ගැහැනියට ද සුරතාන්තයක් තිබේ

ජුනි 2, 2025

ලිංගිකත්වයේදී ලිංගික සදාචාරය ඉතා වැදගත් අංගයකි. බොහෝ ගැහැනු සිතා සිටින්නේ ලිංගික කාර්ය පිරිමි කාර්යයක් බවය.

එක්වරක් මා සිදු කළ වැඩසටහනකදී ගැහැනුන්ගේ වැටුප් නොලබන කාර්යයන් මොනවාදැයි විමසූ විට ගැහැනු පාර්ශ්වය පැවසූ එක් කරුණක් වූයේ පිරිමියාගේ ලිංගික කටයුතුවලට ඉඩ දීම යනුවෙනි. එහි අරුත වන්නේ අපි එයට බැඳී සිටින බැවින් සහ එය කසාද ගැහැනියකගේ යුතුකමක් බැවින් එයට ඉඩ දීම මිස ගැහැනු තෘප්තිමත් වන අවස්ථාවක් නොවන බවයි. ලෝක සංඛ්‍යාලේඛන අනුව සුරතාන්තය දන්නා ගැහැනුන්ගේ ප්‍රතිශතය 25%කි.

කවදාවත් සුරතාන්තයක් අත් නොවිඳි ගැහැනුන්ගේ ප්‍රතිශතය 5%ත් 15%ත් අතර වේ. එය එසේ වන්නේ ඇයි?

බොහෝවිට ස්ත්‍රියට පළමුව පුරුෂයා සුරතාන්තයට පත් වීම සිදුවීම සහ පුරුෂයා ආත්මාර්ථකාමී ලෙස තමාගේ සතුට ලැබීමෙන් පසු පසෙකට වීමයි. ලිංගික සදාචාරයේ වැදගත් අංගයක් වන්නේ තමාගේ ලිංගික සහකාරිය ද සතුටට පත්වීමෙන් පසු එම කාර්යය අවසන් කිරීමයි. පිරිමි දැන ගත යුතු කරුණක් වන්නේ ස්ත්‍රීන්ට ද සුරතාන්තයක් ඇති බවත් මෙම කාර්යයේදී දෙදෙනාම තෘප්තිමත් වීම අනිවාර්යය අංගයක් විය යුතු බවත්ය.

ලිංගිකත්වය පුරුෂ මූලික කරුණක් වන තුරු මෙය සිදු වන්නේ නැත. ගැහැනියට අවශ්‍ය මොනවාද, ඇය කැමති කුමන චර්යාවකට ද යන්න කුමන ලිංගික සම්බන්ධයකදී වුවද වැදගත්ය. ඇය ලිංගිකව සතුටු වීම ඇගේ අයිතියකි. දෙපාර්ශ්වයක සතුට මත එය පවතින අතර අනෙකාගේ සතුට ලිංගික සදාචාරයේ අනිවාර්යය අංගයකි.

ගැහැනු වෙනත් පිරිමි සමඟ ගියා යැයි බොහෝ විට බැණ අඬගසන තැන්වල පිරිමි සිය සිත්වලින් නැඟිය යුතු පැනයක් නම් මා ඇය සතුටු කළා ද යන්නය. දීර්ඝකාලීන අතෘප්තිමත්භාවය ඇතැම් විට වෙනත් සබඳතාවලට හේතු වන්නට පුළුවන. පවුල් ප්‍රශ්න බොහොමයක සැඟවී ඇති සැබෑ හේතුව ලිංගික අතෘප්තිමත්භාවය විය හැකිය. මෙය ස්ත්‍රියට පමණක් නොව පුරුෂයාට ද පොදුය. අප සමාජයේ දකින්නේ දික්කසාදය පමණි. ඒ යටින් ඇති අතෘප්තිය කිසිදා කිසිම නඩුවක නොකියවෙනු ඇත. එහෙත් සමාජයෙන් තමා තමාගෙන්ම වසා ගන්නා කරුණක් නම් ස්ත්‍රියගේ ලිංගික අතෘප්තියයි. එයට බොහෝ විට හේතු වන්නේ තමාගේ බිරියට සුරතාන්තය නොදුන් පිරිමින්ය. පුරුෂාධිපත්‍යයෙන් ලිංගිකත්වය වසා නොගන්න. එය පිරිමි කාර්යයක් පමණක් නොවේ. ස්ත්‍රිය ද සතුටට පත් වන මානසික විඩාව සංසිඳුවන ආදරණීය නිමේෂයක් බවට පත් කර ගන්න.

ලිංගිකත්වයේ පුරුෂාධිපත්‍යය නම් තමා පමණක් සතුටට පත්ව ඉවත හැරෙන පිරිමින්ය. පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් තොරව හැසිරෙන පිරිමින්ය. තමාගේ බිරිය සතුටට පත්වන්නට බලා සිටින බව නොදන්නා පිරිමින්ය. ලිංගිකත්වය ඉගැන්විය යුත්තේ මේ නිසාය. කුමන ලිංගික සබඳතාවයක වුවත් අනෙකාගේ ගෞරවය, රහස්‍යභාවය ආරක්ෂා කිරීමට දෙදෙනාටම ඇත්තේ බරපතළ වගකීමකි. සමාජය මෙම පාඩම් ඉගෙන ගත යුතු නොවේද?

 

සංජීවනී රූපසිංහ

‍‍ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය

කැලණිය විශ්වවිලය