කොහොමද හැඳිමිටේ තරම

ජුනි 2, 2025

 

විසිතුන් වැනි දින සටහන

 

2016 ජූලි 05 සඳුදා

 

අද උදේ කලින් ම ඇවිත් බස් එකේ හොඳ අයින් සීට් එකක් අල්ලගත්තෙ සනීප නින්දකුත් දාන්ඩ හිතාගෙනමයි. ඒත් ඉතින් අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නෙ කට කහනවටයෑ. යාන්තම් ඇහැ පියවගෙන ආව විතරයි. බඩ හරියෙන් අමුතුම හීතලක් දැනෙන්ඩ ගත්තා. ඒ හීතල එන්ඩ එන්ඩම වැඩි වුණ හින්ද යන්තමට ඇස් ඇරලා බලද්දි මගෙ එහා පැත්තෙ සීට් එකේ දිසාපති හාමුදුරුවො වගේ ජැන්ඩියට ඇඳල කරලා ඉන්න මහත්තයා වැළමිට අස්සෙන් අත දාගෙන මගෙ බඩ අල්ලනවා. තිස්තුන් කෝටියක් යක්කු ටික මට එකපාරම ආවේස වුණත් උන්ට නටන්ඩ දෙන්නැතුව මං හෙමීට හැඳිමිට ඇදලා ගත්තා.

 

" බුදාම්මෝ .. මොකෙක්ද කෑවෝ...මා නැතෝ.. මා නැතෝ…බුදාම්මෝ ..."

එකපාරටම අර දිසාපති හාමුදුරුවො වාගෙ හිටපු මහත්තයා හිටගෙන හිටපු මිනිස්සුත් පෙරළාගෙනම සීට් එකෙන් බිමට පැන්නා.

" ඇයි ඇයි මොකද වුණේ..? "

හරි නෑනේ ළඟ හිටපු කෙනානෙ කියලා මාත් පුළුවන් තරම් හුරතලේටයි ඇහුවේ. අනේ දෙයියනේ මහත්තයගෙ අල්ලෙන් ලේ පෙරනවා. බස් එකේ කට්ටිය ඩිස්පෙන්සරියක් ගාව බලෙන්ම මහත්තයව බැස්සුව බෙහෙත් දාගන්ඩ කියලා. මගෙ සීට් එක ළඟම හිටගෙන හිටපු ගෑනු ළමය කට කොනකින් මට හිනා වුණා. මාත් ඒ විදිහටම හිනාවෙලා මුකුත්ම දන්නෑ වගේ හිටිය ඉතින්.

 

සාරියට වැඩිපුර ගහන් හිටපු ලොකු හැට්ට කට්ට මං හෑන්ඩ් බෑග් එකේ සයිඩ් පොකට් එකට දා ගත්තෙ ගෙදර ඇවිත් ඩෙටොල් දාලා උණු වතුරෙනුත් හෝදල ම ගන්නව කියලා හිතාගෙනයි. ඇයි ඉතින් කවුද දන්නෙ අර මහත්තයට තිබුණ මදන කුලප්පුවෙ හැටියට ඒඩ්ස් වුණත් තියෙන්ඩ බැරි නෑ නෙ. ඒත් ඉතින් ලේත් ගෑවිච්ච කට්ටකට ලෝබ වෙලා අවදානමක් ගන්නෙ මොකටද කියල හිතිලා බස් එකෙන් බැහැපු ගමන් මං ඒ කට්ට කුණු කානුවට වීසි කළා.

 

2016 ජූලි 14 බදාදා

 

උදේ උයන්ඩ බලද්දී අලයි, පරිප්පුයි විතරයි ගේ හරියටම තිබුණේ. ෆ්‍රිජ් එකේ වැරදිලාවත් එළවළුවක් තියෙද කියල අවුස්සල බැලුවත් කරපිංචයි, පොල් බෑයයි, දෙහි බෑයයි ඇරුණම සැරින් සැරේ ඉතුරු බිතුරු වෑංජන දාපු දීසි ටිකක් විතරයි තිබුණේ. බත් එකට දාලා අල ගෙඩියක් තම්බලා ඒකත් පරිප්පු වෑංජනේටම දාලා ළිපේ තිබ්බා. ඔක්කොම එකම රහයි කියල තිස්ස කියෝන හින්ද එයා බාත් රූම් එකේ ඉන්න අතරෙ අලයි, පරිප්පුයි වෙන් කරලා වෑංජන දෙකක් කළා. පිටිපස්සෙ කිරි හබරල පඳුරෙන් කොළ තුන හතරක් කඩලා පොල් ඇබිත්තක් දාල මැලෙව්වා. මොනවම හරි ජාති තුනක් කියන්නෙ බත් මුල්වලට ඉහටත් උඩින්. උදේ බතට ෆ්‍රිජ් එකේ තිබුණු ඉතුරු බිතුරු වෑංජන ටික රත් කරලා මේසෙට තිබ්බා. තිස්ස ඔය රහයි කිය කිය පෙරේදා, පළමුදා ඉතුරු වෑංජනත් එක්ක යසට බත් මැරුවෙ. ඇත්ත කිව්ව නම් එහෙම එයාට මෙලහකට බඩේ අමාරුවකුත් හැදිලා.