වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පරපුරක් ගැන එක තැනක හිඳ නාඬා බයිසිකලයෙන් කොළඹ ආ සමනලිය නඩා
මේක පුංචි සුරංගනා කතාවක්. මේක ඇහෙන්නේ කාන්තන්කුඩියෙන්. මේ සුන්දර ගම්මානයේ ලස්සන ගැහැනු ළමයෙක් සිටියා. ඇය ඉතා සතුටින් කාලය ගත කළා. සමනලුන් පසු පස හඹා යෑම ඇගේ විනෝදාංශය වුණා. හොඳින් ඉර පෑයූ දවස්වලට ඈ හරි අපූරු සමනලුන් ගෙත්තම් කළා. පුංචි පුංචි මල්, කුරුල්ලන්, සමනලුන් එයාගේ මැහුම් අතරට හැමදාමත් එකතු වුණා. එයාට තවම වයස අවුරුදු 14යි. නම ෆාතිමා නඩා. එයා වයසෙන් පුංචි වුණාට එයාට තිබුණේ හරිම ලොකු හිතක්.
මොකද එයා හිතුවේ කවුරුත් හිතන්නේ නැති හරි ලොකු දේවල්. හැමදාම අහන්න දකින්න ලැබෙන ළමයින්ට වෙන අසාධාරණකම්, ලිංගික අපයෝජන, මත්ද්‍රව්‍ය උවදුරු ගැන ඇය අනිත් අයටත් වඩා හිතන්න ගත්තා. ඉතින් පුංචි ෆාතිමාට හිතුණා මේ ගැන මොකක්ම හරි කරන්න ඕනේ කියලා. එයා හිතුවේ හැම පුංචි ළමයෙක්ගෙම සතුට පිරිලා ඉතිරිලා යන්න පුංචිම හරි ලෝකයක් ඉතිරි වෙන්න ඕනේ කියලා. අන්තිමට එයා තීරණය කළා රටේ අගමැතිනියට මේ ගැන සංදේශයක් ඉදිරිපත් කරන්න.
හැබැයි මේ ගමන යන්න ඇය තෝරගත්තේ ඈ හැමදාම උදේ හවස පාසල් යන එයාගේ පුංචි බයිසිකලය..
ඈ හැමදාම බයිසිකලය පැදලා හිත පුරවා ගත්තා. දවසින් දවස එයාගේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතු වුණා. තාත්තා නැති වුණාට පස්සේ අම්මත් එක්ක ගෙවපු නඩාගෙ ජීවිතය තවත් ශක්තිමත් කරන්න ඇති. සමාජය ගැන ආදරයෙන් බලන්න පුරුදු වෙලා හිටපු නඩා එයාගෙ පුංචි යාළුවෝ එක්ක එයාලට එහායින් තියෙන ලෝකය ගැන ගොඩක් දේවල් කතා කළා. පොල්අතු වැටවල්වලින් මායිම් වෙච්ච මේ පුංචි ගමේ හිටිය නඩා ඉස්කෝලේ යන්නේ කාන්තන්කුඩියේ බදුරියා විද්‍යාලයට. පොත පතේ අධ්‍යාපනයට අමතරව නඩා මැහුමටත් ගෙතුමටත් ආසයි. නඩා ටිකක් අමුතු විදිහට හිතන්න පුරුදු වෙලා ඉන්නවා කියලා අපි කිව්වනේ. ඒක නිසාම තමන්ගෙ පරපුරට වෙන අඩන්තේට්ටම් ගැන වගේම මේ සමාජයට සිද්ධ වෙන බරපතළ වැරදි ගැන නඩා හිතන්න පටන් ගත්තා.
තමන්ගේ පුංචිම පුංචි ගමේ පොල් අතු ඉරුවලින් වට වෙච්ච තාප්පවල සීමාවෙ ඉඳන් අඬ අඬ ඉන්නේ නැතුව නඩා ඒ සීමාව බිඳගෙන පරපුරක් වෙනුවෙන් සංදේශයක් අරන් කොළඹට එන්න තීරණය කළා.
ඒ නම මුළු ලංකාවෙම ජනප්‍රිය වෙන්නේ මේ පුංචි සමනලී කොළඹට අරන් ආපු සංදේශයත් එක්ක. මේ මාසේ 7 වැනිදා උදේ 7ට එයාගෙ හොඳම යාළුවා එහෙමත් නැත්නම් හැමදාමත් ළඟින් හිටිය ගමන් සහයකයාගේ පිටේ නැග්ග ෆාතිමා කොළඹ එන ගමන පටන් ගත්තා. කැඩිච්ච බිඳිච්ච පාළු පාරවල්වලින් ෆාතිමා රෝදෙන් රෝදෙට ඉදිරියට ඇඳුණා. එකපාරටම පාත් වෙච්ච අනෝරා වැස්සට මේ පුංචි සමනලියගේ තටු තෙමන්න බැරි වුණා. එයා එයාගේ ගමන වෙනුවෙන් දුක් කරදර බාදක මැඩගෙන හයියෙන්ම ඉදිරියට පියෑඹුවා. පාරවල් මැද කෝසුවලින් ගලාගෙන යන ප්රචණ්ඩ දියපාරවල් මැදින් පුංචි නඩා කොළඹ පැත්තට බයිසිකලය පැද්දා.
දවස් පහකට පස්සේ නඩාට පුළුවන් වුණා එයාගෙ පණිවිඩෙත් අරන් කොළඹට එන්න. එහෙම බයිසිකලෙන් ආපු නඩාට උවමනා වෙලා තිබුණේ අගමැතිනිය මුණ ගැහෙන්න. ඒ සඳහා ඇයට අවස්ථාවක් උදා වුණා. නඩාව පිළිගත්ත අගමැතිනිය සාවදානව ඇයට කන් දෙමින් ඇගේ සංදේශය බාරගත්තා.
ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස මෙම සංදේශය මඟින් ඇය ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ඉල්ලීම තමයි කාන්තන්කුඩියේ ඉපදිච්ච මේ පුංචි කෙල්ල බයිසිකලයක් පැදගෙන කොළඹට අරගෙන ආවේ. " අපේ රටේ අපි වගේ පුංචි දරුවෝ වගේම තරුණ පරපුරත් මත්ද්‍රව්‍යවලින් පීඬා විඳිනවා. මට උවමනා වෙලා තිබුණේ මේ ගැන යමක් කරන්න. ඇත්තටම මේ සමාජ අර්බුදය නිසා අපේ රටට හිමි වෙන්න තියෙන ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා. බාධක ගොඩක් මැද්දේ කාන්තන්කුඩියේ ඉඳන් කොළඹට එන්න තීරණය කළේ රටේ හැමෝටම පණිවිඩයක් දෙන්න. මම හිතනවා මේ දුෂ්කර ගමන හරහා මගේ රටේ තරුණ සහ ළමා පරපුරට සුන්දර කාලයක් ගේන්න යම්කිසි අඩිතාලමක් වැටෙයි කියලා. ඒ හැරෙන්න මේ ගමනේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මගේ රටේ අනාගතය වෙනුවෙන් කළ යුතු දේ තමයි මම මේ වෙලාවේ කළේ. ඒ වෙනුවෙන් උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි."
ඒ අති දුෂ්කර ගමන ගැන මේ පුංචි සමනලිය නඩා කියන්න දන්නේ එච්චරයි. ඇත්තටම කිව්වොත් වෙනස්ම විදිහකට හිතපු නඩා මෙහෙම කොළඹට එන්නේ පරපුරක සුරක්ෂිතභාවය වෙනුවෙන් කිව්වොත් ඒක වරදක් නැහැ.
ජාතිය, දේශය, ස්ත්‍රී ලිංග භාවය වගේම වයස ගැන නොහිතන මේ වගේ පුංචි කෙල්ලන්ට දිරිය දියණිය කියලා කිව්වට ඒකේ ඇති වැරැද්දක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒක ඔබත් අනුමත කරාවි.
ඇත්තටම කිව්වොත් ඇගේ ගමන විශාල වශයෙන් ඵලදායක බව නොකියාම බැහැ.සමාජයට වින කරන ළමා හිංසනය, ස්ත්‍රී දූෂණය වගේම මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම වෙනුවෙන් යම් හෝ දායකත්වයක් මේ ගමනෙන් ලැබුණු දවසට මේ සමාජයම නඩා ගැන තවත් කතා කරයි. නඩාගේ වගේම අපි හැමෝගෙම හිත්වල තියෙන්නේ එක ප්‍රාර්ථනාවයි. ඒ එච්චර දුර ඉඳන් ආපු නඩාගේ පැතුම ළඟම දවසක ඉටු වේවා කියන එක විතරයි.