යාමෙන් උපාංගයේ වේගය අඩුවෙනවා. ක්‍රියාකාරීත්වය සීමා වෙනවා. මේ නිසා නිතර ටැබ් යන්ත්‍රය පරීක්ෂා කරමින් අනවශ්‍ය ගොනු මකා දමන්න. පින්තූර වීඩියෝ ආදිය වෙනත් තැනක ගබඩා කරන්න.