ගෙදර ටැප් වතුරේ ක්ලෝරීන් පිරිසුදු කරගන්න

ඔක්තෝබර් 21, 2024

 

මේ ක්‍රියාවලිය සඳහා අනුගමනය කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට වඩාත් ගැළපෙන එක තෝරාගන්න බලන්න.

 

1. තදින් උණුකර නිවා ගැනීම හෝ දෙවරක් පමණ උණු කිරීම (උණු කරද්දී භාජනය ඇරලා තියන්න. අඩුම තරමේ වතුර නැටුවට පස්සෙවත් ඇරලා නිවෙනකම් තියන්න.

 

2. සක්‍රිය කාබන් ෆිල්ටර් හරහා පෙරා ගැනීම. (වෙ‍ෙළඳපොළේ තියෙන හැම ෆිල්ටර් එකක්ම සක්‍රිය කාබන් ෆිල්ටර් නෙවෙයි)

 

3. ක්ලෝරීන් උදාසීනකාරක භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් විටමින් c පෙත්තක් දාන්න පුළුවන් (වැඩිය දන්න එපා, වතුර ලීටර් 25කට මිලිග්‍රෑම් 75 ක පෙත්තක්

හොඳටම ඇති). ඊටත් වැඩිය හොඳයි, හොඳට පුච්චපු පිරිසුදු පොල්කටු අඟුරු කෑලි කීපයක් දාලා පැය දෙක තුනක් තියෙන එක. අලුත් වතුර එකකට අලුතෙන් පොල්කටු අඟුරු යොදනවා නම් ගොඩාක් හොඳයි.

 

4. පැය 24ක් විතර වාතය එක්ක ගැටෙන්න හොඳට විවෘත කරලා තිබ්බමත් ක්ලෝරීන් විශාල ප්‍රමාණයක් වාෂ්ප වෙලා යනවා. වාතය එක්ක ගැටෙන මතුපිට වැඩි කරන්න කට පළල භාජනයක දමන්න පුළුවන්. එතකොට වැඩේ ටිකක් ඉක්මන්.

 

5. පාරජම්බුල කිරණ යැවීමෙනුත් ක්ලෝරීන් අණු බිඳ වැටෙනවා. අධි තීව්‍රතාවකින් යුත් පාරජම්බුල කිරණ කදම්බයක් හරහා ජලය යවන්න ඕනේ. එහෙම යන්ත්‍ර වෙෙළඳපොෙළ් තියෙනවා.

6. අර්ධ පාරගම්‍ය පටල සහිත ෆිල්ටර් මඟින් පෙරීමෙනුත් සෑහෙන ප්‍රමාණයක් අයින් කරගන්න පුළුවන්. මේ ක්‍රමයත් සක්‍රිය කාබන් ක්‍රමයත් දේකම එකතු කරපු ෆිල්ටරුත් වෙ‍ෙළඳපොළේ තියෙනවා.

 

7. ජලයට වාතය මිශ්‍ර කිරීමෙන්. ඒ කියන්නේ සාමාන්‍ය වායුගෝලීය වාතය බටයකින් යවන්න ඕනේ වතුරේ බුබුළු නැඟිලා උඩට එන විදිහට. මේක සැලකිය යුතු වෙලාවක් කරන්න ඕනේ ජලයේ ප්‍රමාණය අනුව.

 

8. දෙහි යුෂ එක් කිරීම. ඉහත සඳහන් ඒවා තරම්ම වේගවත් නැති වුණත් භාවිත කරන්න පුළුවන් ආරක්‍ෂිත ක්‍රමයක්. වතුර ලීටරෙකට දෙහි යුෂ තේ හැන්දක් (5 ml) දැම්මම හොඳටම ඇති. සාමාන්‍යයෙන් බින්දු කීපයක් දැම්මත් වැඩ කරනවා.