වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ශෝකාන්තය
කොටවිල ජයනන්දා ලේකම්ගේ
නුවරඑළිය, කැලේගාල සුන්දර ගමෙහි උපන් ජයනන්දා ලේකම්ගේ මුලික අධ්‍යාපනය ලබන්නේ නුවරඑළිය ජයතිලක මහ විදුහලෙනි. අනතුරුව ගාමිණී මහා විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරන ඇය විවාහයත් සමඟ මාතර, කොටවිලට පැමිණෙන්නීය. කුඩා කාලයේ සිටම සිය විනෝදාංශය වූ මල් සහ විසිතුරු පත්‍රික ශාක වැවීම දැන් ජයනන්දා අපූරු ව්‍යාපාරයක් බවට පත්කරගෙන සිටින්නීය. ඊට අමතරව කවි සහ කෙටි කතා ලිවීමෙන් ද ඇය ඉමහත් තෘප්තියක් ලබන්නීය.
හිිරුඑළිය යන්තමින් පිදුරුතලාගල කඳු මුදුන සිසාරා පැතිර යයි. මමත්, නංගීත්, තාත්තා සමඟ පය ඉක්මන්කර ගමන් කරන්නේ තාත්තා යන ගමන අපට යන්නට අසීරු බැවිනි. අවට පරිසරයේ ඇති සීතල දරාගත නොහැකිව වෙවුලමින් ගමන් කරන නංගීගේ මුහුණ දෙස බැලුවෙමි. ඇයගේ කම්මුල් රතු වී තොල්පට වියළී ගියා සේය. පිනිබිඳු වැටී අප ගමන් කරන රේස්කෝස් තණ පිටිය පුරාම රිදී පාටින් දිලිසේ. මමත්, නංගීත් ජයතිලක මහ විදුහලට ඇරලවා තාත්තා ඔහුගේ සේවා ස්ථානය වූ නුවරඑළිය මහ නගර සභාව වෙත ගියේය.
පාසල අවසන් වීමට ඇත්තේ තව ටික වේලාවයි. බෑගය තුළට පොත්පත් අසුරන මා දෙස බලා මා මිතුරිය සුජාතා ලාලනී සිනාසුණාය.
“අදත් බෝට්ටු පදින්න යනවද? ගෙදර යන්ඩ ඉක්මන් කරන්නෙ?“
ඇය විමසා සිටියේ අයිරංගනීටත් ඇසෙන්නටය. ඇය ද සිනාසී මා දෙස බැලුවාය.
“අප්පේ... මට නම් බයේ බෑ. බෝට්ටුව පෙරළුණා නම්?“
ඇය දෙවුර නැටවූවාය. මිතුරියන්ගෙන් සමුගත් මම නංගීත් සමඟ කැලේගාල ගමේ අපේ නිෙවසට පැමිණියෙමි.
අම්මාගේ කෑගැසීම මඳකටවත් නොඅසා මමත්, නංගිත් පිම්මට දිවගියේ තාත්තා සේවය කරන ග්‍රෙගරි වැව වෙතය. එහි ඇති බෝට් හවුස් එකේ තාත්තා ඉන්නා බව අප හොඳින් දනිමු. පැමිණෙන සංචාරකයින් බෝට්ටුවේ නංවාගෙන ග්‍රෙගරි වැව වටා රැගෙන යෑම තාත්තාගේ රාජකාරියයි. ඒ යන හැම වෙලාවකම ඉඩ තිබුණොත් අපට ද යන්නට අවස්ථාවක් ලැබෙන්නේය. සවස් වරුවම වැව අසල ගතකොට හිරුබැස යන්නට පෙර අපි නිවෙසට දිව එන්නෙමු. අම්මාගෙන් බැණුම් අසා සමහර දිනෙක ගුටියක් දෙකක් කා නින්දට යන්නෙමු.
දිනක් මාත්, නංගීත් බෝට්හවුස් එකට යද්දී තාත්තාගේ මිතුරෙකු වූ සිරිල් මාමා ද පැමිණ තාත්තා සමඟ කතාබහ කරමින් සිටියේය. පැයක් දෙකක් ගතවුවත් සංචාරය සඳහා කිසිවෙකු පැමිණියේ නැත. මාත්, නංගීත් තාත්තාට කරදර කරමින් සිටියේ වැවේ රවුමක් එක්ක යන ලෙසය. අප දෙදෙනාගේ ඇවිටිල්ල දුටු සිරිල් මාමා “ජෝන් අයියා මාත් එන්නම්. යමු රවුමක් ළමයි දෙන්නත් එක්ක” කියා කීවේය.
එය ඇසුණු අප දෙදෙනා දිවගොස් හබල් බෝට්ටුවට නැග ගත්තේ ඉතාමත් සතුටිනි. හබල් ගසන බෝට්ටුවේ ගමන් කිරීම විනෝදයක් ගෙන දෙයි. වැවේ දිය පීරාගෙන හබල් බෝට්ටුව ඉදිරියට ඇදෙයි. නංගිත්, මාත් වතුරට අත දමා මාළු පැටවු අල්ලන්නට උත්සාහ ගත්තෙමු. ළා කහ පාට වර්ණ අැති ඕලූ මල් නෙළා මිටි දෙකක් සාදා ගත්තෙමු. තාත්තා ග්‍රෙගරි වැවේ පාලම යට බෝට්ටුව නතර කළේය. කළුපාට පරෙවියන් වැනි කුරුල්ලන්ගේ කූඩු විශාල ප්‍රමාණයක් පාලම යට ඇත. කුරුල්ලන් කූඩුවල පිරී ඇති නිසා කුරුලු පැටවු දෙදෙනෙකු අල්වාගෙන ඇඳසිටි ජර්සිය තුළට දමා ගත්තෙමි. එය දුටු සිරිල් මාමා
“ළමයිනේ ඔය කුරුල්ලෝ ගෙවල් ඇතුළේ හදන්නට බැහැ. අත ඇරලා දාන්ඩ?”
එය තාත්තාට ද ඇසුණි. තාත්තා අප දෙස බැලූ බැල්ම අපට කුරුල්ලන් නිදහස් කිරීමට සිත්විය. පෙර දිනයක සිදු වූ සිදුවීමක් තාත්තා සිරිල් මාමාට විස්තර කළේය.
“මේ ළඟදි දවසක මේ දෙන්නා පොඩි දිය බල්ලෙක් අල්ලගෙන ගෙදර අරන් ගිහිල්ලා හරිම කරදරයක් වුණේ. රෑම මම දිය බල්ලව වැවට ගෙනත් දැම්මා.” කියූ තාත්තා සොරොව්ව ඇති පැත්තට බෝට්ටුව පැදවුවේ “මේ පැත්ත ගැඹුර වැඩියි” කියමිණි.
“මට පීනන්න පුළුවන් අපි පැනලා පීනමුද?”
සිරිල් මාමා අැසුවේය. තාත්තා එක පයින් එකඟ විය.
“ඒත් ළමයි දෙන්නා තනියමනේ”
තාත්තා කීවේය.
“ඒගොල්ල ඉඳියි. හබල් දෙක මැදින් තියලා පනිමු.” කියූ සිරිල් මාමා පළමුව වැවට පැන්නේය. තාත්තාට ද සිිරිල් මාමා සමඟ තරගයට පිිහිනන්නට අවශ්‍ය බව අපට හැඟී ගියේය. දෙන්නා ඔහොමම ඉන්ඩ දඟලන්නට එපා බෝට්ටුව පෙරළෙයි.” කියූ තාත්තා ද වතුරට පැන්නේය.
තාත්තා වතුරට පැන්න වේගයට හබල් දෙක අප සිටි පැත්තට ඇදී ආවේය. බෝට්ටුව ද පැත්තකට එසවිණි. බියට පත් වුණු අප දෙදෙනා කෑගැසුවත් පිහිනමින් සිටි තාත්තටවත් සිරිල් මාමාටවත් එය නෑසුණි. ග්‍රෙගරි වැවේ සොරොව්ව දෙසට අප සිටි බෝට්ටුව සෙමින් සෙමින් ඇදී ගියේය. තව මොහොතකින් බෝට්ටුව පෙරළී අප දෙදෙනා ග්‍රෙගරි වැව් පතුලට ගොස් දියේ ගිලී මරණයට පත්වෙන හැටි මට මැවී පෙනුණි. වැව් ජලය ද කළුපාට වර්ණයක් ගෙන තිබුණි. අප කොතරම් උස් හඬින් කෑගැසුවත් කිසිවෙකුගේ අවධානයක් නොලැබිණි. බෝට්ටුව පෙරළී ගියේය. මමත්, නංගීත් සීතල වැව් ජලයට ඇද වැටුණු හැටි තවමත් මතකයේ ඇත. තාත්තා පිහිනා ඇවිත් නංගීව අල්ලා ගත් නමුත් මා වැව් පතුලට ඇදී ගියේය.
ඉන්පසු සිදු වූ කිසිවක් මා මතකයේ නැත. මා නිෙවසට ගියත් වෙනදා මෙන් මගේ පවුලේ අය මා සමඟ කතා කරන්නේ නැත. ඔවුන් මා දෙසවත් නොබලයි. මට ද ඔවුන් හා කතා කිරීමට නොහැකිය. අම්මා නංගීට කෑම කවයි. මට ද කුසගිනි දැනේ. “අනේ අම්මා මට බඩගිනියි. මට කෑම ටිකක් දෙන්ඩ.” පිපාසය ද දැනේ. එහෙත් ජලය පොදක් බීමට නොහැකිය. නිෙවස අසල මගේ මිතුරිය අජන්තා, ඇගේ සොයුරා ලක්ෂ්මන් අයියා සහ සුනිල් අයියලා සමඟ සෙල්ලම් කරමින් සිටියි. මා ඒ දෙසට යන්නෙමි. ඔවුන් ද මා දෙසවත් නොබලන්නේ ඇයි ද කියා මට තේරුම් ගත නොහැක. මා සිතට දුකක් දැනේ මා නැවත ග්‍රෙගරි වැව වෙත යන්නෙමි. සීතල මීදුම අවට පරිසරය වසාගෙන තිබුණත් මට සීතලක් නොදැනේ.
වෙනදා මෙන් තාත්තා සංචාරකයින් රැගෙන බෝට්ටුව පැද්දත් ඔහුගේ මුහුණ දුක්බර බවකින් පිරී ඇතිබව මට පෙනේ. මම තාත්තා ළඟින්ම ඉඳගෙන බෝට්ටුවේ ගමන් කළත් තාත්තා කතා නොකරයි. “තාත්තා මම චූටි කියා” කීවත් ඔහුට එය නෑසේ. සොරොව්ව ඇති පාලමෙන් එහා පැත්තට යන්නට ඔහුගේ කැමැත්තක් නැති බව මට පෙනේ.
“අනේ තාත්තා මාව ගෙදර එක්ක යන්ඩ. නංගි එක්ක සෙල්ලම් කරන්ඩ මට ආසයි.” අම්මා උයන බත් කන්ඩ මට අාසයි. මාව දැක්කෙ නෑ. වාගේ යන්ඩ එපා.” මා කොතෙක් කීවත් තාත්තාට එය නෑසේ. තාත්තා වැඩ ඇරී යනවිට මම දුකින් බලා සිටිමි.
සැඳෑ අහස ගොම්මන් අඳුරෙන් පිිරී ඇත. වැව දෙපස ඇති කටුපඳුරුවල කහපාට මල්පිපී මල් යායක සිිරිය ගෙනේ. ඒ අතර තැනින් තැන අශෝක ගස්වල රතුමල් පොකුරු පිපී මවන්නේ අමුතුම සුන්දරත්වයකි. චමත්කාර මේ පරිසරයේ හිත්පිත් නැති සුන්දර ග්‍රෙගරි වැව නිසලව වැතිර සිටියි. වැව් ඉවුරේ සිට කවුදෝ මට අතවනනු පෙනේ. මා ඒ දෙසට යන්නෙමි. සුන්දර ග්‍රෙගරි වැව මම සැමදා තනිවී ඔබ සමීපයේ සිටින්නෙමි.
නිහඬ නිසල රාත්‍රිෙය්
තරුපති පායා එබී බලයි
දෝංකාරයේ හීන් හඬින්
දුක්බර කවියක පද අමුණයි
වැව් ජලයේ ඇඳිසේයා රූ
පාවී පාවී ඈත ඇදෙයි