බොරුවට පොෂ් වෙලා පොලිෂ් එක යවාගන්න එපා

ජුනි 2, 2025

 

අද පිරිමි පාර්ශ්වය අභිබවමින් කාන්තා පාර්ශ්වය ලෝකය ජයගනිමින් සිටිනවා. නව සොයාගැනීම්වලින්, දැනුමින්, තනතුරුවලින් ලෝකයේ ගොඩක් කාන්තාවන් ගැන අද කතා බහ කරනවා. ඉතින් ඒ කාලේ වගේ කාන්තාවෝ ගේ අස්සට වෙලා බත් මුට්ටි තම්බ තම්බ ඉන්නේ නැහැ. ගෙයින් එළියට ඇවිල්ලා ලෝකය ජය ගන්න විවිධ ක්ෂේත්‍රවලින් තම තමන්ගේ ගමන යනවා. ඉතින් දැන් කාලේ ගැහැනු හරි සෝෂල්.

 

හැබැයි එයා ඇත්තටම සෝෂල් කෙනෙක්ද සෝෂල් කියලා බොරුවට ලෝකෙටම රඟපාන කෙනෙක්ද කියලා හොයා ගන්න ඒ තරම් අමාරු නැහැ. සාමාන්‍යයෙන් දෙන්නෙක් එක්ක කතා කරද්දි එයා හරි සෝෂල් නේද? එයා හරි පොෂ් නේද? කියලා කියනවා. හැබැයි ඉතින් බොරු පොෂ් සහ ඇත්ත පොෂ් කියන එක අපි දන්නවා. කතා බහෙනුත් සෝෂල් එක පොෂ් එක හදාගන්න පුළුවන්.

අපි හරියට භාෂාවක් ඉගෙන ගන්න ඕනේ. හැබැයි භාෂාවක් ඉගෙන ගත්තා කියලා ඒක කරේ තියාගෙන යන්න ඕනේ නැහැ.

 

ඉංග්‍රිසී වචන දෙක තුනක් ඉගෙන ගත්ත අය ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න හොඳට භාෂා දෙක තුනක් ඉගෙන ගත්ත අය එක්ක කතා කරලා අපහසුතාවට පත් වෙන තැන් අපි ඕ‍ෙන තරම් දැකලා තියෙනවා. මම හිතනවා සිංහල රටක සිංහල මිනිස්සු සිංහලෙන් කතා කරන එක හොඳයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත අය ඉංග්‍රීසි භාවිත වන තැන්වලදී හැර අනෙක් සාමාන්‍ය තැන්වල ඒ භාෂාව හසුරවන්න යන්නේ නැහැ. ඒක තමයි හරිම පොෂ් කියන්නේ.

 

මාව මුණගැහෙන්න එන සමහර අම්මලා ඒ ළමයි එක්ක සිංහල ඉංග්‍රීසි කලවමේ, “බබා වෝටර් ඩ්‍රින්ක් කරන්න. අර චෙයාර්” එකේ ඉඳගන්න. ඒ වගේ දෙපැත්තටම නැති භාෂාවෙන් කතා කරනවා. එහෙම කතා කරන එක කොච්චර කැතද කියලා හරියට ඉංග්‍රීසි දන්න කෙනෙක් දන්නවා. ඒ විදිහට කතා කරන එක අම්මටත් හානියක්. ඒ බබාටත් හානියක්. සමාජයටත් හානියක්. මවුපියන් දරුවන්ව ඉස්සරහට අරගෙන යන්න ඕනේ නිවැරැදි උච්චාරණය සහිත, නිවැරැදි හැසිරීම් රටා සහිත දරුවෙක් නිර්මාණය කරනවා කියන එක වෙනම දෙයක්. සෝෂල් වෙන්න කියලා බොරුවට ළමයින්ට වැරදි දේවල් උගන්වන එක වෙනම දෙයක්. විශ්වවිද්‍යාලයට ගම්වලින් එන අය දවසින් දෙකෙන් සියල්ලම වෙනස් කර ගන්නවා. තමන්ගේ පෞරුෂය හරියට හැඬ්ල් කරගන්න බැරි වුණාමයි ඒ විදිහට තමන්ගේ ජීවිත අවුල් කරගන්නේ.

 

කතාවකට කිව්වොත් බෙරය ගොඩක් සද්ද වුණාට ඇතුළ හිස්. තමන් හරි සෝෂල් තමන් හරි පොෂ් කියලා ඔළුවට අරගෙන ඉන්න අයත් ඒ වගේ තමයි. ඒ වගේ අයගේ කතාවලට උත්තර දෙන්න යන්න ඕනෙත් නැහැ. හැබැයි ඔබ හෝ ඔබේ දරුවා සමාජය ඉස්සරහා ලජ්ජාවට පත්වෙන්න දෙන්න එපා.

 

අපිට එක එක සිරිත් විරිත් තියෙනවා. ස්විමින් පූල් එකකට යනවනම් පුල් එකට බහින්න කලින් ෂවර් එකෙන් හොඳට පිරිසුදු වෙන්න ඕනේ, ඒ තැන්වලට අඳින්න වෙනම ඇඳුම් තියෙනවා ඒ වගේම අපි හැසිරිය යුතු චර්යා රටාවනුත් තියෙනවා, ඒ ඒ තැන්වල කරන්න ඕනේ මොනවද? කරන්න ඕනේ නැත්තේ මොනවද? කතා කරන්න ඕනේ මොනවද කතා කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා. අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් සිරිත් විරිත් අතරේ ලොකු සම්බන්ධතාවක් නැහැ. ඈත ගම්වල සිරිත් විරිත් ගැන බැලුවාම හරි සංවරයි. වතුර අල්ලන්නේ බුලත් කාලා කට හොදන්න ඕනේ නිසා. මනමාලයගේ කකුල් හෝදන්නේ දුර ඉඳන් එද්දි දූවිලි ගෑවිලා තියෙන නිසා. දැන් ඒවා කරන්නේ කරන්න ඕනෑවට මිසක් නියමාකාර හැඟීමකින් නෙවෙයි. ඒ වුණාට ඒක හරි පොෂ් කියලා හිතන පිරිසකුත් ඉන්නවා.

 

තව දෙයක් තමයි අනියම් සබඳතා. දැන් සමාජයේ සමහර අය හිතන්නේ තව පිරිමියෙක් එක්ක ඉන්න එක තව ගැහැනියක් එක්ක ඉන්න එක හරි පොෂ්, සෝෂල් කියලා. ඒවා ඇත්තටම සමාජයට හොඳ දේවල් නෙවෙයි. අනිත් අයට ආදර්ශයක් විදිහට හැසිරෙන එක තමයි හොඳ. ඒ නිසා දෙයක් කරන්න කලින් එකෙන් තමන්ගේ ගෞරවය රැකෙනවාද නැද්ද කියන එක ටිකක් හිතලා බලන්න. ඒ නිසා දුකට පත් වෙලා අඬන්න වෙන දේවල් කරන්න එපා.

 

ගොඩක් තරුණ ළමයි මම දැකලා තියනවා කොණ්ඩෙ කපලා රතු, නිල්, කහ, දම් වගේ එකක පාටවල් දානවා. ඒ ස්ටයිල් හැම තැනකටම ගැළපෙන්නේ නැහැ. හදිස්සියේ ඉන්ටර්විව් එකකට වගේ යන්න වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න ඕනේ. පොෂ් වෙන්න ඕනේ ඒ විදිහට නෙවෙයි. තමන්ගේ අභ්‍යන්තරයයි පොෂ් කරගන්න ඕනේ. අධ්‍යාපනයේදී විධිමත් අධ්‍යාපනයෙන් හරි විධිමත් නොවන අධ්‍යාපනයෙන් හරි ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි කෙනෙක්ට පොෂ් වෙන්න පුළුවන් හොඳම ක්‍රමය. එතකොට අපිට ඕ‍ෙන සමාජය හැසිරෙන්න පුළුවන්. නිවැරදිව හැඳි ගෑරුප්පු පාවිච්චි කරන්න පුළුවන්. නිවැරැදිව වැසිකිළි පාවිච්චියටත් සමාජ සම්මත සිරිත් විරිත් තියෙනවා. විනය පිටකයේ තියෙනවා හාමුදුරුවරු වැසිකිළි කැසිකිළි ගියාම වැසිකිළිය කොහොමද හරියට පාවිච්චි කරන්නේ කොහොමද, දොර වහන්නේ, වතුර භාජනය තියන්නේ කොහොම ද? කියලා හරිම ලස්සනට ලියලා තියෙනවා.

 

ඉතින් ඒ හැමතැනකදීම අපේ හැසිරීමේ ක්‍රමයක් තියෙනවා. කඩේකට ගියාම හැසිරෙන්නේ කොහොමද? සුපර් මාර්කට් එකකට ගියාම ඕ‍ෙන කරන බඩු ගන්නේ කොහොමද? මුලින් ගන්න ඕනේ ඝනකම් භාණ්ඩ, අන්තිමට තමයි තක්කාලි, බිත්තර වගේ දේවල් ගන්න ඕනේ. ඒවායේ රටාවක් පිළිවෙළක් තියෙනවා.

 

ඒ තැන්වලට යද්දි අඳින්න ඕනේ මොකක්ද අඳින්න ඕනේ නැත්තේ මොකක්ද කියලත් චර්යාවන් තියෙනවා. සමහර අය පන්සලට යද්දි යට ඇඳුම් පේන තරමට තදට ඇඳගෙන යනවා. පාටිවලට අඳින ඇඳුම් පන්සලට ගැළපෙන්නේ නැහැ. අපි පාවිච්චි කරන වචන පවා බලපානවා අපේ පෞරුෂයයට.

 

අඩෝ, බං, උඹ වගේ වචන සමාජයක් ඉස්සරහා කතා කරද්දි අනිත් අයට තේරෙනවා එයා ඉන්න තත්ත්වය. ඒ නිසා තමන්ට සුදුසු නැති අගයක් නැති තැනක රැඳෙන්නත් එපා. කතා කරන්නත් එපා. ඒවගේම අවශ්‍ය නැති දේවල් කතා කරන්නත් එපා. මුකුත්ම කතා කරන්න දෙයක් නැත්නම් කට වහන් ඉන්න එක තමයි හොඳම දේ. මොකද කතා නොකර ඉද්දි නූගත්කම සමාජය ඉස්සරහ පේන්නේ නැහැනේ.

 

දැන් සමාජයේ පිරිමින්ට වැඩිය කාන්තාවෝ බීමත්කමට පුරුදු වෙලා. ඉතින් බීලා මත් වෙන එක හරිම සෝෂල් කියලා හිතන කාන්තාවෝ ඉන්නවා. නමුත් බොන තැනත්, නොබී ඉන්න පුළුවන් කෙනා තමයි හරිම කෙනා. බොනවා කියන එක මාතෘභාවයට, ගර්භිනි භාවයට හොඳම නැහැ. එතකොට ස්පාවල, නයිට්ක්ලබ්වල ගොඩක් වෙලාවට ඉන්නේ ගම්බද ගැහැනු ළමයි. ඒ ළමයි ගමෙන් නගරයට ඇවිල්ලා සල්ලිවලට විකිණෙනවා කියලා ඒ ළමයි දන්නේ නැහැ. එයාලා හිතන්නේ සෝෂල් වෙනවා කියලා.

 

කන් විදගෙන, ඇහිබැම විදගෙන බාගෙට ඇඳගෙන ඉන්න එක සෝෂල් කියලා හිතනවානම් ඒක වැරැදියි. චාමෙට ඉන්න, හෙමිහිට ලස්සනට කතා කරන, විභාග පාස් වුණ අයට තමයි හරිම සෝෂල් කියන්නේ. අනිත් අය හිස්තැන පුරවාගන්න හදන්නේ ප්‍රදර්ශනාත්මකව. ප්‍රදර්ශන කාමය කියන්නේ ලෙඩක්. ඔයාත් ඒ විදිහේ කෙනෙක් නම් වෙන්න එපා.

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව