ලිස්ට් එක ලොකු වුණාට යාළුවෝ ඉන්නේ පොඩ්ඩයි

ඔක්තෝබර් 14, 2024

 ජීවිතේට කොලිටි මිනිස්සු විතරක් තියාගන්න කියන එක ගැන කතා බොහෝ දෙනෙක් කතාබහ කෙරෙන සංකල්පයක්. ඇත්තටම අපි ජීවත් වෙන්නේ සමාජයකනේ. අන්න එතකොට, අපිට කොහොම වුණත් තවත් අයත් එක්ක පවත්වන පුද්ගල සම්බන්ධතාවලින් ඈත් වෙන්න බෑ. හැබැයි අපි පවත්වන පුද්ගල සම්බන්ධතා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න එක අපිට කරන්න පුළුවන්. ආන්න ඒක තමයි අපි මේ කොලිටි මිනිස්සුත් එක්ක පුද්ගල සම්බන්ධතා පැවැත්වීම කියලා කියන්නේ.

දැන් මේ පුද්ගල සම්බන්ධතා කිව්වහම ඒකට ඇතුළත් වෙන්නේ යාළුමිත්‍රකම්, නෑදෑකම්, හිතවත්කම්, පෙම්වතුන්, පෙම්වතියන් වගේ පෞද්ගලික සම්බන්ධතා විතරක් නෙවෙයි. තමන්ගේ වෘත්තිය ජීවිතේදී පවත්වන සම්බන්ධකම්, තමන් හදාගන්න නෙට්වර්ක් එහෙමත් මේකට අදාළ වෙනවා.

ඉතින් ඔය හැම තැනකදීම අපේ ජීවිතේට කොලිටි මිනිස්සු විතරක් ඇතුළු කරගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි කරන්න බැරි තරම් අමාරු වැඩකුත් නෙවෙයි.

 

ඉන්න අමාරු තැන්වල ඉන්න එපා

කොලිටි මිනිස්සු ජීවිතේට ළං කරගන්න පුළුවන් එක විදියක් තමයි, කොලිටි නැති මිනිස්සුන්ව ජීවිතෙන් හලන එක. එතැනදී අපි හිතලා බලන්න ඕ‍ෙන එක දෙයක් තමයි, අපි යම් යම් සම්බන්ධතාවල ඉන්නේ ඇත්තටම අපිට ඒ සම්බන්ධතා ඕ‍ෙන හින්දද කියන එක. උදාහරණයක් විදහට කිවුවොත්, සමහර වෙලාවට අපි බොහොම විෂ සහිත ආදර සම්බන්ධතාවක හිර වෙලා ඉන්නවා. ඇත්තටම අපිට එතැන ඉන්න අමාරුයි. ඒත් යාළුවෝ, ගෙදර අය සම්බන්ධය දන්න නිසා අමාරුවෙන් ඉන්නවා. තව උදාහරණයක් ගමු. ඔන්න එකට ඉඳන් වළ කපන යාළුවෙක් ඉන්නවා. එයත් එක්ක ඉන්නත් අපිට අමාරුයි. ඒත් ලෝකෙම දන්නවනේ මෙයා තමන්ගෙ යාළුවා කියල. ඒ නිසා අමාරුවෙන් ඉන්නවා. එහෙම අමාරුවෙන් මිනිස්සු එක්ක ඉන්න එපා කියන එක තමයි අපි මේ කියන්නේ. තමන්ට කෙනෙක් එක්ක ඉන්න අමාරු නම් කරුණාකරලා එතැනින් ඉවත් වෙන්න.

 

සාර්ථක මිනිස්සු

මෙන්න මේක කොලිටි මිනිස්සුන්ව ජීවිතේට ළංකරගන්න කියන කතන්දරේ එක්ක එන ජනප්‍රිය කෑල්ලක්. ඒ වගේම මිනිස්සු අවභාවිත කරන කෑල්ලක්. ඇත්තටම අපිට සාර්ථක මිනිස්සුන්ගෙන් ජීවිතේට ගන්න දේවල් තියෙනවා. විශේෂයෙන්ම සාර්ථක මනුස්සයෙක් අපේ මාර්ගෝපදේශකයෙක් වෙනවා කියන්නේ ලොකු දෙයක්. හැබැයි සාර්ථක මිනිස්සුන්ව ඇසුරු කරන්න කියන්නේ, ඒ මිනිස්සුන්ගෙන් ජීවිතේට ගන්න තියෙන උපදෙස්, ආදර්ශ ගන්න කියන එක මිසක්, ඒ මිනිස්සුන්ගෙ ගෙදර එකෙක් වෙන්න දඟලන එකවත්, ඒ මිනිස්සුන්ට මුට්ටි අල්ලන එකවත් නෙවෙයි.

 

ආරක්ෂිත කලාපයෙන් බැහැරට

ඇත්තටම අපි ගොඩක් දෙනෙක් ජීවිතේ වැඩිපුර කොටසක් ජීවත් වෙන්නෙ අපේ ආරක්ෂක කලාපයේ. ඒකෙන් පිටතට ගිහින් අවදානමක් ගන්න අපි ලෑස්ති නෑ. හැබැයි ඉතින් සාර්ථකත්වය කරා යන ගමන සේෆ් සෝන් එකේ ඉඳගෙන කරන්න නම් බෑ. අවදානම් ගන්න වෙනවා. ආන්න ඒකට අපි ආශ්‍රය කරන මිනිස්සුත් අදාළ වෙනවා. ඇත්තටම කොලිටි මිනිස්සුන්ව ජීවිතේට ළංකරගන්න කියල කටින් කිව්වට, අපිට මිනිස්සුන්ව කාලා බලන්න බැහැනේ. ඒ නිසා අපිට එතැනදී යම් කිසි අවදානමක් ගන්න වෙනවා. හැබැයි අපි සවිඥානිකව නම් ඒ අවදානම ගන්නේ, ගැටලුවක් නෑ.

 

ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක හරි පිළිවෙළට

මෙන්න මේක නම් අනිවාර්යය කාරණයක්. තමන්ගේ යාළු මිත්‍ර ලිස්ට් එක සුද්ධ පවිත්‍ර කරන එක. මේ කියන්නේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එක ගැන නෙවෙයි. හැබැයි ඒකත් මෙතැනට අදාළයි. දැන් අපි නිකමට හිතල බලමු අපිට යාළුවෝ කොච්චර ඉන්නවද කියල. හැටනව ලක්ෂයක් විතර ඉන්නවා ඇති නේ? හැබැයි ඔය ඔක්කොම ඇත්තටම යාළුවොද? ආන්න ඒක තමයි හිතලා බලන්න ඕ‍ෙන. ඔතැනින් ගොඩක් අයට අපිව අවශ්‍ය වෙන්නේ උදව්වකදී. එහෙම නැතිනම් මතක් වෙන්නෙ නෑ. අන්න ඒ අය යාළුවෝ නෙවෙයි. ඒ අය දන්න හඳුනන අය. ඒ නිසා ජීවිතේට ෂුවර් ඇන්ඩ් ෂොට් යාළුවෝ කීප දෙනෙක් විතරක් තියාගන්න. ඒ අයව මේන්ටේන් කරන්න. අනික් අයව දන්න හඳුනන ලිස්ට් එකට දාන්න. ඒ අය උදව්වක් ඉල්ලුවොත්, ඒක තමන්ගේ වැඩ පාඩු කරගන්නෙ නැතුව කරන්න පුළුවන් නම් කරල දාන්න. ඔච්චරයි.

එතකොට තමනුත් අනුන්ට කිසිම උදව්වක් නැතුව අනුන්ගෙන් උදව් ඉල්ලන ඩයල් එකක් නම්? ඒක ඉතින් වෙන ආටිකල් එකකින් ලියන්න වෙන කතාවක්!

 

තමන්ගේ හොඳ පතන මිනිස්සු

මේ කියන්නෙ තමන්ගේ යහපත ප්‍රාර්ථනා කරන මිනිස්සුන්ව විතරක් ආශ්‍රයට ගන්න එක. අපේ සමහර නෑදෑයෝ, යාළුමිත්‍රයෝ ඉන්නවා, ඒ අය අපිට මූණට මොනවා කිව්වත්, නැති තැන කියන්නේ වෙන කතන්දර. එක්කෝ අපිට හිනාවෙයි. එක්කෝ අපේ නරක කතා කරයි. හැබැයි ඒ අය එහෙම කරනවා කියලා අපි දැනගන්නෙ කොහොමද? උදාහරණයක් ගත්තොත්, යාළුවෙක් අපේ නරක කිව්වා කියල තව කෙනෙක් අපිට කේලමක් කිව්ව පළියට, අපිට ඒ යාළුවව හලන්න පුළුවන්ද? අපොයි බෑ. ඒක වැරදියි. හැබැයි මෙහෙම අපේ යහපත අවංකව ප්‍රාර්ථනා නොකරන මිනිස්සුන්ව අපිට ටික කාලයක් යනකොට අඳුනගන්න පුළුවන් වෙනවා. ආන්න එතකොට ඒ අයව අතේ දුරට ඈත් කරලා තියන්න. අනික් පැත්තට, හිතේ කිසිම කහටක් නැතුව අපිට හොඳක් වෙන්න කියලා හිතන පතන අයව ළඟට ගන්න.

 

සතුටින් ඉන්න කෙනෙක්

ඇත්තටම මේ ලෝකේ නිරන්තරයෙන් සතුටින් ඉන්න එක කිසිම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අඩු තරමින් මුළු ජීවිතේම අඬා ගත්තු ගමන්, කම්ප්ලේන් කරගත්තු ගමන් ඉන්න කෙනෙක් නොවී, සතුටට හිනා වෙලා, දුකක් ආවහම ඒකට මුහුණ දීලා ඉන්න පුළුවන් නම්, ඊට පස්සේ ආයෙමත් හිනාවෙලා ඉන්න පුළුවන් නම් එච්චරයි. ජීවිතේ අමාරුයි තමයි. හැබැයි ඉතින් තුන්තිස් පැයේම අඬා වැලපීගෙන, මේ සමාජෙ කෘෘරයි කියාගෙන හිටියා කියලා ජීවිතේ ලේසි වෙන්නෙ නෑ. 

ඉතින් එකක් තමයි අපිත් එහෙම සතුටින් ඉන්න මිනිස්සු වෙන්න ඕ‍ෙන. ඒ වගේම අපිට ආශ්‍රය කරන්නත් එහෙම සතුටු මූඩ්ස් ලබාදෙන මිනිස්සු තෝරගන්න ඕ‍ෙන.

 

සම්බන්ධතා

මේ ඔක්කොම කාරණ එක්ක මතක තියාගන්න ඕ‍ෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි, තමන් කොලිටි මනුස්සයන්ව ආශ්‍රයට ගන්නවා වගේම, ඒ අයට තමනුත් කොලිටි මනුස්සයෙක් වෙන්න ඕ‍ෙන කියන එක. එහෙම නැතිනම් අපිට කොලිටි මනුස්සයෝ එක්ක ඉන්න ලේසි වෙන්නෙ නෑ. මෙන්න මේ නිසා හොඳ ප්‍රතිපත්ති තියෙන, නැති තැන මිනිස්සුන්ට දොස් නොකියන, දේවල් හොයලා බලල විචාර බුද්ධියෙන් කටයුතු කරන, අනික් මිනිස්සුන්ගේ හොඳ ප්‍රාර්ථනා කරන, තමන්ට වැදගත් කෙනෙක්ට අවශ්‍ය මොහොතකදී උදවු පදවු කරන කොලිටි මිනිහෙක් හෝ ගැහැනියක් වෙන්නත් අපි වග බලා ගන්න ඕන. 

කොටින්ම කියනව නම්, කොලිටි මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න නම් අපිත් කොලිටි වෙන්න ඕ‍ෙන. ඒ වගේම ඒ කනෙක්ෂන් හරි විදියට පවත්වා ගෙන යන්න ඕ‍ෙන.

 

සමාජ කණ්ඩායම්වලට දායකත්වය

මේ විදිහට ගත්තහම අපිට පේන්න ඕ‍ෙන දෙයක් තමයි, ඇත්තටම අපේ ජීවිතේට මිනිස්සු බර ගාණක් ළං කරගන්න අවශ්‍ය නැහැයි කියන එක. ඇත්තටම අපිට කොලිටි මිනිස්සු කීප දෙනෙක් අපේ ජීවිතේ හිටියත් ඇති. හැබැයි ඒ අතරේ අපිට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ තමයි සමාජ කණ්ඩායම්වලට අපේ දායකත්වය සපයන එක. එතැනදී සමාජ සමූහයක් එක්ක සාමූහිකව වැඩ කරන්න පුළුවන්. ඇත්තටම මේ වගේ වැඩවලිනුත් අපේ ජීවිතේට කොලිටි මිනිස්සු මුණගැහෙන්න පුළුවන්. හැබැයි මේ සමාජ කණ්ඩායම්වලට ලබාදෙන දායකත්වය, අපි සාමූහික සත්ත්වයෙක් කියන කාරණාව තෘප්තිමත් කරන්නත්, අපේ කොලිටිය වැඩි කරගන්නත් වැදගත් වෙයි.

දැන් මේ එක්කම අපි ඔළුවට ගන්න ඕ‍ෙන තව දෙයක් තියෙනවා. ඇත්තටම කොලිටි මිනිස්සු කියන්නේ කවුද? ගොඩක් සල්ලි තියෙන මිනිස්සුද? එතකොට සාර්ථක මිනිස්සු කියන්නේ කවුද? වෘත්තියෙන් ඉහළටම ගිය මිනිස්සුද? නෑ. කොලිටි මිනිස්සු කියන්නේ ගතිගුණවල, ආකල්පවල කොලිටිය හොඳ මිනිස්සු. ඒ කියන්නේ රටේ නම ගියපු ව්‍යවසායකයෙක් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. හංදියේ මාළු විකුණන, ඒ ජොබ් එකෙන් තෘප්තිමත්ව ඉන්න මාළු විකුණන අයියා කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. අපිට අවංක සිතින් ආශීර්වාද කරන පංසලේ පොඩි හාමුදුරුවෝත් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. හැමදාම හිනා කටක් එක්ක අපිව දැක්කහම හිනාවෙන ඔෆිස් එකේ තේ හදන අක්කා කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. අපේ දියුණුව අවංකවම ප්‍රාර්ථනා කරන පරණ බෝයිෆ්‍රෙන්ඩ් වුණත් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්.