ෂේප් න්‍යායට තිතට තිත තියන්න

ඔක්තෝබර් 28, 2024

 

ජීවිතේ සමහර තැන් තියෙනවා අපි කතා කරන්නෙ නැතුව සාවධාන ඇහුම්කන් දිය යුතු. ඒ වගේ වෙලාවට ඇහුම්කන් දීම නිසාම අපිට දේවල් ඉගෙන ගන්න, අවබෝධ කරගන්න සහ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි අවාසනාවකට වගේ ගොඩක් මිනිස්සු ඒ වගේ මොහොතකදී කරන්නේ හයියෙන් කෑ ගහන එක. අන්න ඒක තමයි ගැටලුව.

ඒ වගේම තවත් අවස්ථා තියෙනවා අපි බය නැතුව කතා කරන්න අවශ්‍ය. හයියෙන් කෑ ගහන්න අවශ්‍ය තැන් නෙවෙයි, හැබැයි ඒත් නොබියව කතා කරන්න ඕ‍ෙන තැන්. ඒත් අවාසනාවකට වගේ ගොඩක් මිනිස්සු ඒ වගේ තැන්වලදී නිහඬයි. දැක්කේ නෑ වගේ ඉන්නවා. මෙහෙම කතා කරන්න ඕ‍ෙන තැන් කියලා අපි කියන්නේ වැරැද්දක් වෙන තැන් බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. සමහර වෙලාවට වැරැද්ද වෙන්නේ තමන්ට වුණත්, ඒත් මිනිස්සු කටක් අරින්නෙ නෑ. බයට වෙන්න පුළුවන්. ලැජ්ජාවට වෙන්න පුළුවන්. ඔය හැමදේටමත් වඩා මොකටද අනේ අහක යන ප්‍රශ්න අපේ ඇඟේ දාගන්නේ කියන ආකල්පය නිසා වෙන්න පුළුවන්. හැබැයි ඔය ෂේප් ඉද්දි නිසා සිද්ධ වෙන්නේ, වැරැද්දක් කරන්න තව කෙනෙක් ධෛර්යමත් වෙන එක. වැරැද්ද සාමාන්‍යකරණය වෙන එක. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ මිනිස්සු බය නැතුව කතා කළ යුතු, එදිනෙදා සිද්ධ වෙන සාමාන්‍ය අවස්ථා කීපයක් පෙන්නලා දෙන්න.

  පෝලිම් පනිනකොට

 

මේක හැමවෙලේම සිද්ධ වෙන දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි නොවෙන දේකුත් නෙවෙයි. ෆුඩ්සිටියේ කැෂියර් එක, ෆාමසි පෝලිමේ විතරක් නෙවෙයි බස් පෝලිමේ, ඒටීඑම් පෝලිමේ, බිල් පෝලිමේ ඉඳලා වෙන ඕ‍ෙනම පෝලිමක මේක සිද්ධ වෙනවා. ඔන්න අපි පෝලිමේ ඉන්නකොට ෆෝන් එක එහෙම අතට අරගෙන මොකක් හරි බල බලා ඉන්නකොට එක් ‍ෙකනෙක් ෂේප් එකේ අපිට ඉස්සරහින් හිටගෙන දන්නෙ නෑ වගේ ඉන්නවා. ආන්න එතකොට පිටට තට්ටු කරලා අහන්න ඕ‍ෙන “මහත්තයා, නෝනා වැඩේ වැරදියි නේද?” කියලා. 

ඔය පෝලිමවල තව සෙල්ලම් තියෙනවා. පෝලිමේ ඉන්න කෙනෙක් තමන්ගේ දන්න අඳුනන කෙනෙක්, යාළුවෙක් ආවහම එයාව ෂේප් එකේ පෝලිමේ තමන් ඉන්න තැනට ගන්නවා. ඒකත් වැරදියිනේ. අලුතින් එන කවුරු වුණත් යන්න ඕ‍ෙන පෝලිමේ කෙළවරට. ආන්න එතකොටත් අපි හඬ අවදි කරන්න ඕ‍ෙන.  

 

ඉතුරු සල්ලි නොදෙනකොට

 

ලංකාවේ බස් එකක් ගත්තහම බස් එකේ සර්වබලධාරියා වෙන්නේ කොන්දොස්තර උන්නැහේනේ. එයාගේ වචනේ තමයි සාමාන්‍යයෙන් අන්තිම වචනේ. ඒ නිසාම ඉතින් ඔය මගී ප්‍රජාවත් සාමාන්‍යයෙන් කොන්දොස්තර උන්නැහේට බයයි. අන්න ඒ නිසා කොන්දොස්තර මහත්තයා ඉතුරු සල්ලි රුපියල දෙක තුන පහ දෙන්නෙ නැතුව අමතක වුණා වගේ ඉන්නකොට ගොඩක් අය ඒක ඉල්ලන්න යන්නෙත් නෑ. එහෙම ඉල්ලන්න යන්නෙ නැත්තේ “අනේ ඔය රුපියල කමක් නෑ, පිනටනේ දුන්නේ” කියන අදහසින් නෙවෙයිනේ. ඉල්ලන්න යන්නෙ නැත්තේ “රුපියල් පහක්නේ. ඔය පහට කොන්දගෙන් බැණුම් අහගන්න ඕනැයි” කියන නියාලු ආකල්පය නිසා නෙවෙයිද? ආන්න ඒ නිසා බහින්න කලින් හරි කොන්දොස්තර මහත්තයට ඉතුරු සල්ලි මතක් කරන්න ඕ‍ෙන. අන්න ඒක තමයි හරි විදිය!

 

පවුලේ කෙනෙක් වැරැද්දක් කරනකොට වැරැද්ද නම් කවුරු කළත් වැරැද්ද. එච්චරයි!

ඉතින් තමන්ගේ පවුලේ කෙනෙක් වැරැද්දක් කළත් අපිට පුළුවන් වෙන්න ඕ‍ෙන අම්මා තාත්තා කළත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න. එතැනදී කතා කරන්න. තමන් සාධාරණ නම් හරි වැරැද්ද කතා කරන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමන් අතින් වැරැද්දක් වුණත් ඒ ගැන කතා කරන්න.

 

කාගෙහරි වැරැද්දකින් අවාසියක් වුණොත්

 

 

සාමාන්‍යයෙන් ගොඩක් අවස්ථාවාදී මිනිස්සු පොදුවේ කතා කරනකොට දූෂණයට, වංචාවට අරකට මේකට බැන්නට, එහෙම කෙරෙන වැරැද්දකින් තමන්ටත් වාසියක් සෙට් වෙනවා නම් ෂේප් එකේ ඒක දැක්කෙ නෑ වගේ, තමන්ගේ වාසිය අරගෙන පැත්තකට වෙලා ඉන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න දෙන්නේ පාස් එකට. දැන් පාස් නැති උන්දැලත් ඔතන ටැක් ගැහි ගැහී ඉන්නවා. ඒ අතරේ හොරෙන් පනින අයට, ඉස්පිරිතාලේ දොස්තරලගේ, නර්ස් මිසීලගෙ පවර්ස් පිට ඇතුළට යන අයට බණිනවා. ඒ අතරේ ඔන්න කෙනෙක් පොඩි අල්ලසක් දීලා ඇතුළට යන්න මාර්ගයක් සෙට් කර ගන්නවා. ඕ‍ෙන නම් පොඩි ගාණක් දීලා අපිටත් එන්න කියනවා. එතකොට අර ඉස්පිරිතාල පෝලිමේ තියෙන දූෂණ වංචා ගැන කතා කර කර හිටපු මහත්තුරු නෝනලා ඒ මනුස්සයටත් බැණලා ඒ වැඩේ වැරදියි කියනවද? නෑ. තමනුත් ෂේප් එකේ ඇතුළට යනවා.

අන්න එතනදී තමන්ට වෙන වාසියක් හෝ අවාසියක් නොතකා හැරලා, වැරැද්ද වැරැද්දමයි කියලා බය නැතුව කතා කරන්න පුළුවන් අය ඉන්නවා නේද, අන්න උන් තමයි නියම මිනිස්සු!

 

කෙනෙක්ට හිරිහැරයක් වෙනකොට

 

දැන් ඔය බස් එකක යද්දි එහෙම කාන්තා පාර්ශ්වයට නොයෙකුත් හිරිහැර අතවර සිද්ධ වෙනවනේ. සාමාන්‍යයෙන් එහෙම දෙයක් දැක්කත් ගොඩක් දෙනෙක් කරන්නේ නොදැක්කා වගේ ඉන්න එක. හැබැයි ඔන්න අතවරයට, හිරිහැරයට ලක් වෙන කාන්තාව කෙළින්ම සද්දෙන් ඇමතුවොත් එහෙම, ආන්න එතකොට බස් එකේ ඉන්න අනික් ඔක්කොම ගෑනු පිරිමි වීරයෝ වෙනවා. අර අතවර හිරිහැර කරපු මිනිහට බැණලා, ගහලා බස් එකෙනුත් බස්සනවා. හරි, ඇයි ඒක කලින් කරන්න බැරි වුණේ? මොකද, හිරිහැර අතවරවලට ලක් වෙන හැමෝටම කතා කරන්න ධෛර්යයක් නෑ. ඉතින් ඇයි එහෙම කෙනෙක් වෙනුවෙන් කිසිම කෙනෙක්ට මුලින්ම ඉදිරිපත් වෙලා ඒක නවත්තන්න බැරි වුණේ?

එක්කෝ අර කියපු නියාලු, බියගුළුකම. එක්කෝ අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ, අනුන්ගේ අහක යන ප්‍රශ්න අපිට ඕ‍ෙන නෑ කියන ආකල්පය. එක්කෝ සමහර විට එහෙම අපි කතා කළහම අර අතවරයට ලක් වුණා වගේ පේන කෙනා කතා කරලා “ඔයාට මොකටද අනුන්ගේ එව්වා, ඒක එයයි මායි බලාගන්නම්’ වගේ කතාවක් කියයි කියන බයත් වෙන්න පුළුවන්. හැබැයි වැරැද්දක් දැක්ක තැන කතා කරන්න ඔය එකක්වත් අදාළ වෙන්න ඕ‍ෙන නෑ. වැරදියි නම් වැරදියි. කාටහරි හිංසාවක්, හිරිහැරයක්, අතවරයක් කරනවා දැක්ක තැන අපි කතා කරන්න ඕ‍ෙන.

 

කෙනෙක්ව කොන් කරනකොට

 

ඇත්තටම අපි ජීවිතේ කොහේදී දැක්කත් කෙනෙක්ව තවත් කෙනෙක් කොන් කරනවා, අපි වින්දිතයාගේ පැත්තේ හිටගත යුතුයි. දැන් ඔය කොන් කිරිල්ල, ඒ කියන්නේ දුබලයෙක්ව අල්ලගෙන තළා පෙළා හිරිහැර කරන එක සෝෂල් මීඩියාවල එහෙම අපි හරියට දකිනවනේ. එතකොට අපි මොකද කරන්නේ? එක්කෝ දැක්කෙ නෑ වගේ ඉන්නවා. එහෙම නැතිනම් ඒක දිහා බලාගෙන ඉඳලා පස්සේ ගිහින් තමන්ගේ වෝල් එකේ පත හෑලි ලියනවා. ඔය එකක්වත් හරි දේවල් නෙවෙයි. අන්න ඒ නිසා කළ යුතු දේ වෙන්නේ ඒ වගේ දෙයක් දැක්ක තැන කෙළින් කතා කරන එක.

දැන් අපි මෙහෙම කතා කළා කියලා ලංකාවේ ප්‍රශ්න විසඳෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. වැරැද්දක් දැක්ක තැන කතා කළා කියලා එක රැයින් හැමදේම හරි යන එකක් නෑ. හැබැයි අඩු තරමින් එක මනුස්සයෙක් හරි ආයෙමත් වැරැද්දක් කරන්න කලින් දෙපාරක් හිතයි. අපිටත් නියම මිනිස්සු විදිහට කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න හැඟීමක් ඉතුරු වෙයි. ඒ මදිද?