වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
ඔයා ඔයාට අවංකද?
හැලහැප්පීම් මැද ගෙවෙන ජීවන ගමනට නොයෙකුත් කරදර බාධක එනවා. ඒවාට සාර්ථකව මුහුණ දෙන කෙනා ජීවිතය දිනනවා කියලා කියද්දි අසාර්ථක වුණ කෙනා පරදිනවා කියලයි කතාවට කියන්නේ. හැබැයි මේ සෑම සාර්ථක වීමක් වගේම අසාර්ථක වීමක් පිටුපසක තියෙන්නේ අවංක සහ වංකභාවයයි. නිකමට ඔයා ඔයාට අවංකද කියලා ඔයාගෙන්ම අහලා බලන්න. ඔයා ඔයාටම බොරු කරගෙන තියෙනවද කියලා හිතලා බලන්න. වෙන කෙනෙක්ට අවංක නොවෙනවට වඩා තමන්ට අවංක නොවීම තමන්ගේ හෘද සාක්ෂියට පවා පීඩා ගෙන දෙන්නක්. හැබැයි මේ කියන්නේ පිටස්තරයන්ට වංක වෙලා තමන්ට විතරක් අවංක වෙන්න ඕනේ කියන කතාවක් නෙවෙයි. මේ කියන්නෙ අනිත් අයට අවංක වෙන්න කලින් තමන් තමන්ට අවංක වෙන්න කියන එකයි. මොකද තමන් තමන්ට අවංක නොවෙන තාක්කාල් වෙන කිසිම කෙනෙක්ට අවංක වෙන්න ලැබෙන්නේ නැහැ.
ඔයා කවුද?
ඔයා කවුද කියලා හිතෙන් අහලා බලන්න. ඔයා කරන්න කැමැති.. කන්න කැමැති.. අඳින්න කැමැති මොනවද? ඔව් මම කැමැති ටිකක් කොටට ඇඳලා හයි හීල්ස් දාලා කොණ්ඩේ ස්ට්‍රේට් කරලා වෙනස් විදිහකට ඉන්න. ඔයා හිතෙන් එහෙම උත්තර දුන්නට ඇත්තටම ඔයා එහෙමද? සමහරවිට සමාජයේ අය මොනවා හිතයිද? එහෙම ඇන්දොත් අම්මා තාත්තා බණීද? මහත්තයා ගෙදරින් එළවයිද? වගේ දේවල් හිතලා ඒ ආසා දේවල් අත්හැරලා ලෝකයට පේන්න දිගම දිග සායක් ඇඳගෙන කොණ්ඩේ ගොතාගෙන, දැලි කුණු පෙරාගෙන, කාලකණ්ණි ජීවිතයක් ගෙනියනවනම් ඒ ඔයාගේ ඇත්ත ස්වරූපයද? ඒකත් ඔයා ඔයාට අවංක නොවෙන තැනක්. අනේ මටත් ලස්සනට ඇඳලා කරලා ඉන්න තිබුණානේ කියලා හිතෙන් විඳව විඳව කාලකණ්ණි ජීවිතයක් ගත කරන එකේ තියෙන සතුට මොකක්ද? ඔයා අාසා දේ ඔයා කරන්න. හැබැයි හරි වැරැද්ද තෝරලා බේරලා මැනලා අරගන්නත් නුවණක් තියෙන්න ඕනේ. මොකද මම මට අවංකයි කියලා හිතේ තියෙන හැමදේම කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නත් බැරි නැහැ.
කරන වැඩේට අවංක වෙන්න
ඉඳලා ඉඳලා අලුතෙන් වැඩක් පටන් ගන්නවා. අපි හිතමුකෝ ප්‍රොජෙක්ට් එකක් කියලා. පටන් ගද්දි තිබ්බ උනන්දුව ටික දවසක් යද්දි නැති වෙනවා. ඔහේ කරලා දානවා. ඉතින් අසාර්ථකයි. මේ අසාර්ථක වීමට වගකියන්න ඕනේ කවුද? තමන්මයි. මොකද හේතුව තමන් තමන්ට අවංක නොවීම. හොඳට කරුණු හොයලා ඒ වෙනුවෙන් කාලය යොදවලා දිවා රෑ නොබලා මහන්සි වුණානම් මේ කියන ප්‍රතිඵලය ලැබෙන්න තිබුණා නේද? හිතන්න මේක සෙට් එකක් එකතු වෙලා කරන්න ඕනේ වැඩක් කියලා.. මම එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. අරයා ඉන්නවනේ එයා කරයි. ඔහොම හිතුවොත් මොකද වෙන්නේ? ආයේ අහන්න දෙයක් නැහැ ආඬ් හත් දෙනාගේ කැඳ හැළියට වෙච්ච දේමයි වෙන්නේ. මම මේ කරන වැඩේ හරිද කියලා තමන්ගෙන්ම අහලා බලන්න. තමන් තමන්ට අවංක නොවෙනතාක් කල් කිසිම වැඩක් සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ කියලා මතක තියාගන්න.
දෙයක් භාර ගත්තොත් වචනෙ තියන්න
මේක බොහොම සරල දෙයක්. තමන් භාර ගත්ත වැඩක්, කරනවා කියපු විදිහට, කරනවා කියපු දිනේට කරන්න. එහෙම පොරොන්දු වුණු විදිහට සහ දිනේට වැඩේ කරලා දෙන්න බැහැයි කියලා හිතෙනවා නම්, භාර ගන්න එපා. තමන්ට කරන්න බැරි දේවලුත් පුළුවන් කියලා හැසිරෙන එකත් තමන්ට තමන් අවංක නොවීමක්. මේ වැඩෙන් වෙන්නේ තමන්ගේ හෘද සාක්ෂිය පැත්තෙන් කඩා වැටෙන එක විතරක් නෙවෙයි අනෙක් පාර්ශ්වයටත් අවංක නොවීමක්නේ. ඉතින් මෙහෙම දෙයක් වුණාම ආයේ ඉතින් ඒ මනුස්සයාගේ මුණ බලල හිනා වෙන්නවත් පුළුවන්ද? ඒ නිසා තමන්ට කරන්න බැරි දේවල් සහ පුළුවන් දේවල් ගැනත් අවංකව හිතන්න. ඒ වගේම කරන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙන මට්ටමට දක්ෂතාවයන් වැඩි දියුණු කර ගන්න.
තමන්වම නිදහසට කාරණාවලින් රවට්ටගන්න එපා
අපි හැමෝටම ඔය එක එක නරක පුරුදු තියෙනවනේ. ඒ කියන්නේ රස්තියාදු ගහනවා, ගේම් ගහනවා වගේ ඒවා නෙවෙයි. වැඩිපුර නිදාගන්න එක, වැඩ කල්දාන එක, වෙලාවට වැඩක් නොකරන එක වගේ දේවල් ගත්තත්, ඒවත් ඔය නරක පුරුදු ගාණට තමයි වැටෙන්නේ. දැන් කෙනෙක්ට නරක පුරුද්දක් තියෙනකොට, ඒකෙන් මිදෙන්නත් බැරි නම්, ගොඩක් වෙලාවට වෙන්නේ ඒක සාධාරණීකරණය කරන්න අපි උත්සාහ කරන එක. වැඩක් අන්තිම මොහොතේ කරන පුරුද්දක් තියෙන කෙනෙක් තමන්ටම කියාගන්නවා, “මට වැඩක් හොඳටම කරන්න පුළුවන් අන්තිම මොහොතේ කරනකොට” කියලා. මත්ද්‍රව්‍ය භාවිත කරන පුරුද්දෙන් අත්මිදෙන්න බැරි කෙනෙක් කියනවා, “මට අදහස් ගලාගෙන එන්නේ මත්ද්‍රව්‍ය ගනිද්දී” කියලා. දැන් ඇත්තටම මේ රවටන්නේ වෙන කාවවත් නෙවෙයි, තමන්වමයි. අන්න ඒ නිසා, තමන්වම රවටා ගන්න එක ඔක්කොටම කලින් නවත්තන්න ඕෙන. තමන්ට තමන් අවංක වෙන්න බැරි වුණාම හැමෝම කරන්නේ තමන් තමන්වම රවටා ගැනීමක්.
ජීවිතයට අවංකද?
අපි හැමෝගෙම ජීවිත එක වගේ නැති වුණාට අපි ගෙවාගෙන යන කාර්තු කාටත් පොදුයි. අපි මේ ජීවිත කාලේ පුරාවටම මිනිස්සුන්ව දැන අඳුනගන්නවනේ. හා නැද්ද? අපිත් එක්ක එකට වැඩ කරන අයව, අපිත් එක්ක එකට ජීවත් වෙන අයව, අපේම පවුලේ උදවියව, අපේ මිතුරු මිතුරියන්ව, අපි ආදරය කරන අයව වගේ අපේ ජීවිතේට යන එන අය.. ඒ වගේ අපේ ජීවිතවලට ගෑවෙන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මේ හැමෝම එක්ක ඔයා අවංකද? කොටින්ම කිවුවොත් ඔයාගේ ආදරයට අවංකද? ආදරයට අවංක නොවී ගන්න තීන්දු තීරණ නිසා මහ රෑ නිදි මරාගෙන මම එයාට වැරැද්දක් කළා නේද කියලා හිතන්න වෙන්නේ තමන් තමන්ට අවංක නොවුණාමයි. හැබැයි ඉතින් එහෙමවත් හිතන්නේ නැතුව ජීවිතයම රවට්ටගන්න අයගේ ජීවිතත් අවසන් වෙන්නේ ඒ විදිහටමයි කියලත් මතක තියාගන්නම ඕනේ.
තමන් තමන්ට අවංක වෙද්දි ඔයාගේ ජීවිතයට එන අභියෝග ගැටලු අඩු වෙන්න හේතුවක් වෙනවා වගේම ජීවිතය සාර්ථකව ගලාගෙන යන්නත් හේතුවක් වෙනවා. ඔයා ඔයාට අවංකයි කියන්නේ ඔයා හරි නිදහස් මනුස්සයෙක් කියන එක.