වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
රට පුරාම කතා කරන යෝධ පිම්මක් පැන්න නන්නපුරාවේ පුංචි කෙල්ල
අඳුරු වූ අහස් කුස පරයමින් මොහොතක් පෑයූ හිරු කිරණේ එළිය දකිමින් පැවති සමස්ත ලංකා ජාතික ක්‍රීඩා උලෙළ අවසන් වූයේ ජයග්‍රහණ රැසක් සනිටුහන් කරමිනි. ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අන්තර් පාසල් අතර පැවැති මේ තරගාවලියේදී සුවිශේෂීම සිදුවීම් බවට පත් වූයේ මෙවර දක්ෂතම ක්‍රීඩකාව බවට හා හා පුරා කියා හිමිකම් කියන්නට බිබිලේ නන්නපුරා මහා විදුහලේ නෙත්මිකා මදුශානි හේරත් ක්‍රීඩිකාවට හැකිවීමයි.
එලෙසින් ඇය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා පොතේ අලුත් පිටුවක් සටහන් කරද්දි, මෙවර එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූයේ හැටන් අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමල් අකලංක ක්‍රීඩකයායි. අගනුවරින් කිලෝමීටර් ගණනක් ඈත පිටිසර ප්‍රදේශ නියෝජනය කරමින් මෙලෙස දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව
ලෙස ජයග්‍රහණ හිමිකර ගැනීම අගනුවර ආසන්නව පහසුකම් රැසක් හිමි දරුවන්ට ඔවුන් කළ අභියෝගය සුළුපටු නොවෙයි. මහත් වූ කැප කිරීමක් තුළින් අවම වූ පහසුකම් ඇති ප්රදේශයන්ගේ ජීවත් වෙමින් ලබාගත් මේ ජයග්‍රහණය පිළිබඳ අප මෙලෙසින් සටහන් තබනුයේ ඒ දරුවන්ට උපහාරයක් හා ගෞරවයක් ලෙසිනි.
මේ ජයග්‍රහණ අතුරින් නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස නෙත්මිකා ලැබූ ජයග්‍රහණය ගැන අප අැයගෙන් විමසා සිටියේ සමස්ත රටේම දරු දැරියන්ට ඇය ගැන සටහනක් තැබීමේ අපේක්ෂාවෙනි. 13 වසරේ වාණිජ විද්‍යා විෂයය හදාරන ඇය ක්‍රීඩාවටත් අධ්‍යාපනයටත් එක ලෙස දක්ෂ ක්‍රීඩිකාවක් බවට ඇය ගැන විමසීමේදී අපට මුලින්ම දැන ගැනීමට ලැබුණේ ඇයගේ ගමන් මඟ වර්ණවත් කරන ක්‍රීඩා උපදේශක එම්.ජී.කේ. කුමාර මහතාගෙනි. ඔහු නෙත්මිකා ගැන අපට මුලින්ම සඳහන් කළේ මෙලෙසිනි. "නෙත්මිකා කියන්නේ ඌව පළාතට සම්පතක්. ඇය පුංචි කාලේ පටන්ම දක්ෂ දැරියක්. ක්‍රීඩාවට වගේම ඉගෙනීමටත්. මේ වසරේ ශ්‍රී ලංකා කනිෂ්ඨ දුර පැනීමේ ශූරතාවයත් හිමිකර ගත්තා. මම හිතනවා මේ දරුවා ඉදිරියේදී ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ දස්කම් පෙන්වන දක්ෂ ක්‍රීඩිකාවක් වෙයි කියලා." ඔහු දැක්වූ අදහස් අනුව ඉදිරියේදී නෙත්මිකාව ජාතික තලයේදී හමුවන බව නිසැකය. මෙලෙස දස්කම් දැක්වූ නෙත්මිකා තම ජයග්‍රහණ ගැන අපට සඳහන් කළේ විශාල සතුටකිනි.
"මම ක්‍රීඩාවට යොමු වුණේ 9 වසරේදි. දැන් අවුරුදු 9ක් විතර දිගටම ක්‍රීඩා කරනවා. මම ජයග්‍රහණය ලැබූ ඉසව් තමයි දුර පැනීම සහ තුන් පිම්ම. මේ වසරේ ඩුබායි පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී මට තුන් පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් ලබා ගැනීමට හැකිවීම තමයි ලොකුම ජයග්‍රහණය.
මට මේ වසරේ සමස්ත ලංකා ක්‍රීඩා තරගයේදීත් වාර්තා තුනක් තියන්න පුළුවන් වුණා. 20න් පහළ දක්ෂතම ක්‍රීඩකාව ලෙසත්, දුර පෙනීමේ ඉසව්වෙන් දක්ෂතම ක්‍රීඩිකාව බවටත්, සමස්ත තරගාවලියම දක්ෂ ක්‍රීඩිකාව බවටත් පත්වීමට හැකියාව ලැබුණා. ඒ වගේම තුන් පිම්ම තරගයත් ජයග්‍රහණය කළා.
මම පුංචි කාලේ පටන්ම ක්‍රීඩාවට කැමතියි. ඒ කැමැත්ත ඇති වුණේ මගේ අක්කලා ක්‍රීඩා කළ නිසා. ඒ වගේම අපේ පවුලේ සියලු දෙනාම ක්‍රීඩාවට දක්ෂයි. මගේ තාත්තා එස්.එම්. වනිගසේකර. අම්මා ධම්මිකා අත්තනායක. මේ දෙන්න විතරක් නෙවෙයි මට මේ ජයග්‍රහණ ලබන්න විශාල පිරිසක් සහයෝගය දක්වනවා. අපේ විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්. නන්දසේන මහතා මාව සෑම අවස්ථාවකම දිරිගන්වනවා. ඒ වගේම මගේ අධ්‍යාපනයටත් විශාල සහයෝගයක් ලබා දෙනවා. මගේ ඊළඟ සිහිනය තමයි උසස් පෙළ හොඳින් සමත් වීම. උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලයට ගිහින් ක්‍රීඩාවෙන් හැකියාව පෙන්වීම තමයි මගේ සිහිනය. මම හිතන්නේ ඒ සිහිනය සැබෑ කරගන්න අපහසු නැහැ. මට ක්‍රීඩාවෙන් ලැබුණු ශක්තිය අධ්‍යාපනයටත් ප්‍රයෝජනවත්. මම මේ ලැබූ ජයග්‍රහණ සියල්ලම ලබා ගන්නේ අධ්‍යාපන කටයුතු කිසිම දෙයක් අතපසු කර ගන්නේ නැතිව. ඒක තමයි මම ලැබූ ලොකුම වාසනාව."