හැමෝටම පාඩමක් කියන ඇකිරියන්කුඹුරේ අක්කා නගෝ

නොවැම්බර් 4, 2024

 

ඇකිරියන්කුඹුරට ඉහළ අහසින් හිරු ඇතිරෙමින් තිබූ උදෑසනකි. හිනැහෙන්නට වෙර දරන බඩඉරිඟු යාය දැන් සරුසාරව ගැබ්බරය. ගිරා නිලෙන් බබළන කිරි වැදුණු බඩඉරිඟු යාය පිස හමන සුදු මුදු මඳනල එහා මෙහා සැරිසරමින් තිබුණු පැහැබර උදෑසනකි ඒ. බඩඉරිඟු යාය මැදින් සරල රේඛාවක්ව වැටී තිබූ පටු දිගු අඩි පාර මැදින් පැමිණි නන්දාවතී ඒ සුබ ආරංචිය ජයවර්ධනට කීවේ අභිමානයෙන් සිත පුරවා ගනිමිනි. ගැබ්බර බඩඉරිඟු යාය දෙස ගැබ්බර වූ ඇය බොහෝ වෙලා බලා උන්නේ උතුරා පිටාර ගලන මාතෘ ස්නේහය වෙනුවෙන් අලුත් පරිච්ඡේදයක් අරඹමිනි. කාලය ද ක්‍රමානුකූලව ගෙවී යමින් දස මසක් ගෙවුණු තැන ඒ උත්තරීතර අම්මාගේ කිරි සිහින සඵල වන්නේ 1993. 03. 12 දිනයේය.

වසන්තා මෙලොව එළිය දකින්නේ ඒ අාකාරයටය. දෛවයේ ඇතැම් දේ අපට ලැබිය හැකි අතර ඇතැම් දේ නොලැබීමට ද ඉඩ ඇත. වසන්තාට බොහෝ දේ ලැබී තිබුණද ඇතැම් සුළු දේ ලැබී තිබුණේ නැත. එනමුත් මේ ආදරණීය අම්මා කිසිදු විටෙක තම ආදරණීය දෝණියට කිසිවකුත් අඩු පාඩුවක් පෙන්වූයේ නැත.

ඒ අම්මලාගේ හැටිය. මේ කතාවේ පළමු පරිච්ඡේදය ආරම්භ වන්නේ එතැනිනි. මේ කතා කිරීමට සැරසෙන දෙසොහොයුරියන් ඔබ මේ වනවිට සමාජ මාධ්‍යජාලාවන්හිදී ඕනෑ තරම් දැක තිබෙන්නට පුළුවන. මෙම රුවැත්තියන් දෙදෙනා පිළිබඳ පැතිරෙන ඇතැම් කතාන්දර ද ඔබගේ කන වැකෙන්නට ඇත. අද අපේ මේ සූදානම වසන්තා සහ මධූකා සොහොයුරියන් දෙදෙනාගේ සැබෑ ජීවිත කතාව කියන්නට ය. ඒ කතාව සාවදානව ඇසීමට ඔබ බඩඉරිඟු මණ්ඩියේ අවසන් කෙළවර රූස්ස ගස් පෙළට යාබද කුඩා නිවෙසට ගොඩ විය යුතුමය.

එසේනම් මේ අධිසංවේදී කතාව සිහිබුද්ධියෙන් අහන්න. ඔබට ඔවුන්ගේ හඬ මේ කතාව තුළ නිරතුරුවම ඇසෙනු ඇත. ඒ සඳහා කන් දෙන්න. ඔවුන්ගේ හදවතේ නැඟෙන රිද්මය ඔබට දැනෙන්නට බොහෝ දේ කියනු ඇත.

 

දැන් මේ කතාව අහන්න සූදානම් වෙන්න.

 

නන්දාවතී සහ ජයවර්ධන විවාහ වන්නේ මීට වසර 30කට පෙරදීය. විවාහයට පසුව ඇකිරියන්කුඹුර ගම්මානයේ ජීවත් වූ ජයවර්ධනට සහ නන්දාවතීට දාව පළමු දරුවා ලෙස මෙලොව එළිය දුටු වසන්තා උපතින්ම ආබාධිත දරුවකු බව මව දැන ගනු ලබන්නේ දරුවා බිහි වූ දාමය.

 

දෛවයේ සරදමකටදෝ වසන්තා මෙලොව එළිය දුටුවේ ශරීරයේ කොටසක් අප්‍රාණික තත්ත්වයක් සමඟිනි. වෛද්‍යවරු ඇය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කොතරම් උත්සාහ දැරුවත් එය සාර්ථක වූයේ නැත. මෙම සුව නොවන රෝගයට අදාළව වසන්තාගේ ශරීරයේ වැඩීම ද හීන වූයේය.

 

ඒ නිසාම වසන්තාගේ ශරීරය වර්ධනයෙන් ඉතාමත් මන්දගාමීය. දැන් වසන්තාගේ වයස අවුරුදු 30කි.

 

ඒ අප ඔබට කීමට සැරසුණු පළමු පරිච්ඡේදයයි. අප දැන් අරඹන්න සූදානම් වන්නේ ඔබ දත යුතු දෙවැනි පරිච්ඡේදයයි.

 

එම පරිච්ඡේදය ඇරඹෙන්නේ නන්දාවතීගේ දෙවැනි දරුවාගේ උපතත් සමඟය. වසන්තා ඉපිද වසර දෙකකට පසුව නන්දාවතී සහ ජයවර්ධන පවුලට සතුට රැගෙන නැවත පැමිණුනේ අමුත්තියකි. ඈ නමින් මධූකාය. වසන්තාට මෙන්ම මධූකා ද එම රෝගයට ගොදුරු වී තිබුණි. වසන්තාගේ රෝග ලක්ෂණ සහිතව උපන් මධූකාත් නන්දාවතීට සහ ජයවර්ධනට බරක් වූයේ නැත. ඒ උතුරා පිටාර ගලන උත්තරීතරත්වයේ සෙනෙහසක හැටිය. නමුත් වසන්තා රැකබලා ගැනීම වෙනුවෙන් අපමණ දුක් කම්කටොළු වලට මුහුණ දුන් නන්දාවතී මාතාවට සහ ජයවර්ධන පියාණන්ට මධූකාගේ උපත සමඟ එන ආර්ථික ප්‍රශ්න දෙගුණ තෙගුණ වූයේය.

එහෙත් මේ උත්තුංග මවුපියන් දරුවන් දෙදෙනා කිසිවිටෙකත් අත්හැරියේ නැත. මහ වන වදුලු පුරා සරු පස සොයමින් ඒ පස පෙරළමින් බඩඉරිඟු යායටම ජීවිතය කැප කරමින් මේ මවුපියෝ තමන්ගේ දෙඇස්වන් දියණියන් දෙදෙනාට අවශ්‍ය සියලු දේ ලබා ගැනීමට වෙහෙසුණාහ.

මේ කිසිවක් නොදන්නා කිරි සප්පයන් දෙදෙනා ඒ වියළි සුළං මැද හැදී වැඩෙමින් ලොකු මහත් වූහ.

 

අද අප මේ හමුවන්නට යන්නේ මේ කතාවේ ප්‍රධාන කතානායිකාවන් දෙදෙනාවය. අප ඔබට මුලින්ම හඳුනා දුන්නේ ඒ දෙදෙනාය. මේ කතාව ප්‍රධාන වශයෙන් චරිත දෙකක් ඔස්සේ ඇදී ගියද මෙම කතාවේ ප්‍රධානම කතානායිකාව නන්දාවතීය. ඒ අම්මාගේ උත්තරීතර දරු සෙනෙහස මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. දරුවන් කඩමාල්ලක ඔතා කැලයට විසිකරන සමාජයක මේ මව ඔටුණු නොපළන් මවු රැජනියකි. ඒ තාත්තා රාජාභිෂේකය නොලද රජෙකි.

 

දැන් මේ කතාව අසන්නට ඔබ හොඳින් සූදානම්ය. අපි සෙනෙහසින් ඒ සොඳුරු කුඩා නිවෙසට ගොඩවෙමු. වසන්තා ජයවර්ධන පවුලේ වැඩිමලාය. වයස අවුරුදු 30ක් වූ ඇය පවුලේ දෙවැනියා වූ වයස අවුරුදු 27ක් වන මධූකාගේ රූපයට සමානය. හැබැයි අක්කාට වඩා නංගි කතාවට දක්ෂය. ඒ නිසාම ඈ කටහඬ අවදි කළේ දන්නා හඳුනන තරුණියක ලෙසිනි.

'ගේ හොයාගන්න අමාරු වෙන්න නැතුව ඇති. ඇකිරියන්කුඹුර ඉස්කෝලේ අවට ඕ‍ෙන කෙනෙක්ගෙන් ජයවර්ධන මහත්තයගේ ගේ කෝකද කියලා ඇහුවම දන්නවා. තාත්තා සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් විදිහටනේ වැඩ කළේ. තාත්තා විශ්‍රාම ගිහින් අවුරුදු තුනක් වෙනවා. දැන් තාත්තයි අම්මයි ගොවිතැන් විතරයි කරන්නේ. අම්මා බඩඉරිඟු හේනට ගිහින් තාම ආවේ නැහැ. එන්න ටික වෙලාවක් යයි.

මගේ ෆේස්බුක් එකවුන්ට් එක නිසා තමයි මාවයි, අක්කවයි ගොඩක් අය හඳුනා ගත්තේ. අනේ ඉතින් දැන් මට ගොඩක් යාළුවෝ ඉන්නවා. මොන දේ වුණත් අපි හරි සතුටින් ඉන්න අය. ජීවිතය හරි අමාරුයි තමයි. එහෙම කියලා ජීවිතය අත්හරින්න පුළුවන්කමක් නැහැනේ. ඉතින් පුළුවන් විදිහට ජීවිතය ගැට ගහගෙන මේ ගමන ගෙනියනවා.'

 

සුන්දර සෙනෙහෙබර පියකරු පින්වන්ත සිනහවන්ත කතාවේ ඇරඹුම මනස්කාන්තය. රෝද පුටුවකට බරදී ජීවිතය සතුටින් ගෙවන ඈ විසල් අහස දෙස කිරිල්ලක සේ බලාසිටියාය. පිහාටු නොමැති කිරිල්ලගේ හැඩ රුව ගුණයෙන් කිසිවක් අඩු නැත.

 

'අපිට තව නංගි කෙනෙකුයි මල්ලිලා තුන්දෙනකුයි ඉන්නවා. චූටි මල්ලි මේ සැරේ උසස් පෙළ ලියනවා. චූටි නංගි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. අනිත් නංගි ගාමන්ට් යනවා. අනිත් මල්ලි අත්තම්මා ළඟ ඉන්නේ. පුංචි කාලෙදි එයාව අත්තම්මා එක්ක ගිහින්. මායි, අක්කයිත් අසනීප තත්ත්වෙන් ඉන්න නිසා තව ළමයි හතර දෙනකුත් අම්මට බලා ගන්න බැරි නිසා උදව්වක් විදිහට තමයි අත්තම්මා මල්ලිව එක්ක ගියේ. එයත් යනවා එනවා.'

 

නංගීගේ කතාවට නිම වී ඊළඟට එක් වන්නේ අක්කා වසන්තාය. වසන්තා ද මධූකාගේ රූ ගුණ වරුණට නොදෙවෙනි රූමතියක්ය.

 

'තාත්තා කරන්නේ බඩඉරිඟු වගාවක්. අවුරුද්දකට සැරයක් වගේනේ අස්වැන්න ලැබෙන්නේ. ඉතින් පොඩි මුදලක් ලැබෙනවා. ඒක ඉතිරි කරගෙන තමයි ජීවත් වෙන්නේ. නංගි ගාමන්ට් යන්න අරගෙන සතියක් වගේ ඇති. ඉතින් එයාගෙනුත් පවුලේ කටයුතුවලට උදව් ලැබෙයි. දැන් ලොකුම ප්‍රශ්නෙ මගේ මල්ලිගෙ ඉගෙනීමට මුදල් සොයා ගැනීම.

මගේ මල්ලිගෙ ඉගෙනීමට මුදල් සොයා ගැනීම. එයාගේ අධ්‍යාපන කටයුතුවලට මාසෙකට ලොකු ගාණක් වියදම් වෙනවා. හැම දෙයක්ම ප්‍රශ්න කියලා අතහරින්න බැහැනේ මොනවාහරි කරන්න වෙනවා. අපිත් ජීවිතේ දිනන්න ඕනෙනේ.

 

දරුවන් රැකබලා ගැනීමට මවුපියන් කෙතරම් උත්සාහයක් දරනවා ද යන්න මෙය කියවන ඔබ හොඳින් දන්නා කාරණයකි. නීරෝගි දරුවකු මෙලොවට දායාද කර රැකබලා ගැනීම එතරම් දුෂ්කර සමාජයක මේ අම්මා සහ තාත්තා කළ කැපවීමට මේ සොඳුරු මල් හිනාව කදිම නිදසුන්ය.

 

"මමයි අක්කයි කොට්ට උර බිස්නස් එක පටන් ගත්තේ ගෙදරට උදව්වක් විදිහට. ඒකෙන් ලැබෙන ආදායම නංගිගේ කැම්පස් වැඩවලටමයි වියදම් කළේ. ඒත් දැන් අමුද්‍රව්‍ය ගන්න මුදල් නැති ගැටලුවක් ආපු නිසා ඒක නැවත්තුවා. අපිට ඕඩර්සුත් ආවා. රෙදි ටිකක්වත් ගන්න පුළුවන් වුණොත් ආයේ පටන් ගන්න පුළුවන්. එතකොට අපිටත් පවුලේ අය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්නේ. ගෙදර අය සතුටින් ඉන්නවා බලන්නයි මමයි අක්කයි ආස කරන්නේ"

 

මධූකා දුටුවේ සිරස් සිහිනය. පොළොවේ සිට අහසේ සරන්නටය. ජීවිතය තිබුණේ අහසින් එහා ය. ඉර, හඳ, තරු, වලාකුළු අතර ය. ඈත මන්දාකිණිවලය. ඇයගේ හීනවලට පණ තිබිණ. හුස්ම තිබිණ. ඒ හුස්මවලට පණ දෙන්නට වෙහෙසුණි. "අම්මයි තාත්තයි, නෑනයි මස්සිනයි. ජානවල ප්‍රශ්නයක් නිසා තමයි අපි දෙන්නට මේ තත්ත්වය උපතින්ම ඇති වෙලා තිබෙන්නේ. හැබැයි අපි කවදාවත් මේ ගැන අම්මාගෙන් අහලා හිත රිදවන්නේ නැහැ. මේ වෙන්න තිබුණ දෙයක් වෙන්න ඇති. අපි වැඩි කාලයක් ගත කරන්නේ රෝද පුටුවේ. අපි ශරීරයෙන් පොඩි නිසා සමහර වෙලාවට අම්මා වඩාගෙනත් ඉන්නවා. අම්මා අපිට හරි ආදරෙයි. මාව දැකලා ගොඩක් අය කතා කරනවා එක්කගෙන යන්න. අනාථ නිවාසවලින් පවා කතා කරනවා. මට හැමෝම හරි ආදරෙයි ඉතින්. නංගිලා මල්ලිලා මට කියන්නේ අපිව දාලා යන්න එපා පුළුවන් කාලයක් අපි අක්කලව බලාගන්නවා කියලා"

 

අඩක් නිමකළ මෙම නිවෙසේ අඩුපාඩු රැසකි. එම අඩුපාඩු රැස වසා හිනැහෙන මේ සිනා හඬ එම නි‍ෙවසට ආලෝකය සපයයි. එහෙත් අපට අවශ්‍ය මේ ජීවිත තවත් ආලෝකවත් කිරීමටය.

 

"පොළොවට සිමෙන්ති දාලා නැති නිසා රෝද පුටු ගේ ඇතුළට ගන්න අමාරුයි. අපිට තාම බාත්රූම් එකක් හදාගන්න බැරි වුණා. අම්මා අපිව නාවන්නේ පුටුවෙ තියලා. නංගිලා දෙන්නා තමයි අපි දෙන්නගෙ වැඩ කටයුතු ඔක්කොම වගේ කළේ. චූටි නංගි කැම්පස් යන්නයි, ලොකු නංගි ගාමන්ට් යන්නයි ගත්තට පස්සේ ඒ වැඩ ටිකත් අම්මාට කරන්න වුණා. චූටි නංගි ඒත් කියනවා එයා එහෙන් ඇවිල්ලා අපි දෙන්නාගේ වැඩ කරගෙන ඉන්නම් කියලා. ඒත් එහෙම අපි ගැනම හිතලා හරි යන්නෙත් නැහැනේ. එයාලටත් අනාගතයක් තියෙන්න ඕනෙනේ. ඉතින් ගෙදර වැඩයි, ගොවිතැනයි, අපි දෙන්නගෙ වැඩයි මේ ඔක්කොම කරන්නේ අම්මා."

 

වසන්තා ද වරින්වර මේ කතාවට එක්වෙයි. ඇයත් සිනහවන් අතර දොඩමළු වෙයි.

 

"මොන දේ වුණත් මමයි නංගි සතුටින් ඉන්නේ. අපි දෙන්නා හරි සතුටින් තමයි කොට්ට උර මහන්න ගත්තේ. මම මහනවා. නංගි පින්තාරු කරනවා. ඒත් ඉතින් රෙදි ගන්න බැරි ප්‍රශ්නයක් ආපු නිසා එක නැවතුණා. අම්මයි, තාත්තයි, නංගිලා මල්ලිලයි කොහොම කොහොම හරි ගෙදර දොරේ ප්‍රශ්න ටික විසඳනවා. ගෙදර ඔක්කොම අපි දෙන්නට හරි ආදරෙයි. අපේ නංගිලා මල්ලිලා අපි දෙන්නා නිසා පවුලට ලැජ්ජාවක් කියලා කවදාවත් හිතලා නැහැ. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. නංගිට පාසල් යන්න බැරි වුණාට තාත්තා හැම විෂයයක්ම නංගිට ගෙදර ඉඳන් ඉගැන්නුවා. අපි දෙන්නගෙ ලොකුම ආසාව පින් දහම් කරන එක."

අතපය වාරු නැති මිනිසුන් සිතින් දෙයක් ලැබෙන තෙක් බලා හිඳින සමාජයක මේ දෙදෙනා සැමට සපයන්නේ පූර්වාදර්ශයකි. ඒ පූර්වාදර්ශයම තව දුරටත යථාර්ථයක් බවට පත්කර ගැනීමට අප සැම එක්ව නව පාලමක් ඔවුනට සකසාදිය යුතුය. මනුස්සකම් පිරි මිනිසුන් එසේ ය.

 

අම්මා හේනේ වැඩට ගියාම එන්න ටිකක් හවස් වෙනවා. එතකම් මායි, අක්කයි තනියම ඉන්නේ. ඉතින් ටොයිලට් යන්නත් අම්මා එනකම් ඉන්න ඕනේ. අපිට අපි දෙන්නගේ වැඩ ටික තනියම කරගන්න පුළුවන්. හැබැයි ටොයිලට් යන එක තමයි තනියම කරගන්න බැරි. හැබැයි කොමඩ් එකක් තියෙන බාත්රූම් එකක් හදාගන්න පුළුවන් වුණොත් ඒ ගැටලුවත් විසඳෙනවා.

කොළඹ මහත්තයෙක් අපිට රෝද පුටුවක් අරන් දුන්නා. නංගි පාවිච්චි කරන්නේ කරන්ට් රෝද පුටුවක්. ඉතින් වතුරවත් ගෑවෙන්න බැහැ. වතුර තිබුණොත් ගිනි ගන්නවා. මට තියෙන්නේ චූටි රෝද පුටුවක්. නංගිටත් ඒ වගේ රෝද පුටුවක් ලැබෙනවනම් ඒක ලොකු පහසුවක්."

 

මේ සමාජය තුළ උදාර හදවත් පිරි මිනිසුන් වෙසේද? ඔවුන් දෙදෙනාට එසේ දිරිය දෙන්න ඉදිරිපත් වන පිරිසකුත් ඇත.

 

' මේ අපි දෙන්නා මහපු කොට්ට උර. දිගටම කොට්ට උර මහන්න තිබුණනම් ගෙදර ප්‍රශ්න ටිකක් හරි විසඳාගන්න පුළුවන් වේවි. අපේ අම්මා, තාත්තා නැති කාලෙක ඉන්න පුළුවන් ක්‍රමයක් තිබුණානම් ඒක ලොකු දෙයක්. නංගිලා, මල්ලිලට එයාලගෙම අනාගතයක් තියෙන්න ඕනෙනේ. අපිට මාසික ආදායම් ලැබෙන විදිහේ දෙයක් හරි කරන්න තිබුණානම් එයාලට කරදරක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.

ඒ හඬ තීව්‍රය. බලසම්පන්න මෙන්ම ජවසම්පන්නය.‍ මෙමා ඉදිරියේ සිටින්නේ සැබෑවටම ජීවිතය දිනූ ලියන් දෙදෙනකු ලෙස මට නැවත නැවත් හැඟේ. මම යළිත් ඔවුන්ගේ ඒ දිරිය කතාවට කන් දෙමි.

තම වැඩිමල් සහෝදරියගේ දෑතින් අල්ලා ගනිමින් මධූකා වෙනස්ම කතාවක් කියන්නට සැරසෙන බව ඒත්තු ගැන්නුවාය.

"මේ මගේ අක්කා. මං එයාට පණ වගේ ආදරෙයි. අපේ සහෝදරයෝ අතරේ පුදුම බැඳීමක් තියෙන්නේ. මං හිතන්නේ ඒ තරම් බැඳීමක් වෙන පවුල්වලවත් ඇති කියලා. අපි දකිනවා සමහර ළමා නිවාසවලට ගියාම එයාලගෙ අම්මලා ඉඳලා හිටලා හරි ආවම තමන්ගේ දරුවෝ නෙවෙයි වගේ පැත්තකට කරලා දාලා ඉන්නවා. මට හරි පුදුම හිතෙනවා ඒවා දකිද්දි. අපේ පවුලේ අය එහෙම බලද්දි අහසට පොළොව වගේ. අපි කවදාවත් හිත රිදෙන්න වචනයක්වත් කතා කරලා නැහැ. අපේ තාත්තා, අපේ නංගිලා මල්ලිලාට නිතර කියන දෙයක් තමයි අපි ඔයාලව ලොකු කළේ අක්කලා දෙන්නගේ ආරක්ෂාවට කියලා. ඔයාලගේ වගකීම තමයි අක්කලා දෙන්නව බලාගන්න එක. නංගි කැම්පස් එකේ හිටියත් නංගිගේ හිත තියෙන්නේ මෙහෙ. ඒ වගේ කොහේ හිටියත් එයාලා අපි ගැන බලනවා." සහෝදර සහෝදරියන්ගේ අසීමිත ආදරය ලබන මේ අක්කා, නගෝ අම්මා ගැන හදවතේ නැගෙන ආදරය වචනවලට පෙරළුවේ එසේය.

"අම්මයි තාත්තයි අපි දෙන්නා වගේ දරුවෝ දෙන්නෙක් බලාපොරොත්තු වුණේ නැහැනේ. දැන් කාලෙ නම් දරුවෙක් ලැබෙන්න ඉද්දි ස්කෑන් කරලා බලලා අසනීප ළමයෙක් නම් අයින් කරනවා කියනවනේ. ඒ කාලේ එහෙම තාක්ෂණයක් තිබුණේ නැහැනේ. ඉතින් අපි දෙන්නා නිසා පවුලේ තිබුණ තත්ත්වය ගොඩක් කඩා වැටුණා. ගේ දොර පවා හදාගන්න බැරි වුණේ අපි දෙන්නගෙ අසනීප තත්ත්වය නිසා. හැබැයි එයාලා අපිව අතහැරියේ නැහැ. තාත්තගේ ඔෆිස් එකේ අයට පින් සිද්ධ වෙන්න ගේ මේ තත්ත්වෙන් හරි හදාගත්තා. මට මතකයි ඒ ආපු මහත්තයා මට පරිගණකයක් දෙන්න හැදුවා. මම හරි ආසයි තාක්ෂණය ඉගෙන ගන්න. එතකොට මම කල්පනා කරලා බැලුවා ගේ ගැන. ගේ හැම තැනකම තෙමෙනවා. ගේ පුරාම වතුර ගලනවා. අපි හැමදාම තෙමි තෙමී නිදාගත්තේ. ඉතින් මම පරිගණකයක් ගන්න හීනය අතහැරලා ඒ සර්ට කිව්වා අපිට මේ වෙලාවේ ඉන්න තැනක් තමයි ඕනේ කියලා. එතකොට තමයි ඒ සර් කිව්වේ මම ගේ හදලා දෙන්නම්, හැබැයි මට පරිගණකයක් අරන් දෙන්න බැරි වෙයි කියලා. ඒ සර් ගේ මේ තරම් දුරටහරි හදලා දුන්නා. අද අපි තෙමෙන්නෙ නැතුව ඉන්නේ ඒ මහත්තයට පින් සිද්ධ වෙන්න."

ඉර මුදුන් වූ ගිනි ගහන අව්වේ විඩාබර දෑසින් නිවෙසට ගොඩ වුණේ ඔවුන්ගේ අම්මා නන්දාවතිය. මුහුණ දෙපසින් ගලා යන දාඩිය බිඳු දෙඅත්ලෙන් පිස ගත් ඈ අහිංසක සිනහවකින් සංග්‍රහ කළාය. "මම දවල් වරුවට ගෙදරට ඇවිල්ලා උයලා දුවලා දෙන්නට කවලා ආයේ යනවා. මහත්තයා හවස් වෙනකම්ම හේනේ. ඒ යද්දි එයාටත් කෑම එකක් ගෙනියනවා. අනේ ඉතින් අපි වැඩි හරියම ජීවත් වුණේ ඉස්පිරිතාලවල. මමයි මහත්තයයි නෑනයි, මස්සිනයි වුණ එකෙන් තමයි මේ හැමදේම වුණේ. මේ දෙන්නාගෙම අස්ථි ශක්තිමත් නැහැ. ශරීරයෙනුත් කුඩයි. දැනටත් පොඩි දුවව දියතලාව ඉස්පිරිතාලෙට ගෙනියනවා බෙහෙත් ගන්න.

අපි හිතුවේ නැහැ දෙවැනි දුවටත් එහෙම වෙයි කියලා. ඉතින් ඩොක්ටර්ස්ලා කිව්වා ආයේ දරුවෝ හදන්නත් එපා කියලා. ඒත් අපි රට වටේටම බාර වෙලා තව ළමයි හැදුවා. මොකද අපි නැති කාලෙක මෙයාලව බලාගන්න හරි කවුරු හරි ඉන්න ඕනෙනේ. හැබැයි ඒ අයනම් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ ඉන්නවා. දැන් ඉතින් මට බයක් නැහැ. අනේ ඉතින් සමහර අය මේ දරුවො දෙන්නව හදාගන්න ඉල්ලනවා. මට මගේ දරුවෝ වැඩියක් නැහැ. මගේ පණ තියෙනකම් මෙයාලව බලාගන්නවා.

ඇය හිතේ නැගෙන ආදරය වචනවලට පෙරළුවේ මවුවත් හදවතේ සතුට ද අතුරාගෙනය..

 

අවසානයේ ද ඔවුන් කතා කළේ අම්මා ගැනය. ඒ වචන තුන මෙපමණකි.

"අපේ අම්මා දේවතාවියක්"

 

කතාව එසේ නිම වුයේ තවත් අතුරු කතා රැසකට මඟ සකසමින්ය. ඔවුන් ඉල්ලන්නේ ඉර, හඳ, තාරකා ග්‍රහ වස්තු නොව ජිවීතයට සුබදායක පරිසරයක්ය. මෙය කියවන ඔබ තෙත් නෙත් මෙන්ම මෘදු සිත් ඇත්තෙකි. මේ අහස විශාලය. පොළොවට සමානය. මේ පො‍ෙළාවේ වෙසෙන උත්තරීතර ගුණපිරි මිනිසුන් අපමණය. ඒ සෙනෙහෙබර මිනිසුන්ගේ කරුණාබර හදවත්වලින් මේ දෙදෙනාට අනාගතයක් ලැබෙනු ඇත.

කොට්ට උරයේ සිටින කුරුලු ජෝඩුව නිල් අහසට පියඹා යන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ඉතින් වසන්තා, මධූකා... අපි ආයෙත් සතුට අරන් ඔයාලව බලන්න නුදුරේදීම එන්නම්.

 

අපි එහෙම කිව්වෙ ඔවුන්ට බලාපොරොත්තුවක් ලබා දෙමින්. ඉතින් අපි එක්ව ඒ බලාපොරොත්තුවට පණ දෙමු.

 

ඒ බලාපොරොත්තුව වෙනුවෙන් අපට කතා කරන්න. 0112429591