ඔයත් අන්තර්ජාලයෙන් ගෙවීම් කරන කෙනෙක්ද?

ඔක්තෝබර් 21, 2024

තාක්ෂණය නැතුව අද කිසිම දෙයක් කරන්න බැහැ. ඔව්... නිවෙස ඇතුළෙ ඉඳලා නිවෙසින් එළියට බැහැලා නැවත ගෙදර ඇවිත් නින්දට යනකම්ම අපි දැන් ඉන්නේ තාක්ෂණෙත් එක්ක. තාක්ෂණය ඒ තරමට අපේ ජීවිතවලට සමීප වෙලා තියෙද්දි මේ තාක්ෂණික ලෝකය මඟහැරලා ඉන්න ගියොත් වෙන්නේ සමාජය ඇතුළේ කොන් වීම පමණක් නොවෙයි පුද්ගලයකු වශයෙන් පෞද්ගලිකවත් පසුගාමී තත්ත්වයකට පත්වීමයි. හැබැයි දැන් තාක්ෂණය හරි දියුණුයි වගේම හරි පහසුයි. මොකද අතේ තියෙන ස්මාට් ෆෝන් එකෙන් තාක්ෂණික ලෝකය තුළ ගනුදෙනු කරන්න දැන් සියලු පහසුකම් ලබා තියෙනවා. නමුත් මේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරද්දි ලොකු ලොකු දේවල් ගැන විතරක් නෙවෙයි හරිම පුංචි දේ ගැන පවා ලොකුවට හිතන්න ඕනේ.

 

අද ගොඩ දෙනෙක් ගෙවීම් කටයුතු කරන්නේ අන්තර්ජාලය හරහා. හැබැයි සමහර විට මේ වන විට ඔබගේ අන්තර්ජාල ගෙවීම් හැක් වී තියෙන්න පුළුවන්.

ඔබගේ ගිණුම හරහා අසාමාන්‍ය ගිණුම් ක්‍රියාකාරකම් සිදු වී තිබේ නම් එයත් ලක්ෂණයක් විය හැකිය. සිදුව ඇති ගනුදෙනු ඔබ කළ බව මතක නැත්තම්, ඔබ මිලදී නොගත් දේ සඳහා මුදල් කැපී ඇත්නම්, ඔබේ ගිණුමේ සෙටින්ග්ස් වෙනස් වී ඇත්නම් එයින් පිළිබිඹු වෙන්නේ යමෙකු ඔබේ ගිණුම පාලනය කරන බවයි. 

 

 ගිණුම සම්බන්ධ කර ගත් අනවශ්‍ය ඊමේල් හෝ කෙටි පණිවිඩ ඔබට ලැබෙනවා නම් එය ගැටලුවක්. විශේෂයෙන්ම ඔබ නොදන්නා ඊමේල් සහ දුරකතන අංකවලින් ලැබෙන පණිවිඩ නොසලකා හරින්න. අනවශ්‍ය පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීම, LINK ක්ලික් කිරීම ආදිය කරන්න එපා.

 

 ඔබගේ ගිණුම්වල මුරපද වෙනස් කළ බවට පණිවිඩයක් ලැබුණොත් එය ඔබව හැක් කර ඇති බව හඟවන සලකුණකි. අනපේක්ෂිත අවස්ථාවක මුරපදය වෙනස් වූ බවට පණිවිඩයක් ලැබුණොත් ඉක්මනින්ම ඔබගේ මූල්‍ය ආයතනයට දැනුම් දෙන්න. නැවත ශක්තිමත් මුරපදයක් යොදන්න.

 

 ඔබ පසුගිය දිනවල අනාරක්ෂිත හෝ පොදු වයිෆයි ජාලයක් හරහා ඔබේ ගෙවීම් කටයුතු සිදු කළේ නම් ඔබ ඉන්නේ අවදානමක විය හැකියි. මෙවැනි අවස්ථාවකදී අවදානම වළක්වා ගන්න මුරපදය වෙනස් කිරීම නුවණට හුරුය. 

 නොදන්නා උපාංගවලින් ඔබේ ගෙවීම් කටයුතු සිදු කරන ගෙවීම් වෙත ප්‍රවේශ වී ඇති බව දැනුණොත් ඒවා ඉවත් කරන්න.

 

එහි අදහස වන්නේ පිටස්තරයන් ඔබේ ගිණුමට ඇතුළු වී සැරිසරන බවය. නොදන්නා උපාංග ඉවත් කර ගිණුම සුරක්ෂිත කිරීමට සහ මුරපද වෙනස් කිරීමට පියවර ගන්න. 

ගනුදෙනු කරන අතරතුර වෙනත් වෙබ් අඩවි වෙත ඉබේම යොමු වීම සැක සහිතයි. එවැනි දෙයක් සිදු වුවහොත් ගනුදෙනුව සම්පූර්ණ කරන්න යන්න එපා. බ්‍රවුසරය වසා  දමා අලුත් බ්‍රවුසරයකින් ගනුදෙනුව අරඹන්න.

 

 ගනුදෙනුවල නිරත වීමේදී අසාමාන්‍ය ප්‍රමාදයන්, අසාර්ථකවීම් හෝ දෝෂයන් අත්විඳින්න වෙනවා නම් එය ගැටලුවක් වෙන්න පුළුවන්. යම් ගනුදෙනුවක් සුමටව සිදු නොවන්නේ නම් එය සැක කළ යුතු කරුණකි. ඇතැම්විට මෙවැනි ගැටලු මතු වන්නේ ඔබ ගනුදෙනුව කිරීමට උත්සාහ කරන වෙබ් අඩවිය ව්‍යාජ එකක් නිසා වෙන්න පුළුවන්. යමක් වැරදී ඇති බව දැනෙනවා නම් ගිණුම් තොරතුරු වැනි  සංවේදී තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න. 

 

 ඔබගේ උපාංගවල ඇති ගිණුම් මෘදුකාංග යල් පැන ගොස් ඇත්නම්, ඒවා යාවත්කාලීන කර නැත්නම් ඔබ ඉන්නේ අවදානමක. අනවසරයෙන් ඇතුළුවීමේ උත්සාහයන්ගෙන් ආරක්ෂා  වීම සඳහා ඔබගේ මෘදුකාංග යාවත්කාලීන කරන්න.

 අනපේක්ෂිත අනතුරු ඇඟවීම් ලැබෙනවා නම් සැලකිලිමත් වෙන්න. මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධතියෙන් ලැබෙන ඇඟවීම් නොසලකා හරින්න එපා. 

 

HTTPS නොසලකා හැරීම

 

ගෙවීම් කරන වෙබ් අඩවියේ URL එක පරීක්ෂා නොකර සිටීම අවදානම්. එහි "https://" ඇති බව සහතික කර ගන්න. එවැනි වෙබ් අඩවි හරහා මුදල් සංසරණය කිරීමෙන් ඔබගේ ගිණුම් තොරතුරු අනාවරණය විය හැකියි. මේ නිසා සෑම විටම යම් වෙබ් අඩවියක් හරහා ගෙවීම් කිරීමට පෙර එය ආරක්ෂිත සම්බන්ධතාවයක් (https://) සහිත වෙබ් අඩවියක් බව සහතික කරවා ගන්න.

 

ඔබගේ ගිණුම් තොරතුරු ඩිජිටල් උපාංගවල save කිරීම 

 

ඉදිරි ගෙවීම් ක්‍රියාවලිය පහසු කර ගැනීමේ අරමුණින් සමහරු සිය ගිණුම් විස්තර, මුරපද ආදිය වරක් ගෙවීම් සිදු කළ පරිගණකයේ හෝ දුරකතනයේ save කර ගන්නවා. එවිට මීළඟ ගෙවීම සිදු කරන විට තොරතුරු ඇතුළත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එය පහසුවක්. හැබැයි මෙය ඔබගේ ආරක්ෂාව පහත දමනවා. ගෙවීම් කරන අවස්ථාවේදී තොරතුරු save කර ගැනීමට අවසර ඉල්ලීම සාමාන්‍ය දෙයක්. එය ප්‍රතික්ෂේප කරන්න. ගෙවීම් කිරීමෙන් පසුව අදාළ ගිණුමෙන් ඉවත් වන්න.

 

දුර්වල මුරපද

 

ගෙවීම් සිදු කිරීම සඳහා සකසා ගන්නා තෙවන පාර්ශ්වීය ගිණුම්වලට  දුර්වල හෝ පහසුවෙන් අනුමාන කළ හැකි මුරපද භාවිතා කිරීම අනතුරුදායකයි. පහසුවෙන් සිතා ගත නොහැකි ශක්තිමත්, අද්විතීය මුරපද එම ගිණුම්වලට යොදන්න. 

 

ගිණුම් ප්‍රකාශ නොසලකා හැරීම

 

සමහරු තමන්ගේ බැංකු ගිණුම හරහා සිදු වූ ගනුදෙනු මොනවාද කියලවත් දන්නේ නැහැ. එදිනෙදා සිදු වූ ගනුදෙනු පරීක්ෂා නොකර සිටීමෙන් වංචාවක් සිදු වෙනවාද නැද්ද යන්න හඳුනා ගන්න බැරි වෙනවා. මේ නිසා  ඔබේ ගිණුම් ප්‍රකාශයන් නිතිපතා අධීක්ෂණය කරන්න. යම් සැක කටයුතු ක්‍රියාකාරකමක් දුටුවහොත් වහාම ඔබගේ මූල්‍ය ආයතනයට පැමිණිලි කරන්න. 

 

Phishing Links මත ක්ලික් කිරීම

 

ඔබගේ මූල්‍ය ආයතනයේ නම පවසමින් එන ඊමේල් හෝ පණිවිඩවල Phishing Links තියෙන්න පුළුවන්. මේවා ක්ලික් කිරීම සුදුසු නැහැ. ඔබ වෙත ලැබුණු පණිවිඩවල සත්‍යතාව දෙවරක් පරීක්ෂා කරන්න. ගිණුම් වෙත ප්‍රවේශ වීමට නිල වෙබ් අඩවි භාවිත කරන්න. වෙබ් අඩවියේ නම දෙවරක් පරීක්ෂා කරන්න. ඇතැම්විට ඔබ වෙත එන පණිවිඩයේ ඇති ලින්ක් එක සත්‍ය වෙබ් අඩවියට බොහෝ සෙයින් සමාන සුළු වෙනස්කමක් ඇති එකක් විය හැකියි. ව්‍යාජ වෙබ් අඩවියක් හරහා බැංකු කටයුතු සිදු කරන්නට යාමෙන් ඔබේ මුදල් ඔබට අහිමි වේ.