වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අවුරුද්දක සතුට සමරන පස් නිවුන් දරුවන්
අම්මෙක්ට දරුවෙක් කියන්නේ මහමෙරක්. දරුවන් වෙනුවෙන් හීන දකින මවුවරු දින ගණින්නේ ඒ අසිරිමත් දිනය උදාවන තෙක් ය. දරුවන් ගැන කතා කරද්දී කාටත් මතක් වෙන්නේ පසුගියදා පළමු උපන් දිනය සැමරූ පස් නිවුන් දරුවන් ය. මේ පුංචි පැටවු ඉපදී අවුරුද්දක් ගෙවී ගොසින් ය. කාලය ගත වෙන්නේ ඒ තරම් ඉක්මනටය.
ශ්‍රී ලංකාවේ පළමු සය නිවුන් දරු උපත සිදු වූයේ 2021 වසරේ ඔක්තෝබර් 21 වැනිදා ය. කොළඹ නයින්වෙල්ස් පෞද්ගලික රෝහලේදී එම සය නිවුන් දරුවන්ට උපත දුන් මව දිලිනි වාසනා සහ පියා ප්‍රභාත් උදයංග මරවනාගොඩ ය.
ඒ පුතුන් තිදෙනකුගෙන් සහ දියණියන් තිදෙනකුගෙන් යුතු නිවුන් දරුවන්ට ය. ඔවුන්ගෙන් ඇරඹි මෙරට සය නිවුන් දරු ඉතිහාසයේ තවත් අලුත් පිටුවක් පෙරළුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් 15 වැනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී. ඒ, රජයේ රෝහලක් තුළ සිදුවූ පළමු සය නිවුන් දරු උපත සහ මෙරට සිදුවූ දෙවැනි සය නිවුන් දරු උපත සනිටුහන් කරමිනි.
ඒ පින්බර මව වේයන්ගොඩ, පත්තලගෙදර පදිංචි මධුකි ලක්ෂිකා. පියා ඉසුරු පෙරේරා. ඔවුන්ගේ නිවුන් දරුවන්ට ඔක්තෝබර් 15 වැනිදාට වසරක් සපිරේ. රුවින් එක සමාන දරුවන්ගේ සුරතලය විඳිමින් මධුකිත් ඉසුරුත් පිය සෙනෙහස වචනවලට ගැළපුවේ හැඟීම්බරවය.
“අපි විවාහ වෙලා අවුරුදු 13ක්. විවාහ වෙලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ අපි දරුවෙක් බලාපොරොත්තු වුණා. ඒ වෙනුවෙන් නොකරපු වෙදකමක් නෑ. නොගිය පන්සලක්, කෝවිලක් නෑ. මධූ මුල් කාලේ රැකියාවක් කළත් පස්සේ දරුවෙක් වෙනුවෙන් කරන දේවලට බාධා වෙන නිසා රැකියාවෙනුත් ඉවත් වුණා. මම වැඩ කළේ පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙක් විදිහට. ඒ කාලේ මගෙ මාසික වැටුප රුපියල් පනස්දාහක් විතර. ගෙවල් කුලී ගෙවන්න, කන්න බොන්න අමතරව හම්බ කරන හැම සතේම අපි වියදම් කළේ දරුවෙක් හදාගන්න බෙහෙත් හේත්වලටයි. ඒ විදිහට දරුවෙක් වෙනුවෙන් අවුරුදු 11ක්ම දුක් විඳපු අපි දෙන්නට දෙවියො එකපාරටම වටිනා තෑග්ගක් දුන්නා. ඒක අපිට ලොකු සතුටක්…”
කොහොමද ඒ සිහිනය සැබෑ කරගත්තේ?
දරුවෙක් ගැන බලාපොරොත්තු අතෑරලා හිටිය කාලෙකයි අපට නළ දරු ගැබ් ගැන්වීම (IVF) ක්‍රමය ගැන දැනගන්න ලැබුණේ. කුලී ගෙදරක ඉන්න නිසා අපිටම කියලා ගේ පොඩ්ඩක් හදාගන්න මම ලක්ෂ පහමාරක් විතර ඉතුරු කරගෙන තිබුණා. ඒත් දරුවෙක් ගැන අපි දෙන්නා අවුරුදු දහයක් තිස්සේ හීන දැකපු නිසා ඒ ක්‍රමයටවත් දරුවෙක් හදාගන්න තීරණය කළා. වාසනාවකට වගේ පළමුවැනි සැරේ තැන්පත් කරපු කලල දෙකම සාර්ථක වෙලා තිබුණා. අපි දෙන්නා ඒ ගැන ගොඩක් සතුටු වුණා. ඒත් මධූගේ පළමු ස්කෑන් එක කළාට පස්සේ ඩොක්ටර් කිව්වා බබාලා පස්දෙනෙක් ඉන්නවා, සමහර වෙලාවට තව දරුවෙකුත් ඉන්න පුළුවන් කියලා. වෝටර් බෑග් 4න් එකක සර්ව සම නිවුන්නු දෙන්නෙක් හිටියා. අනිත් තුන්දෙනා ඉතුරු වෝටර් බෑග් තුනේ හිටියෙ. ඒ ආරංචිය දැනගත්තාම මම බය වුණා. දරුවො පස්දෙනෙක් හදාගන්න පුළුවන්ද කියන දේට වඩා මට මතක් වුණේ ඒකෙන් මධූගේ ජීවිතේට අනතුරක් වෙයිද කියලයි.
දරුවන් සයදෙනෙක් කුස දරා දරුවන් බිහි කළ ඒ අාදරණීය අම්මා මධුකි විඳි අපහසුතා ගැන කතා මෙතරම් යැයි කිව නොහැකිය. මධුකි අද ඉන්නේ ඒ දුෂ්කර ගමනේ සතුටුදායක ප්‍රතිඵලයේ සතුට බුක්තිවිඳිමිනි.
” ඩොක්ටර් මුල් කාලෙම කිව්වා, ඔයාට එන්නෙ එක දරුවෙකුට එන අපහසුතා නෙවෙයි පස්දෙනෙකුට එන අපහසුතා කියලා. කුසට මාස පහක් විතර වෙද්දි මාස 9ක වගේ ලොකු කුසක් තිබුණා. ඇවිදගන්නවත් බැරි තරමට කකුල් ඉදිමුණා. නිදාගන්න බැරිව ගියා. කන හැමදේම වමනෙ ගියා. ඒ සේරම අපහසුතා විඳගෙන මම දරුවො වෙනුවෙන් භාරහාර වුණා. හැමදාම බුදු පහන තියලා බුදුන් වැන්දා. පිරිත් පොත කුස උඩ තියාගෙනයි නිදාගත්තෙ. දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් නීරෝගි දරු උපතක් සිදු වුණා. ඉසුරුගේ ආදරේ, රැකවරණය මට උපරිමයෙන් ලැබුණා වගේම මගේ අම්මත් ඉසුරුගෙ අම්මත් මාව ගොඩක් ආදරෙන් පරිස්සමෙන් බලා ගත්තා.”
මධුකි නියමිත ගැබ් කාලය සපුරන්නට පෙර හරියටම සති 26ක් වෙද්දී සිසේරියන් සැත්කමකින් ප්‍රසූතිය සිදු වූ අතර, දරුවන් පස්දෙනකු බලාපොරොත්තුවෙන් සිටි ඔවුන්ට දරුවන් හයදෙනකුගේම මවුපියන් වීමට වාසනාව උදා විය. එහෙත් දෙදිනකට පසු එක් බිලිඳකු ජීවිතය හැර යද්දී, බර ග්‍රෑම් 475ත් ග්‍රෑම් 800ත් අතර පසුවූ සෙසු බිලිඳුන් පස්දෙනාගේ ජීවිත රැකදීමේ අභියෝගය කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්යක්ෂවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරිණි. රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ඉන්කියුබිලේටර් තුළ රඳවා නිරන්තර අවධානයෙන් රැකගත් බිලිඳුන් රෝහලෙන් බැහැරව නිවෙසට ගියේ මාස තුනහමාරකට පසුවය.
“අපේ බබාලා සුවෙන් මේ ලෝකෙට බිහි වුණේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥ රත්නසිරි මහතා ඇතුළු සිසේරියන් සැත්කමට සහභාගි වුණු රෝහලේ කාර්ය මණ්ඩලය නිසයි. ඒ වගේම දරුවන් ඉපදුණු මොහොතේ සිට ළමා රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහතා අපේ දරුවන්ව ජීවත් කරවන්න වෙච්ච මහන්සිය අපිට කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම කාසල් රෝහලේ අධ්යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය අපේ දරුවො රැකගත්තේ ඔවුන්ගෙ දරුවො වගේ අසීමිත කැපවීමකින්. ඔවුන් අපිට සැලකුවේ ඔවුන්ගේ සහෝදරයන්ට වගේ. කාසල් රෝහල කියන්නේ මම හෙදකම උපරිමයෙන්ම දැකපු රෝහලක්. ඒ වෙනුවෙන් අපි හැමදාම ඔවුන් හැමදෙනාටම පින් දෙනවා. “ඉසුරු කීවේ කෘතවේදීවය.
ඔවුන් තවමත් මාස දෙකකට වරක් තවමත් දරුවන් කොළඹ කාසල් කාන්තා රෝහලේ සායන සඳහා ගෙන යන අතර, රිජ්වේ ආර්යා ළමා රෝහල ද දරුවන් පිළිබඳ පසුවිපරම අත්හැර නැත. වසරක් සපිරුණ ද බැලූ බැල්මට තවමත් මේ ළදරුවන්ගේ ක්‍රියාකාරකම් ඒ වයසේ සෙසු දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට වඩා අඩු මට්ටමක පවතී. ඊට හේතුව මෙම දරුවන් බිහි වූයේ සති 26න් නිසාය.
නෙතට නිදි නැතිව බිලිඳුන් රැකබලා ගනිමින් පසුකර ආ දුෂ්කර දවස් ගැන මධුකි සිහි කළේ මවුවත් හදවතේ සතුට ද අතුරාගෙනය.
ඔවේන් ලිත්මිණ, විවේන් චිත්මිණ, තිවේන් යුත්මිණ, ඩිවේන් විශ්මිණ සහ කිවේන් යුත්මිණ යන මේ ළදරුවන් පස්දෙනාම බැලූ බැල්මට රුවින් සමානය.
“හැමෝම කියන්නේ බබාලා වෙන් කරලා අඳුන ගන්න අමාරුයි කියලා. ඒත් අපිට එයාලා පස්දෙනා වෙන වෙනම අඳුන ගන්න පුළුවන්. පස්වැනියයි හයවැනියයි එක වගේ. පළමුවැනියයි තුන්වැනියයි පෙනුමින් ගොඩක් සමානයි. හතරවැනි බබා තමයි නැති වුණේ. තුන්වැනි බබයි, හතරවැනි බබයි සර්ව සම නිවුන්නු නිසාද කොහෙද අනිත් කෙනා නැති නිසා තුන්වැනියගේ ක්‍රියාකාරීත්වය ටිකක් අඩුයි. ඒත් අපි කොහොමහරි පස් දෙනාම නිරෝගීව හදාගන්න තමයි හැම උත්සාහයක්ම ගන්නෙ”ඉසුරු කීවේ සුබවාදී අපේක්ෂා ඇතිවය.
සය නිවුන් දරුවන්ගේ උපතින් පසු විවිධ පුද්ගලයන් සහ ආයතන ඔවුන්ට උදවු කිරීමට ඉදිරිපත් වුවද ඒ බොහෝ උපකාර හුදෙක් වචනවලට පමණක් සීමා වූ ඒවා බවද ඉසුරු පැවැසීය.
සෑම මවක පියකුම වෙහෙසෙන්නේ දරුවන්ට සුවබර අනාගතයක් තනා දෙන්නට ය. දරුවන් පස් දෙනකුගේ වගකීම් දරා ගනිමින් ලෝකයක් ගොඩ නඟන්න කැප වෙන මේ මාපිය දෙපළට මේ මොහොතේ උපකාරයක් කළ හැකි නම් එය මේ ගමනට සවියක් වනු ඇත.