මේ කෙල්ලගෙ මූණේ බය ගෑවිලාවත් නෑ

ඔක්තෝබර් 21, 2024

 

දැන් ඔය නිර්භීතයි කියන එක සෑහෙන්න මතභේදාත්මක දෙයක්නේ. ඒ කියන්නේ, නිර්භීතයි කියන්නේ මොකක්ද කියන එක ගැන පවා විවිධ මතිමතාන්තර තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත්, වේගෙන් එන වාහනයක්, කෝච්චියක් වගේ දෙයක් ඉස්සරහට ගිහින් හිටගෙන ඉඳලා, අන්තිම තත්පරේ පැත්තකට පනිනවා වගේ, එහෙම නැත්නම් සෑහෙන්න ප්‍රපාතයක් තියෙන තැනක, වැටෙන්න ඔන්න මෙන්න තියෙන ගැට්ටෙ හිටගෙන ඉන්න එක වගේ අතිඅවදානම්කාරි ක්‍රියාවන් නිර්භීතකමද? සමහරු කියන්නේ එව්වා මෝඩකම් මිසක් නිර්භීතකම් නෙවෙයි කියලා.

 

එතකොට, තමන්ට කොහොමටවත් දිනන්න බැහැ කියලා හිතෙන ගැටුමකට මැදිවෙන්නේ නැතුව පැනලා දුවන එක, එහෙම නැත්නම් අනික් පැත්තේ ප්‍රතිවාදීන් වැඩි නිසා තමන්ට ගුටි කන්න වෙන අවස්ථාවක කතාබහ කරලා ප්‍රශ්නය විසඳාගන්න උත්සාහ කරන එක බියගුළුකමද නැත්නම් ඥානවන්තකමද වගේ ප්‍රශ්නවලට ඕනෙ නම් දවසක් පුරා වාදවිවාද කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන පස්සෙ දවසක කතා කරනවා.

 

නිර්භීතකම කියන්නේ, අවදානමක්, බියවිය යුතු අවස්ථාවක්, දුෂ්කර අවස්ථාවක් සඳහා මුහුණ දෙන්න පුළුවන් ධෛර්යය, මානසික සහ ආධ්‍යාත්මික ශක්තියයි. ගොඩක් වෙලාවට නිර්භීතකම කියන එක අවශ්‍ය වෙන්නේ හරි දේ වෙනුවෙන්, එහෙම නැත්නම් තවත් කෙනෙකු වෙනුවෙන්, සමහර වෙලාවට තමන්ම වෙනුවෙන්. දැන් එතකොට, කොහොමද නිර්භීත වෙන්නේ? ආන්න ඒ නිර්භීත මනුස්සයෙක් වෙන්නේ කොහොමද, නිර්භීත හිතක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් තමයි මේ ටිප්ස් කීපය වෙන් වෙන්නේ.

 

බයයි කියලා තේරුම් ගන්න

 

ඇත්තටම අපි බය වෙන දේවල් ඕනෑ තරම් තියෙනවා. කෙනෙක් පත්තෑයෙක්ට බය වෙන එකේ ඉඳලා, රිය අනතුරකින් මැරුණු කෙනෙක් දැකීම දක්වා බය විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ අසාර්ථකවීම දක්වා දේවලට බය වෙන්න පුළුවන්. දැන් මේ මොන දේකට බය වුණත්, අපි ඒ දේ වලට බයයි කියලා අවබෝධ කරගන්න එක, පිළිගන්න එක තමයි පළමුවැනි පියවර. සාමාන්‍යයෙන් ඕනෙම මනුස්සයෙක්ගෙන් ඇහුවොත් බයද කියලා, ඒ කෙනා කියන්නේ තමන් කිසි දේකට බය නැහැයි කියලා තමයි ගොඩක් දුරට. ආන්න ඒක තමයි ප්‍රශ්නේ. තමන් බය නැහැ කියලා හිත රවට්ටගෙන ඉන්න ගියොත්, ඇත්තටම ඒ මොහොතට මුහුණ දෙනකොට කරකියා ගන්න දෙයක් නැති වෙනවා. අන්න ඒ නිසා, තමන් බයයි කියන එකත්, තමන් බය වෙන දේවල් මොනවද කියන එකත් තේරුම් ගන්න එක තමයි, නිර්භීත වෙන්න පළමුවැනි පියවර වෙන්නේ.

 

ඍණාත්මක සිතුවිලිවලට චැලේන්ජ් කරන්න

 

සාමාන්‍යයෙන් ගත්තහම, නිර්භීත වෙන එකේ ප්‍රතිලෝමය වෙන්නේ බයවෙන එකනේ. බයවෙන එක කියන්නේ ඇත්තටම සෘණාත්මක සිතුවිල්ලක්නේ. ඇත්තටම අපිට ඔය ඍණාත්මක සිතුවිලි එක්ක කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක්කෝ අපිට ඍණාත්මක සිතුවිලිවලට යටත් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඍණාත්මක සිතුවිලිවලට චැලේන්ජ් කරන්න පුළුවන්. මේක සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට, අපි දේවල් කරන්න, දේකට මුහුණ දෙන්න බය වෙනකොට. උදාහරණයක් විදිහට අපි කියමු, වැදගත් ඉන්ටර්වීව් එකකට මුහුණ දෙන්න තියෙනවා කියලා. අපිට ඒකට මුහුණ දෙන්න බයයි. අන්න එතකොට, තමන්ගේම ඒ බියට හිතෙන් අභියෝග කරන්න. බය වෙන්නේ ඇයි කියලා තමන්ගෙන්ම අහන්න. බය වෙන්න ඇත්තටම දෙයක් තියෙනවද කියලත් තමන්ගෙන්ම අහන්න. ඒ විදිහට තමන්ගේ බියට තමන් විසින්ම අභියෝග කරන එක, ඒ වගේ අවස්ථාවලදී නිර්භීත වෙන්න පුළුවන් ක්‍රමයක්.

 

බය නැති කරමු

 

දැන් අපි කියමු, අපිට ලොකු බයක් තියෙනවා කියලා යම් කිසි අනතුරකින් අපිට ශාරීරික හානි සිද්ධ වේවි කියලා. එතකොට අපි ඒ බය හිතලා නැති කරගත්තා කියලා, ප්‍රායෝගිකව ඒ තරම් වැඩක් වෙන්නෙ නෑ. අපිට ඒ අවස්ථාවේදී ආරක්ෂා වෙන්න කරන්න ඕනේ මොනවද කියලා මෙලෝ අදහසක් නැත්නම්. තව උදාහරණයක් ගමු. අපිට පිරිසක් ඉදිරියේ කතා කරන්න මාරම බයක් තියෙනවා. එහෙම තියෙන අතරේදී ඔන්න අපිට පිරිසක් ඉදිරියේ කතා කරන්න අවස්ථාවක් එනවා. එතකොට ඒ බියට චැලේන්ජ් කරලා හිත හයිය කරගත්තා කියන්නේ ඒ සටනෙන් 50% ක් හරි කියන එක. හැබැයි ඉතුරු 50% සාර්ථක කරගන්න නම්, අපි පබ්ලික් ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න ඕ‍ෙන. තනියම ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. තමන්ට තියෙන කතාවට සූදානම් වෙන්න පුළුවන්.

 

අවස්ථාවට මුහුණ දෙන්න

 

සමහර වෙලාවට අපිට දේකට මුහුණ දෙන්න නිර්භීත වෙන්න කලින්, තමන්ගේ බය හඳුනාගන්න එක, ඒ බයට තමන්ගේ හිතෙන්ම චැලේන්ජ් කරන එක වගේ දේවල් කරන්න පුළුවන් තමයි. හැබැයි ඇත්තටම ඒ බයට මුහුණ දෙන්න තමන් නිර්භීතයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එතැනට ගිහිල්ලම තමයි. වෙන විදිහකට කියනවා නම්, පීනන්න ඉගෙන ගන්න පූල් එකට බහින්නම වෙනවා. ගොඩ ඉඳන් ඉගෙන ගන්න බැහැනේ. ආන්න ඒ නිසා, තමන් බය වෙන දේ තේරුම් අරගන්නවා වගේම, ඒකට සූදානම් වෙලා, ඊට පස්සේ තවපාරක් හිතන්නේ නැතුව ඒකට කෙළින්ම මුහුණ දෙන්න යෑමෙන් අපි ඒ ගැන තියෙන බය නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක අපිට නිර්භීත වෙන්න පුළුවන් හොඳ ක්‍රමයක්.

 

අසාර්ථකත්වය වෙන්න පුළුවන් දෙයක් කියලා පිළිගන්න

 

අපි ඇත්තටම නිර්භීත නැහැයි, එහෙම නැත්නම් බයයි කියලා කියන්නේ යම් දේකින් අපි අසාර්ථක වෙන්න පුළුවන් කියන තැනට නේද? ඒ කියන්නේ, අපි විභාගෙට ලියන්න බය වෙන්නේ එතැනදී අපි අසාර්ථක වෙයි කියලා. වලියකට යන්න බය වෙන්නේ, එතැනදී අසාර්ථක වෙලා ගුටිකන්න වෙයි කියලා හිතෙන හින්දා. ජොබ් එක මාරු කරලා වෙන ජොබ් එකකට යන අවදානම ගන්න බය වෙන්නේ, ඒ ජොබ් එකෙන් අපි අසාර්ථක වෙයි කියන බය නිසා. හරියටම කියනවා නම්, අපි නිර්භීත නොවෙන්නේ ගොඩක්ම වෙලාවට අපි අසාර්ථක වෙන්න තියෙන බය හින්දා. හැබැයි අපිට පුළුවන් නම් මේ අසාර්ථකත්වය කියන දේත් අපේ ජීවිතේ කොටසක් කියන එක අවබෝධ කරගන්න, ඒ කියන්නේ අපිට සාර්ථක වෙන්න නම්, එක මොහොතකදී එක පාරක් හරි අසාර්ථක වෙන්න සිද්ධ වෙනවාය කියන එක පිළිගන්න, වැදගත් වෙන්නේ අසාර්ථකත්වයට බය වෙන එක නෙවෙයි ඒත් නැවත නැවතත් උත්සාහ කරන එක කියලා පිළිගන්න, අන්න එතකොට අපිට මේ අසාර්ථක වීමට තියෙන බය නැති කරගන්න පුළුවන්.

සැලසුම් කරන්න, නැවත නැවතත් උත්සාහය අත් නොහරින්න.

 

නිර්භීත වෙන්න අදාළම වෙන ගුණාංග දෙකක් තමයි මනා සැලසුම්කරණය සහ වීර්යවන්ත බව. ඒක ඕනෙම දෙයක් සම්බන්ධයෙන් අපි නිර්භීත වෙන්න තියෙන අවශ්‍යතාවයට අදාළයි. ඒ කියන්නේ, ඕනම දේකට මුහුණ දෙන්න කලින්, ඒ දේට මුහුණ දෙන්නේ කොහොමද කියන එක හරි හැටි සැලසුම් කිරීම. මොකද, අපි කිසිම සැලසුමක් නැතුව දෙයක් කරනවා කියන්නෙම, ඒක අසාර්ථක වෙන්න ඉතාම වැඩි ඉඩකඩක් තියෙනවා කියන එක තමයි.

 

හරි නිර්භීතකම ගැන ඉගෙන ගන්න

 

ඇත්තටම මේක මුලින්ම කතා කරන්න ඕනෙ දෙයක් වුණත්, අපි මුලින් බයත් එක්ක ගනුදෙනු කරලා තමයි මෙතැනට එන්න වෙන්නේ. ඒ තමයි, ඇත්තටම නිර්භීත වෙන්න ඕනෙ අවස්ථාවන් මොනවද කියන එක හරි හැටි වටහා ගන්න එක. උදාහරණයක් විදිහට ගත්තොත්, තමන්ට දිනන්න බැරි සටනකට පනින එක නිර්භීතකම නෙවෙයි. ඒක අනවශ්‍ය, නොසැලකිලිවන්තකමක්. විශේෂයෙන්ම අපි කියමු, අපි පහසුවෙන්ම හානි පැමිණවෙන්න පුළුවන් කුඩා දරුවෙක් වගේ කෙනෙක් එක්ක ඉන්න තැනකදී රණ්ඩුවක් ආරම්භ වෙනවා කියලා. එතකොට, අපි ඒ රණ්ඩුවට පැටලෙන එකෙන්, අපිට අපේ දරුවා ගැන අවධානය ගිලිහෙන්නත්, රණ්ඩුව නිසාම දරුවාට යම් කිසි හිරිහැරයක් පැමිණෙන්නත් ඉඩක් තියෙනවා. අන්න එතකොට, සැබෑ නිර්භීතකම වෙන්නේ ඥානවන්තව හිතලා එතැනින් ඉවත් වෙන එක.