ජාත්‍යන්තර කීර්තියක් ගෙනා යකඩ දියණියෝ

අප්‍රිකාවේ සිට තරුණිට කතා කරයි
දෙසැම්බර් 9, 2024

 

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදි 11 වැනි පොදු රාජමණ්ඩලීය කරාතේ ශූරතාවලිය මේ දිනවල පැවැත්වේ. මේ තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන් දෙ‍ෙදනකුට සුවිශේෂී ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට හැකි වීම සුවිශේෂී සිදුවීමකි.

මෙලෙසින් ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන ඇත්තේ වයස අවුරුදු 21න් පහළ කිලෝ ග්‍රෑම් 50 බර පන්තිය නියෝජනය කළ තරුෂිකා ප්‍රබෝධනී සේනාරත්න සහ වයස අවුරුදු 18න් පහළ කිලෝ ග්‍රෑම් 59 බර පන්තිය තරගය සඳහා ඉදිරිපත් වූ මනුති ඉරුගල් බණ්ඩාර ක්‍රීඩිකාවන් දෙදෙනායි.

මේ ක්‍රීඩිකාවන් දෙදෙනා උපරිම දක්ෂතාවය පෙන්වමින් ඔවුන් ලබා ඇති ජයග්‍රහණ වන්නේ තරුෂිකා ප්‍රබෝධනී රිදී පදක්කම සහ මනුති හිරුගල් බණ්ඩාර ලෝකඩ පදක්කමයි. ඔවුන් දෙදෙනාම අනුරාධපුරයේ ජාතික පාසල නියෝජනය කළ ක්‍රීඩිකාවන් වීමද විශේෂිත සිදුවීමක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක් සඳහා ප්‍රථම වරට උතුරු මැද එකම පාසලකින් තරගයට ඉදිරිපත් වී රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීම ද සුවිශේෂී වෙයි.

මෙලෙසින් ජයග්‍රහණ හිමිකරගත් මේ දියණියන් දෙදෙනාගේ ජයග්‍රහණයෙන් පසුව මුලින්ම අපට ජයග්‍රහණයේ සතුට හෙළි කළේ මහත් ආඩම්බරයෙන්. මෙහිදී අපට අදහස් දැක්වීමට එක් වූයේ වයස අවුරුදු 21න් පහළ කිලෝග්‍රෑම් 50 බර පන්තිය නියෝජනය කරමින් රිදී පදක්කම හිමිකර ගත් ආර්. එම්. තරුෂිකා ප්‍රබෝධනී සේනාරත්න ක්‍රීඩිකාවයි. ඇය තම ජයග්‍රහණය ගැන පැවසුවේ මෙලෙසිනි.

“මගේ අප්පච්චි සේවය කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මම පුංචි කාලේ දවසක් මගේ පුහුණුකරු සෙන්සේ අපේ ගෙදරට අප්පච්චි හම්බවෙන්න ඇවිත් තියෙනවා. එතකොට තමයි මාව දැකලා ඔහුගේ කරාතේ පන්තියට ඇතුළත් කරගන්න කැමතියි කියලා තියෙන්නේ. අපේ අම්මත් ක්‍රීඩාවට දක්ෂතා දක්වපු නිසා මාව කරාතේ වගේ ක්‍රීඩාවකට යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙලා තිබුණේ. සෙන්සේගේ අදහසට අප්පච්චියි අම්මයි දෙන්නම කැමති වෙලා තමයි මම පුංචි කාලෙම කරාතේ ක්‍රීඩාවට යොමු කළේ.

මම මේ තරගාවලියට සහභාගිවීමට පෙර කරාතේ ජාතික ශූරතාවලියට මේ වසරේදීම ඉදිරිපත් වුණා. මේ වසරේ පැවැති කොමර්ෂල් තරගාවලියේ 'කුම්තේ' තරග කාණ්ඩයේ හොඳම ක්‍රීඩකාව බවට පත්වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව නිසා තමයි මට පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලියට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ.

මම දැන් 13 ශ්‍රේණියේ කලා විෂය ධාරාවෙන් උසස් පෙළට සූදානම් වෙනවා. මගේ දැන් ලොකුම ඉලක්කය වෙලා තියෙන්නේ උසස් පෙළ හොඳින් සමත් වීම. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙලා යුරෝපීය රටකට ගිහින් ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි දෙකම සමබරව කරගෙන යෑම තමයි මගේ හීනය. මගේ අප්පච්චි උතුරු මැද පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනවා. අම්මා රැකියාවක් කරන්නේ නැති නිසා මගේ ක්‍රීඩා කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා. තරග තියෙන වෙලාවට අම්මා තමයි එන්නෙ. තව අපේ පවුලේ අයියයි, අක්කයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් මගේ ක්‍රීඩාවට සහයෝගය දෙනවා.

ඇත්තටම මේ ජයග්‍රහණ දෙකම ලබාගන්න හැකි වුණේ අපේ සෙන්සේ අපට දුන්න උපදෙස් නිසයි. මමත් සමඟ පුහුණුව ලබන 12 ශ්‍රේණියේ මනුති ඉරුගල් බණ්ඩාර නංගිත් හරිම දක්ෂ ක්‍රිඩිකාවක්. අපි දෙන්නම එකම පුහුණු මධ්‍යස්ථානයක තමයි පුහුණුවීම් කටයුතු කරන්නේ. ඒ වගේම අපි දෙන්නාම පුංචි කාලේ පටන්ම අනුරාධපුරේ ජාතික පාසලේ කරාතේ පුහුණුව ලබනවා. මේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අපේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විශාල ශක්තියක් වුණා. ඒ වගේම අපේ පවුල්වල සාමාජිකයින් අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි මේ ජයග්‍රහණයෙන් පසුව දින කිහිපයකින් තමයි ලංකාවට එන්නේ. ඒ පැමිණීමෙන් පසු නැවතත් අපි සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩා පුහුණුව දිගටම කරගෙන යෑම තමයි අපේක්ෂාව.”


මේ දියණියන්ගේ ජයග්‍රහණයත් සමඟ කරාතේ ක්‍රීඩාවේ නව ප්‍රබෝධයක් හා උනන්දුවක් ඇති වී තිබේ. අගනුවරට සීමා වූ මෙවන් ක්‍රීඩාවන් මේ වන විට දිවයිනේ ඈත ගම් දනව් කරා ව්‍යාප්ත වෙමින් දක්ෂ දරු දැරියන් බිහිවෙමින් සිටියි. ඔවුන් ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර තරග දක්වා ගමන් කරමින් සිටිති. මෙය අපගේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුභ සිහින සැබෑවීමකි. ක්‍රිකට්, නෙට්බෝල් හා දැල්පන්දු ක්‍රීඩාවන්ට පමණක් සීමා නොවී කරාතේ වැනි ක්‍රීඩාවන්ගෙන්ද ඈත පළාත්වල දරු දැරියන් මෙවැනි ජයග්‍රහණ හිමිකර ගැනීම විශේෂ වූ සිදුවීමකි.
 

[email protected]