චෙස් ක්‍රීඩාවෙන් ඉන්ටර්නැෂනල් මාස්ටර් වුණු අවුරුදු12ක් වයස පුංචි කෙල්ල

ඔක්තෝබර් 21, 2024

 

චෙස් ක්‍රීඩාව අපූර්වතම ක්‍රීඩාවකි. මේ ක්‍රීඩාව මිනිස් සිරුරට ඇති කරන්නේ වෙනස්ම බලපෑමකි. චෙස් මනසට කදිම ව්‍යායාමයක් ලබාදෙන ක්‍රීඩාවක් පමණක්ම නොවෙයි. මෙයින් මනස ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වී තීරණ ගැනීම සඳහා උද්දීපනයක් ද සපයයි. මේ නිසාම පාසල් දරුවන් අතර චෙස් ක්‍රීඩාව පිළිබඳ දැඩි උනන්දුවක් මෙන්ම තරගකාරීත්වයක් ද ඇති වී තිබේ.

 

මනස දියුණු කර ගැනීමට ප්‍රබල ලෙස බලපෑමක් කළ හැකි චෙස් ක්‍රීඩාවට ඇති උනන්දුව දවසින් දවස වැඩි වෙද්දී අපේ රටේ ද චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීම සුබවාදී සලකුණකි. එසේම ඔවුන් ජාත්‍යන්තර තරග සඳහා ද සහභාගි වී ලබා ගන්නා ජයග්‍රහණ වූ මවුබිමට අභිමානයකි. මෙලෙසින් ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර අපේ රටේ පුංචිම පුංචි දියණියක් චෙස් ක්‍රීඩාවෙන් ඉහළටම පැමිණ ජාත්‍යන්තර විනිසුරුවරියක් වීම පිළිබඳ ලෝකයේම අවධානය යොමු වී තිබේ.

 

කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන 12 හැවිදිරි දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහි වූ ළාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර්නැෂනල් මාස්ටර් බවට පත් වීම සුවිශේෂි සිදුවීමකි. මෙම ජාත්‍යන්තර මාස්්ටර් තනතුර ඇයට නිල වශයෙන් පිරිනමා තිබෙන්නේ ලෝක චෙස් සම්මේලනය (IFIDE) විසිනි.

 

මෙම තනතුර පිරිනැමීමෙන් පසුව ඒ පිළිබඳ ඇයගෙන් අප විමසීමක් කළේ අපගේ උණුසුම් සුබ පැතුම් ද පිරිනමමිණි. මේ වන විට ඇය පිලිිපීනයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ චෙස් තරගාවලියට සහභාගි වී සිටින අතර එම තරග මාලාව අතර ලැබුණු සුළු විවේක කාලයේදී ඇය සමඟ පුංචි පිළිසඳරකට එක්වීමට අපට අවස්ථාව උදාවිය.

 

අපට මුලින්ම කියන්නකෝ ඔබට මේ ලැබුණු තනතුර මොකක්ද කියලා.

 

මට මේ තනතුර හිමිවුණේ ජාත්‍යන්තර පැවැත්වූ චෙස් තරගවලින් ලැබුණු ලකුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මේ තෝරා ගැනීම සිදු කරන්නේ ලෝක චෙස් සම්මේලනය විසිනි. චෙස් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 පසුකිරීම සහ අන්තර් ජාතික චෙස් තරගවලදී ඉලක්කගත ලකුණුවල සාරාංශයක් සලකා බැලීමෙන් අනතුරුව තමයි මේ තනතුර පිරිනමන්නේ. මට මේ තනතුර පිරිනැමීමත් සමඟ දැනට ලංකාවටම සිටින ඉන්ටර්නැෂනල් මාස්ටර්වරියන් තිදෙනා අතරට මගේ නමත් ඇතුළත් වෙනවා. නමුත් මම තමයි ලංකාවේ සිටින ළාබාලතම ක්‍රීඩිකාව. අපේ රටේ මුල්ම ඉන්ටර්නැෂනල් මාස්ටර් බවට පත් වුණේ රොමේෂ් වීරවර්ධන මහතා. ඉන්පසුව හර්ෂණ තිලකරත්න, සුසාල් ලොකුගේ සහ රනිඳු දිල්ෂාන් ලියනගේ පත් වුණා. දැනට ලංකාවේ ළාබාලතම ඉන්ටර්නැෂනල් මාස්ටර් වුණේ දහඅට හැවිරිදි සුසාල් ලොකුගේ. ඔහු මාස්ටර් බවට පත් වුණේ අවුරුදු 14 වයසේදී.

 

ඔබ මේ ඉන්ටර්නැෂනල් කිරුළ හිමිකර ගැනීමට අමතරව චෙස් ක්‍රීඩාවෙන් ලබාගත් ඉහළම ජයග්‍රහණ මොනවාද?

මම මුල්ම ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කළේ පසුගිය වසරේදී. ඒ වසරේදී මම ජයග්‍රහණ දෙකක් ලැබුවා. ඒ ජයග්‍රහණ දෙක අතුරින් විශේෂම තරගය තමයි ලෝක යොවුන් ශුරතා තරගාවලිය. ඒ තරගය සඳහා රටවල් 84ක් සහභාගි වුණා. මම අවුරුදු 12 පහළ තරගයෙන් ශූරතාවය දිනා ගත්තා. ඉන්පසුව පැවැති තරගය තමයි ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය. ඒ තරගය පැවැතියේ ඩුබායිවල. මම ඒ තරගයට සහභාගි වුණේ අවුරුදු 20න් පහළ තරගකාරියක් ලෙසයි. ඒ තරගයට සහභාගි වුණේ මට වඩා වයසින් වැඩි තරගකාරියන්. නමුත් මම ඒ තරගයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තා.

 

මේ තරග දෙකට අමතරව මම 2021 සහ 2022 දී ආසියානු යොවුන් චෙස් තරගයටත් සහභාගි වුණා. මම ඒ තරගයට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයටත් සහභාගි වී ජයග්‍රහණ රැසක්ම හිමිකර ගත්තා. ඒ වගේම මේ වසරේදී මට තවත් විශේෂිත සම්මානයක් හිමි වුණා. ඒ තමයි The Girls player of the year කියන සම්මානය. මේ සම්මානය පිරිනැමුවේ ආසියානු චෙස් පදනම විසින්.

 

ඔබ ඉතාම ළාබාල වයසින් තමයි මේ ක්‍රීඩාවේ දස්කම් දක්වන්නේ. එසේ දස්කම් දක්වන්න පුළුවන් වුණේ කොහොමද?

 

මම අවුරුදු හතරේදී තමයි මුලින්ම චෙස් ක්‍රීඩාවට යොමු වුණේ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මගේ අම්මා. අැය දක්ෂ චෙස් ක්‍රීඩිකාවක්. ඇය තමයි මාව මේ ක්‍රීඩාවට කුඩා කාලේදීම උනන්දු කළේ. මම මුලින්ම පාසල් ගියේ රත්නපුරයේ පර්ගියුෂන් උසස් බාලිකා විද්‍යාලයට. මගේ ක්‍රීඩා දස්කම් නිසා විචර්ලි ජාත්‍යන්තර පාසලෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. මම දැන් ඉගෙනුම ලබන්නේ 5 වසරේ. මට මේ දස්කම් දියුණු කර ගන්න අම්මා වගේම අක්කත් විශාල සහයෝගයක් දෙනවා. මගේ තාත්තා උපේන්ද්‍ර ගුණවර්ධන. අම්මා චන්දිමා රත්නායක. මගේ අම්මගෙයි, තාත්තාගෙයි දිරිගැන්වීම මත මගේ චෙස් ක්‍රීඩා ගුරුතුමා වන අකිල කවිපත්තු සර් තමයි මාව මේ තරම් දුරක් රැගෙන ආවේ. මම අකිල සර්ගේ ඇකඩමියේ ශිෂ්‍යාවක් ලෙස පුහුණුවීම් කරන අතර තමයි පාසල නියෝජනය කරමින් තරග සඳහා සහභාගී වෙන්්නේ.

 

ඔබ දැන් ඉන්ටර්නැෂනල් මාස්ටර් දක්වා ඉතා කෙටි කාලයකින් පැමිණියා. ඉදිරියේදී ඔබගේ ඉලක්කය මොකක්ද?

චෙස් කියන්නේ මනස දියුණු කරන ක්‍රීඩාවක් වගේම ජාත්‍යන්තර ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවෙන් කොයිතරම් ඉහළට ගියත් මම අධ්‍යාපනය කටයුතුවලට එය බාධාවක් කර ගන්නේ නැහැ. ඒකට මගේ පාසලෙන්, පවුලේ සෑම දෙනාගේම සහයෝගය ලැබෙනවා. මම හිතන්නේ මම වගේම අපේ රටේ මේ ක්‍රීඩාව කරන සහෝදරියන්ටත් ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා අවස්ථා රැසක්ම තිබෙනවා. ඒකට අපේ උනන්දුව හා කැපවීම තමයි වැදගත්. මම දැන් සහභාගි වී සිටින තරගයේත් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.