වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
සරෝජාට හෙටක්
ටිකෙන් ටික කුර ගගා එන අඳුර වළාවන් අතරින් මෝදුවෙනු ඇය බලා හිටියා. සීතල වායු රැල්ලක් කටුමැටි බිත්තිය දිගේ හැපිලා ඇවිත් ඇඟේ දැවටී, යන හැටි මොහොතක් නිසොල්මනේ සිටි ඇයට දැනුණා. සරෝජා ඉකිබිඳින හඬ මොහොතකින් නැතුව ගියා. අම්මා වෙව්ලන හඬ සරෝජාට දැනිණි. අම්මාගේ දෑත් තරයේ අල්ලා ගත් ඕ ග්‍රහණය තව තවත් වැඩි කළාය.
''අම්මා.''.......
ඈ සෙමෙන් එහෙත් දුක්බර හඬින් කොඳුළාය.
''අම්මා අඬන්න එපා.''
''පැත්තකට වෙයන් දුවේ....... අපි ඔක්කොම .......විනාශ කරපු ඒ අසමජ්ජාතියාගේ හතරහන්දි කඩලා ගේ ඇතුළට ගන්නවා මං... මං ගැන උඔලා දන්නේ නැහැ. ''
අම්මා වෙව්ලන හඬින් කී දෑ ගැන ඕ තැති ගත්තාය.
ඇය මැටි කළයෙන් ගත් සීතල වතුර ජෝගුවක් මවගේ අත්ල මත තැබුවාය.
මව එක හුස්මට එය බීගෙන යන අයුරු ඇය ශෝකයෙන් යුතුව බලා සිටියා. සරෝජාට තාත්තා සිහි විය. තාත්තා කළේ කුලී වැඩය. එකල වියටේ මුදලාලිගේ කුඹුරු කෑල්ල වැඩ කළේ තාත්තාය. තාත්තා ඕවිටේ සිට වැර වෑයමින් වතුර කළගෙඩි ගෙනැවිත් මුදලාලිගේ ඉඩම භෝගයන්ගෙන් සරු කරන ලදී. මුදලාලි බීමට ඇබ්බැහි විය.
හාමිනේ දුක කිව්වේ තාත්තාටය. මුදලාලි හාමිනේගේ උදව් පදව් සරෝජලාට එකල මහ මෙරක් විය. මුදලාලිගේ බීමත්කම ඔහුගේ අවසානයට හේතු වුණේ මොන කරුමයකදැයි සරෝජාට එදවස තේරුණේ නැත.
කාෂ්ටක පොළොව දූවිලි පිසදා නැවුම් පොළොව මත මල් කිනිති පූදා එන අයුරු ඈ දුටුවා. දොළේ සිලි සිලිය සුළඟක් සේ ඇවිත් සිත පිරී යනු දැනුණි. ඇයට නංගිලා, මල්ලිලා සමඟ දිය බුං ගැසීමේ සියුම් ආශාවක් ඇති විය. එහෙත් එය හිත පුරා තෙරපෙන සිතුවිලි දාමයක් පමණක් නොවේදැයි ඇයට සිතුණි.
ඈ උදලු කෙටිය ගෙන මුළු මිදුලම කෙටුවාය. නංගී පුංචිකමට මිදුලේ තණකොළ උදුරා දැමුවාය. මල්ලීත් ඊට පසු ඇයට එක්විය. ඔව්හු මඤ්ඤොක්කා, බටු ,මිරිස්, මෑ වැනි භෝග ජාති මුළු මිදුලේම සිටුවේය.
ඔවුන්ට මහන්සියක් දැනුණේ නැත. අම්මා තේ කහට ටිකක් රැගෙන එනු ඈ දුටුවාය. පොඩි එකාගේ මුහුණ සිප ගත් ඕ බොහෝ වේලාවක් නැවත හැඬුම්බර මුහුණෙන් යුතුව බලා සිටියාය. සරෝජාගේ සිත රිදුණේ නැත. අහස ලස්සන වී ඇත. ගැබ්බර වලාවක් අහසේ මෝදුවෙනු දුටු ඈ සිත ගල් කර ගත්තාය.
''මෝඩ ගෑනි. උඔ බලන් ඉන්නවා. අන්න අරහේ මුදලාලිගේ පවුල එක්ක ජස්ටින් පවුල් කනවා කියලා මට කීපදෙනෙක් කිව්වා."
සිරිදාස අම්මාට කියනු ඇයට ඇසිණි. ඇගේ ලෝකය බිමට වැටිණි.
විලාප දුන් ඈ ඉන්පසු දෑතින්ම පොළොවට ගසන්නට විය.
''මගේ කරුමේ.... මගේ කරුමේ......''
ඇයට නැඟී සිටිමට දහිරියක් තිබුණේ නැත. ඇය කඳුළු සලමින් ගෙයි මුල්ලට වූ සැටි සරෝජාට සිහි විය.
නංගී දෑතින්ම අල්වා ගත් ඈ ඇදගෙන මෙන් දොළට ගියාය.
''වරෙන් යන්න මල්ලියේ, අපි දොළට යනවා. බලාපන් උඔගේ ඇඟේ හැටි. කිළිටි ගොමස්කඩ අඳිනවා. නංගී සිනාසුනාය. සරෝජා රෙදි සෝදන්නට දියට බැස්සාය. නංගී ගලින් ගලට පැන දොළේ වතුරට කකුල් ඔබාගෙන සෙල්ලම් කරනු ඈ දුටුවාය. නිල්කැටේට තිබුණ වතුර දෝතක් ගත් සරෝජා නංගිගේ මුහුණට ඉස්සා. ඕ ඇඹරී ගියාය. අක්කාගේ සොම්නසින් පිරුණු මුහුණ දෙස බලා නංගී ද සිනාසුණාය. ඈ ඔවුන් සමඟ නාගෙන දෙවට දිගේ ඇවිත් ගෙට ගොඩ වූවා.
''දරුවෝ මෙහෙම ලොකු වෙනකම් ඉඳලා ඇයි වෙන ගෑනියෙක් ළඟට ගියේ..''
අම්මා තාත්තා සමඟ කලහ කරනු ඇයට ඇසිණි.
''ඔයා මට විතරක් නෙමෙයි. දරුවන්ටත් ලජ්ජා කරනවා. දරුවෝ ගැනවත් හිතන්නේ නැති ලජ්ජා නැති මිනිහා.......''
අම්මා දිගින් දිගටම කෑමොර දෙනු ඇයට ඇසිනි.
''මම කොහොම හරි කුලී වැඩක් කරලාහරි අම්මට හයියක් වෙන්න ඕෙන. නංගිටයි මල්ලිටත් හොඳට උගන්වන්න ඕෙන..''
සරෝජා කල්පනා කරන්නට වූවාය. දින සති ගෙවුනේ තමන්ටත් නොදැනී බව ඇයට පසක් විය. එදා රෑ සරෝජාට හොඳින් නින්ද ගියාය.
***********************************
හිමිදිරියේ කඩිමුඩියේ නැඟිටගත් යුවතියන් සමඟ සරෝජා ද නින්දෙන් අවදිව මෙෙහවරට යාම සඳහා ලැහැස්ති විය. අමරා අලුත් ළිපට දර කැබල්ලක් ළං කළේය. පරිප්පු සමඟ පාන් ඕ කඩිමුඩියේ ගිල දැමුවාය.
ඈ කණ්ණාඩිය ළඟට ගොස් හිස පීරා පියරු ටිකක් මුහුණේ තවරා ගත්තාය. කණ්ණාඩියෙන් පෙනෙන මුහුණ දෙස බලා සරෝජා සිනාසුණාය.
'' මං යනවා අමරා''.....
''මං මේ ඇඳුම් ටික හෝදලා එන්නම්''
අමරා සේදූ රෙදි ටික වැල් ඇඳේ එල්ලන ගමන් කෑගැහුවාය.
උදා අව් රැස් ටිකෙන් ටික මෝදු වෙනු පෙනේ. ගුරු පාරේ වැලි කැට පින්නට සේදී ඇත. වැලි කැට සමඟ තෙතබරිත වූ සුළඟ ඇගේ ගමන ඉක්මන් කරවීය. වියළි කොළ සරාස් හඬින් හඬ නැඟුවේ නැත.
තමා බසයට ගොඩවී ඈතට යනතෙක් අම්මා බලාසිටි අයුරු ඇයට සිහි විය.
''උඹ කියන විදිහට හැමෝම මැෂිම් වගේ නූලට සීරුවට වැඩ කරන්න ඕෙන. මිනිහෙකුට තමන්ගේ ජීවිතය නාස්ති කරන්න අයිතියක් නැහැ.''
අමරා කියු හැටි ඈ සිහි කළාය. සරෝජා කතා කළේ නැහැ. ඇය කලාපයට ආවේ අමරාගේ පිහිටෙනි. අමරා සරෝජාට කලින් කලාපයට වැඩට ආවාය. ඈ දුකක් නැතුව ජීවත් වේ. සරල ජීවිතයේ සතුට එයයි. දුකක් කියා දෙයක් නැහැ. අපි හැමෝම ඉගෙන ගන්නේ ජීවිතයට මුහුණ දීමටයි. එහෙම නැත්නම් ප්‍රශ්නවලට මුහුණදීම විතරයි. එදා රෑ අමරා සමඟ බොහෝ දේවල් කතා කිරීමට සරෝජාට වුවමනා විය. ගුප්ත ශීතල රාත්‍රියේ තාරකාවෝ ඉකිබිඳින හඬක්වත් ඇහෙන්නේ නැහැ. බියකරු රාත්‍රිය පුරා ඇයට විටින් විට නින්ද යාමට ගොස් නින්ද කැඩී අවදි වෙයි. ඈ පොරවා තිබූ චීත්තය තවත් තදින් පොරවා ගත්තාය.
''උඹ ඔය නොදන්න දීපංකරයට යන්න කැමතිද?....අකමැති නම් ඉඳින්. මට උඔලා තුන්දෙනා වැඩි නැහැ.....''
''අම්මයි, නංගියි, මල්ලියි දාල යන්න මට හිතක් නැහැ. ඇත්තමයි.....ඒත් අම්මට ඔච්චර දුක් විඳින්න පුළුවන් යැ. අම්මා දුක් විඳිද්දී මට මෙහේ ගුලිවෙලා ඉන්න බෑ. අම්මා බයවෙන්න එපා. අමරා ඉන්නවා නොවැ.''
''උඔ එහෙනම් යනවද අක්කේ?”....නංගි ඇසුවාය.
''අනේ අක්කේ මාත් එන්නද ''මල්ලි ඇසුවේය. සරෝජා නංගිගෙයි....මල්ලිගෙයි.... හිස අත ගෑවාය. ඇයට සියුම් ඉකියක් ආවේය. එහෙත් ආයාසයෙන් එය නොපෙන්නුවාය.
''අම්මා බලාගෙන උඔලා හිටපල්ලා. උඔලා දෙන්නත් කොහොම හරි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න ඕෙන...''
අම්මා එළියේ පහන් පැල ළඟ දෙවියන් යදින හඬ හීනෙන් මෙන් ඇයට ඇසිණි. සරෝජාට ඇහැරිණි.
ව්‍යාකූල සිහින අතරේ සැරිසැරූ සරෝජා නැඟිට්ටේ තෙහෙට්ටු මානසිකත්වයකිනි. කේතලය ළිපෙන් බා ගත් අමරා තේ පිළියෙළ කරන්නට විය.
''සරෝජා නැඟිටලා තේ බීපන්.'' මට අද කලින් වැඩට යන්න ඕෙන.''
අල්ලට සීනි හලා ගත් දෙදෙනා බඩපුරා තේ කහට බිව්වේිය.
''සරෝජා හවසට යමුද බසාර් එක පැත්තෙ යන්න....''
ඔවුන් දෙදෙනා වැඩ ඇරී බසාර් එකට යාම සඳහා ලැහැස්ති විය. කෙල්ලෝ කොල්ලෝ එකා දෙන්නා ගාමන්ට් බිමෙන් එළියට යනහැටි ඈ බලා සිටියාය. ඇත්තටම මෙයාලා දැක්කම හිතට සතුටක් එනවා. කොහොම හරි කාලබීල ජීවත් වෙන්නේ මේ ගාමන්ට් එක නිසා නේද?......
නිදහසක් නැති වුණත් මොකද වැඩක් කරලා පඩියක් අතට ගත්තහම හිතට සතුටක් ගෙන දෙනවා නේද?.....ඒ සතුට වෙන කිසි දෙයකින් ලබන්න බෑ. අනික අපිට මොනවටද අරවා මේවා ඉල්ලලා සටන් කරන්නේ. එහෙම වුණොත් අපේ තත්ත්වය මොකක්ද?...ජීවිතේ හැටි ඔහොමමයි. ඈ සිතුවාය.
දණ මත හෙල්මටයක් රඳවා ගත් තරුණයෙක් සරෝජා දෙස බලා සිටිනු දුටු නමුදු ඈ ඉවත බලා ගත්තාය. අමරාගේ සහෝදරත්වය, කෙල්ලන්ගේ සිනා පිරි කෙළි කවටින් පිරුණු වැඩපොළ මිහිරි තැනක් බව ඇයට දැනිණි.
' බලන්නකෝ බසාර් එකේ නැති දෙයක් නෑ නොවැ.''සරෝජා ඇඳුමක් අත ගෑවේය.
ඇය එය ඇඟට තබා හැඩ බැලුවේය. අර තරුණයා මෝටර් සයිකලයේ කැඩපතකින් ඇසක් ගසා ඉඟි කරනු දුටු මුත් ඈ ඉවත බලා ගත්තාය. ගමට අඩක් යැවූ පසු පඩි පතෙහි ඉතිරිය මාසය පුරාවට සකසුරුවම් කළ යුතුව ඇත. ඈ ඇඳුම පැත්තකින් තැබුවාය. අමරා මාල පොටක් ගැනීමට අත්තිකාරම් බැන්දාය. සරෝජාට ඇය ගැන සියුම් සතුටක් දැනිණි. මාස කීපයක් බඩට හරියට අහරක් නොලබා ඇය පෙරුම් පිරුවේ මේ වන්දනාවට නොවේදැයි ඇයට සිතිණි. දුකකටද.. සතුටටද..කඳුළක් දෑස්මත පොරකමින් තිබිණි.
සරෝජා වටපිට බලා කඳුළු පිස දා ගත්තාය.
චන්ද්‍රිකා පුෂ්පරාණි ජයවීර
ආධුනික ලේඛිකාවන් හඳුන්වා දෙන නවතම විශේෂාංගය
ඔබේ කෙටිකතාවත් 0715927752 අංකයට whatsapp කරන්න