දුව බඳින්න එන කෙනා මුලින්ම බලන්නෙ අම්මා දිහා

නොවැම්බර් 4, 2024

 

මිනිස්සු ජීවත් කරවන්නේ මතක සහ කතාබහයි. සමීපතමයෝ එකතු වුණාම කතා කරන්න, පම්පෝරි ගහන්න, ලොකුකම් කියවන්න, හයියෙන් හිනාවෙන්න, ආදරෙන් වැලඳගන්න හැමෝම හරි ආසයි. හැබැයි පිට කතාවෙන හැමදේම මනසට ගනිද්දි ඒවායේ හරි වැරැද්ද භාර ගනිද්දි පරෙස්සම් වෙන්න ඕනේ.

ඔයාලාත් දැකලා ඇති ලොකුකම් කියවන අය. ගොඩක් අය එයාලාගෙ ළමයි ගැනම විතරයි කියන්නේ. තව කොටසක් ඉන්නවා දුකම විතරක් කියන අය. දුක වුණත් ලොකුකම වුණත් අපි දිනාගත්ත දේවල් ගැන ඕනෑවට වඩා කියන්න ගියාම අනෙක් මිනිස්සුන්ට වෙහෙසකර වෙන්න පුළුවන්. ඒකෙන් අනිත් මිනිස්සුන්ගෙ හිත රිදෙන්නත් පුළුවන්. මම හිතන්නේ පවුලක් වුණාම පවුල ඇතුළෙදි මේ දෙකම සමබරව කරන්න ඕනේ. විශේෂයෙන් කාන්තාවක් වුණාම පවුල ඇතුළේ දේවල් පවුල ඇතුළෙම තියාගන්න එක හොඳයි කියලා මම හිතනවා. ඒකට හේතුව අපි සමහර වෙලාවට අනිත් මිනිස්සුන්ට ආයුධ දෙනවා. ඒ අය කවදාහරි දවසක ඒ ආයුධවලින්ම අපිට පහර දෙනවා.

පවුලක් කියන්නේ වෙනම පුංචි ඒකකයක්. සමාජයේ තියෙන කුඩාම ඒකකය කියලා කියන්නෙත් මේ පවුලට. ඒ පවුල ඇතුළේ තමන්ගේ චිත්තවේග පිටකරන්න පුළුවන්. කණ්ඩායමක් විදිහට හැසිරෙනකොට ඒ කණ්ඩායම කොහොමද හැසිරෙන්නේ කියලා පිටට කියන්න පුළුවන්. මම මේ කියන්නේ රහස් රකින්න කියලා නෙවෙයි.

සමහර මම දන්න අය ඉන්නවා 'ඔයාගේ දුව යන්නේ මධ්‍ය මහා විද්‍යාලයට නේද? අපේ දුව නම් කොළඹ ඉස්කෝලෙකට යන්නේ. අැයි අනේ දුවව ඔහොම පොඩි ඉස්කෝලෙක තියන් ඉන්නේ.' වගේ කතා කියනවා. ඒකෙන් අනිත් කෙනාගේ හිත රිදෙනවා විතරක් නෙවෙයි මේ ප්‍රශ්නය ගෙදරටත් ගෙනිහින් මහත්තයත් එක්කත් රණ්ඩු වෙනවා. එයා කරන්නේ එයාට පුළුවන් විදිහට.. එයා ගමේ ඉන්න විදිහට, ළඟා කරගත්ත දේවල් විදිහට සහ ආර්ථික මට්ටමේ විදිහටනේ එයා ජීවත් වෙන්නෙ. ඉතින් මගේ අය උසස් අනෙක් දරුවෝ පහත් කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා.

මම හොඳටම දන්න කාන්තාවක් හැම ගැහැනු ළමයෙකුටම බැණ බැණ එයා හරිම කාමුකයි, එයා හරිම වනචරයි කිය කිය හිටියා. එයාට එකම දුවයි හිටියේ. ඒ දුව ඉතාම මෑත කාලයේදී වැරදි සම්බන්ධයක පැටලිලා විවාහයක් නැතුව දරුවෙක් පිළිසිඳ ගත්තා.

ඉතින් අපි දන්නේ නැහැ. අපේ ළමයි මොනවා කරයිද කියලා. අපේ ළමයි හොඳම ළමයි අනිත් ළමයි නරකම ළමයි කියලා මුලින් මූලික විනිශ්චයකට එන්න එපා. අපේ ළමයි හොඳට ඉගෙන ගනියි. මගේ ළමයා නම් ඩොක්ටර් කෙනෙක් වෙයි. එයා ශිෂ්‍යත්වේ පාස් වුණා. A 9ක් ගත්තා කියලා වටේටම කියන්නේ නැතුව නිශ්ශබ්දව බලාගෙන ඉන්න. මම දන්න අය ඉන්නවා A 9 ගත්ත අය පවා මානසික ව්‍යාකූල තත්ත්වයන්ට පත්වෙලා කඩන් වැටිලා ඉන්න දරුවන් මගේ ළඟට ඇවිත් තියෙනවා.

අපි ජීවත් වෙන්නේ ඉතාම ටික කාලයයි. ඉතින් මේ ජීවත් වෙන ටික කාලයේදී අපේ සතුට ගැන වගේම අනිත් අයගේ සතුට ගැනත් හිතන්න ඕනේ. ඔයා ඔහොමද නැන්දම්මට සලකන්නේ. අම්මෝ මමනම් ඔහොම නෙවෙයි සලකන්නේ. මම නැන්දම්මව සත පහකට ගණන් ගන්නේ නැහැනේ. කන්න බොන්න ටික දෙනවා එච්චරයි. මෙහෙම කියනවා.

මේ ළඟදී තරුණ සැමියෙක් එයාගෙ තරුණ බිරියත් අරගෙන මාව මුණගැහෙන්න ආවා. මම ඇහුවම ප්‍රශ්නෙ මොකක්ද කියලා ඔහු කියනවා මගේ නෝනා කිසිම හේතුවක් නැතුව මට දික්කසාද වෙන්න ඕනේ කියනවා. ඉතින් ඇත්තටම බැලුවම ලොකු මානසික අවුලකුත් නැහැ. මම ඇහුවා ළඟදී ආශ්‍රයට වැටුණු කවුරු හරි ඉන්නවද කියලා. මෙයාලා ඉන්නේ මහල් සංකීර්ණයක. මේ ෆ්ලැට් එකට ඇවිත් තියෙනවා ටෙලි නාට්‍ය කිහිපයක රඟපාපු නිළියක්. අර කාන්තාව මේ නිළියව ආශ්‍රය කරන්න පටන් අරගෙන තියෙනවා. 'මොන වදයක්ද මිනිහෙක් ඉන්න එක. උයන්න ඕනේ. රෙදි හෝදන්න ඕනේ. ළමයි හදන්න ඕනේ. මොකක්ද ඒ ජීවිතේ. තනියෙන් හිටිය නම් කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන්නේ.' මේ නිළිය නිතර නිතර කියන මේ කතා ටික අර තරුණ බිරිය ඔළුවට ගන්නවා. එයා දන්නේ නැහැ මේ නිළිය ජීවිතය තනිවම ගෙවමින් කාත් කවුරුත් නැතුව කොතරම් මානසිකව පීඩා විඳිනවද කියලා. අපි වැටුණ වළේ අනිත් අයවත් වට්ටන්න බලාගෙන ඉන්න පිරිස ඕ‍ෙන තරම්.

ඉතින් පවුලක් ඇතුළේ කටයුතු කරනකොට මවුපියන්ට සහෝදර සහෝදරියන්ට වුණත් කියන්න ඕනේ මොනවද කියන එක තීරණය කරන්න ඕනේ. සමහර මහත්තුරු මට කියනවා මම වැඩට ගියාම බිරිය එයාගේ අක්කලා, නංගිලාට කෝල් කරනවා. මගේ වැරදි, අම්මගේ වැරදි ඒ අයට කියනවා. දැන් මට මේ දේවල් ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට එයාලා දෙන උපදෙස් ගත්තොත් එයාලට විද්‍යාත්මක දැනුමක් නැහැනේ. එයාලා උත්තර දෙන්නේ තම තමන් ලබාගත් අත්දැකීම් ඇසුරෙන්.

අනිත් එක ගොඩක් අය පිටට කියන්නේ තමන්ගේ පවුලේ අඩුපාඩුකම්. මගේ මහත්තයා මෙහෙමයි.. එයාගේ හැසිරීම් වෙනස්.. එයාට හොර ගෑනියෙක් ඉන්නවද දන්නේ නැහැ. එතකොට අනිත් අය කියනවා. ඔව්... ඔව් මාත් ඔයාගෙ මහත්තයව මේ ළඟදි දැක්කා. දැන් හරි ස්ටයිල්. මොකක් හරි තියෙනවා ඇති කියලා ඇවිළෙන ගින්නට පිදුරු දානවා.

මම දන්න බිරියක් වැඩකාරයෙක් ඕනෙම කියලා මහත්තයා එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඒ බිරිය රැකියාවක් කරන්නේ නැහැ. ගෙදර ඉන්නේ. සැමියගේ අම්මත් ගෙදර වැඩවලට උදව් කරනවා. කරන්න ලොකු වැඩකුත් නැත්තම් වැඩකාරයෙක් මොකටද කියලා ඇහුවම වැඩකාරයෙක් ඕනෙමයි කියනවා. හේතුව හොයලා බැලුවම මේ කාන්තාවගේ හොඳම යාළුවගේ ගෙදර වැඩට කෙනෙක් ඉන්නවා. ඉතින් කොයිවෙලාවෙත් අපේ සර්වන්ට් අරක හැදුවා මේක හැදුවා.. අපේ සර්වන්ට් අරහෙමයි මෙහෙමයි කියලා කියන නිසයි මෙයාටත් සර්වන්ට් කෙනෙක් ඕ‍ෙන වෙලා තියෙන්නේ.

සමහර වෙලාවට අපේ මානසික මට්ටම ව්‍යාකූලයි. ඉතින් අපිට පිටින් අහන්න ලැබෙන දේවල් හිස් මුදුනින් පිළිගන්න තත්ත්වයකට පත් වෙනවා. මම දන්න සමහර අම්මලා ඉන්නවා එයාලා ඔෆිස් එකට ඇවිල්ලා ළමයින්ගේ ලොකුකම් කියවනවා. “අද අපේ දුව ගියානේ ශිෂ්‍ය නායක කඳවුරකට.. අපේ දුව තමයි වැඩිම ලකුණු.. කෙල්ල අද කෑමක් හැදුවා. කෙල්ලත් එක්ක බේරෙන්න බැහැ. ඉතින් මම ඒ ඇඳුම අරන් දුන්නා. කියලා මුළු ඔෆිස් එකටම කියනවා. ඇත්තටම ඒක අනවශ්‍ය දෙයක්. එහෙම කියවන ගොඩක් අම්මලා එයාලගේ ළමා වියේදි එහෙම දේවල් අහිමි වෙච්ච අය. එයාලට ඒ දේවල් අහිමි වෙච්ච නිසා ඒගොල්ලෝ දරුවන්ගේ හරහා තමන්ට ළඟා වෙන්න බැරි වෙච්ච ලෝකවලට ළඟා වෙන්න උත්සාහ කරනවා. ඒ සිහිනවලට යන්න, හීන සාර්ථක කරගන්න ළමයව යොදාගන්නවා. මේ අම්මලට අඳුරු ළමා වියක් තියෙන්න ඇති. ගොඩක් දුප්පත් වෙලා ඉන්න ඇති. මේ සියලු සැප සම්පත් විඳින්න ලැබෙන්න ඇත්තේ විවාහයෙන් පස්සේ වෙන්න ඇති. එයාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් එයා ඒක ප්‍රදර්ශනය කරන්න ගන්නවා. එයා දන්නෙ නැහැ එයා හැමෝගෙම හිනාවට ලක් වෙනවා කියලා. ඒ වගේම මේ කියවිල්ලෙන් අනිත් අම්මලටත් රිදෙනවනේ. තමන්ගේ දරුවන්ට ඒ දේවල් දෙන්න විදිහක් නැහැනේ කියලා හැඟීමක් ඇති වෙනවනේ.

පිටින් එන කිසිම දෙයක් එකපාරම පවුල ඇතුළට ගන්න එපා. කවුරු හරි ඔයාට කියන්න පුළුවන් මම දැක්කා තරුණියක් එක්ක ඔයාගේ මහත්තයා කොෆී එකක් බිබී හිටියා කියලා. ඉතින් ඒකට රණ්ඩු වෙලා කලබල වෙලා ගහමරාගෙන තමයි ඉවර වෙන්නේ. ගම්වල කතාවක් තියනවනේ මව දෙස බලා දුව සමඟ විවාහ වෙන්න කියලා. ඒක හරි ලස්සන කියමනක්. අම්මා ඕපදූප හොයන්නේ නැත්නම් ළමයිනුත් ඕපදූප හොයන්නේ නැහැ. ඒ ළමයට කවුරු හරි ඕපදූපයක් කියද්දි නැහැ මට ඒවා අවශ්‍ය නැහැ කියලා කියන තරමට ඒ ළමයි දියුණු වෙන්නේ ගුණගරුක අම්මලා නිසා. පිට කතාබස් නිසා අනේ මට නැහැනේ කියලා මානසිකව වැටෙනවා. මනස හැමවෙලාවෙම කැමති සතුටින් ඉන්න. ඒ නිසා අනිත් අයගේ කතාබස් නිසා තමන්ගේ සතුට නැති කර ගන්න එපා.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව