මම ආසයි අත්හදා බැලීම් කරන්න

ඔක්තෝබර් 14, 2024

 

ඇය නවකතාකාරියකි. සයිබර් ලේඛිකාවකි. ලේඛන කලාවේ වෙනස්ම ගමනක යෙදෙමින් සාහිත්‍ය රසය සොයා යන්නියකි. ඇය දිගැසි අමරසිංහ.

ඇගේ “නුඹ ව පමණක් සොයමි කාව්‍ය සංග්‍රහයත්, “නුවරක සෙනෙහස“ කෘතියත් ඇය විවිධ තේමාත්මක, භාෂාත්මක හා භාවාත්මක කලාපයන්හි සැරිසරමින් සංකීර්ණ අත්දැකීම් පාඨකයා වෙත නැවුම් විලාසයන්ගෙන් රැගෙන ඒමේ ශක්‍යතාව ප්‍රකට කර ඇත. 'අසංජානනී'. ඇය කාලයකට පසුව එළිදැක්වූ නවකතාවයි. මේ දිගැසි ඇගේ නවතම කෘතිය ගැන අදහස් බෙදා ගැනීමට එක් වූ අවස්ථාවයි.

මම ලේඛන කලාව ආරම්භ කරන්නේ මීට වසර ගණනාවකට පෙර. ඒ දවස්වල අභ්‍යාස පොත්වල පෑනෙන් ලියමින්, පටන් ගත්ත ලේඛන ක්ෂේත්‍රය මුද්‍රිත කෘතියක් ලෙස එළිදැක්වෙන්නෙ "නුඹව පමණක් සොයමි" කාව්‍ය සංග්‍රහයෙන්. ඒ 2022 දී. ඒකත් හරි අපූරු කතාවක්. ඒ වන විට මම "82 ෆේස්බුක් ගෘෘප්" එකේ සාමාජිකාවක්. ඔය අවධිය ෆේස්බුක්වලට ලිවීම සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධයි. ඉතින් මම ලියපු කවි පාඨකයෝ අතර ජනප්‍රිය වූ නිසාම ඔය සමූහයේ නිර්මාතෘ තේජන අබේධීර යෝජනා කරනවා දැන් කවි පොතක් කරමු කියලා.

ඉතින් ඒ තමයි මූලාරම්භය. ඊට පසුව අහම්බෙන් ආසාවට වගේ ලියවුණු නවකතාවක් තමයි මගේ දෙවැනි කෘතිය වෙච්ච "නුවරක සෙනෙහස". එයත් අතිශය ජනප්‍රිය වුණා . ඒ වගේම දෙවැනි මුද්‍රණයෙත් පිටපත් අවසන් වෙන්නට ආසන්නයි.

 

මේ ඔබගේ කීවැනි කෘතිය ද?

මේ මගේ තුන්වැනි කෘතියයි. මේක මගෙ අතින් ලියවෙන්නෙ 2024 මුල් කාර්තුවේ. මුලින්ම මේකේ නම “අක්වැස්ස.“ ඒත් ඒ නමින් වෙනත් කෘතියක් තිබෙන නිසා මගේ මේ නවකතාවේ පෙරවදන ලියූ ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර මහත්මියත් මමත් තීරණය කළා නම වෙනස් කරන්නට. මෙහි සෝදුපත් බලපු මගේ හැම සාහිත්‍ය කටයුත්තකටම පසුපසින් හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූ‍රිය මහතා තමයි “අසංජානනී” කියන නම යෝජනා කළේ. පොතේ ප්‍රධාන චරිතය , "සංජනා"ට හොඳ නරක තෝරාගන්නට නොහැකි වීම පාඨකයාට ඒත්තු ගන්නන්නට අ-සංජානනී නම අපි යෙදුවා.

 

අසංජානනී ලිවීමෙන් ඔබ සමාජයට කියන්න හැදුවෙ කුමක්ද?

“අසංජානනී” කියන්නේ මගෙ දෙවැනි නවකතාවේ පළමු කොටස. දෙවැනි කොටසක් ලියන්න බලාපොරොත්තුවෙන් අසංජානනී ලිව්වේම හේතුවක් ඇතිව. අපේ සමාජයේ මතුපිටින් අපි නොදැක්කාට, සංජනාලා, ජිතේන්ද්‍රලා, දිල්කිලා ඕනෑතරම් ඉන්නවා. හේතුවක් ඇතිව හෝ නැතිව ඒ තත්ත්වයට පත්වෙලා

ඉන්න කෙනෙක්ට එතැනින් එහාට තමන් ගැනම අවබෝධ කරගන්නටත්, ඒ තත්ත්වයට පත්වෙමින් ඉන්නා කෙනෙක්ට ඉන් මිදෙන්නට පාර කියන්නත් හැකිවෙයි කියලා හිතලා ලියපු නවකතාවක් මේක. මම දන්නෙ නෑ මේක කොයිතරම් පාඨකයා අතරට යාවිද, කොයිතරම් ඒ පණිවිඩයට සුබවාදී පිළිතුරක් ලැබේවි ද කියලා. ඒකට හේතුව බොහොමයක් දෙනා තමන් අතින් වරදක් සිදුවෙන බව පිළිගන්නට අකැමැති නිසා. ඒ වගේම මෙහි දෙවැනි කොටස ලියවෙන කෝණය ගැන කිසිම අදහසක් මට නෑ. පළමු කොටස පාඨකයා වැලඳගන්නා සහ ඉන් එහාට පාඨකයා ඒ ඒ චරිතවලට බලාපොරොත්තු වෙන සාධාරණයක් ඉටු කරන්නට දෙවැනි කොටසින් මම බලාපොරොත්තු වෙනවා.”