සිඳු කැරලි මත විකසිත නෙතට රස ගේන දූපත

PIGEON ISLAND
දෙසැම්බර් 16, 2024

 

නිල් කටරොළු මලින් අරපරිස්සමට නිම කළ ජෙලි තට්ටුවක් වැනි සිඳු දිය තටාගයේ ආයාසයෙන් ඉදිරියට ඇදෙන කුහුඹු බෝට්ටුවක සිට පරිසර වන්දනාකරුවකුට බොහෝ ධ්‍යානයන් වැඩිය හැකි බව පළමුවෙන්ම කිව යුතුමය.

කැකෑරෙන හිරු කෙඳිති කෙඳිරිලි හඬ නඟමින් සිඳු දියවර සිප වැළඳ ගන්නා උදෑසනකි මේ. පෙරදා මැදියම් රාත්‍රියෙහි ඇදහැලුණු අක්වැසි රැල්ලෙන් බේරී යළි පිබිදෙමින් අලු ගසා ගන්නා පෙරඹර ක්‍රමයෙන් දීප්තිමත්ව සුදිලෙමින් පිබිදෙමින් බැබළෙයි.ගමනාන්තය පෙනෙන දුරක වුවද නොපෙනෙන මායිමක් වෙත ඇදී අණසක පතුරුවන මහ මුහුද මැද නේක පරිසර රටාවන් ඇඳෙයි.

අපගේ ගමනාන්තය ශ්‍රී ලංකාවේ අයස්කාන්ත දිවයිනකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන අතර සුවිශේෂී ගුණාංගයන් රැසක් දරණ මේ සොඳුරු, නිර්මල, විසේකාර දූපත් මනාලී ලෝකයම හඳුන්වන්නේ පරෙවි දූපත ලෙසටය.

අද අපේ ගමනාන්තය සුන්දර පරෙවි දූපතයි. මේ පාසල් නිවාඩු සමයේ චාරිකා සංවිධානය කරන ඔබත් ත්‍රිකුණාමලයට පැමිණියහොත් පරෙවි දූපතටද ගොඩවී යාමට අමතක නොකරන්න. එබැවින් මේ මාර්ගෝපදේශ ඔබේ ගමන සාර්ථක කරලනු පිණිසය. දැන් අපි බෝට්ටුවකට ගොඩව පරිසර බජන් ගී අසන ගමනට සූදානම් ය. දියත් වූ බෝට්ටුව සුදු පැහැ රළ කැරලි පසාරු කරමින් ඉදිරියට ඇදෙන්නේ කාර්යශූර දියකාවකු පරිද්දෙනි. මඳ දුරක් යනතෙක් උඩ යට යමින් ගැස්සුණු බෝට්ටුව එකවරම නිසංසල ගමනක යෙදුණේ සුවච කීකරු තුරඟකු තමාගේ ස්වාමියා ගෙන යන සුරක්‍ෂිත ක්‍රමවේදය අනුගමනය කරමිනි. විනාඩි දහයකට ආසන්න මුහුදු ගමනක දී සම්පූර්ණ ගමනෙන් හරි අඩක් නිමා කිරීමට බෝට්ටුකරු සමත්වීම ගැන සියලු දෙනා උන්නේ සතුටිනි. උඩු සුළඟ සමඟ පොරබදින මුහුදු ළිහිණි රංචුවක පියදසුනක් ද තවත් වරෙක දූපත දෙසින් දියඹට ඉහළ අහසේ ඉගිළෙන පරෙවි රංචුවක් අප මුහුද මධ්‍යයේ හුදෙකලා වූවන් යයි යන සිතිවිල්ල මකා දැමීමට සමත් වූයේ අපට මිහිරි දසුන් ද මවමිනි. නීල වර්ණ සමුදුරු දියවර දෙබෑ කරමින් ඒ මත පෙණමල් කිණිති අඳිමින් බෝට්ටුව ඉදිරියටම ඇදෙයි. තවත් විනාඩි දොළහක් ගතවූ තැන අපි පරෙවි දූපතට ගොඩවන බව ඉංජිම ක්‍රියා කරවන තලතුනා පුද්ගලයා කීවේ ඇසූ පැනයට පිළිතුරු දෙමිනි. මුහුද දෙස බලා ගත්වනම තමාගේ රාජකාරියේ යෙදෙන ඔහු සිනහවකින් හැර වෙනත් කිසිදු ඉඟියකින් හෝ කතාවකින් සංචාරකයන් සමඟ එක් නොවන්නෙකි.

සුදෝ සුදු වැලි තලාවකින් වටවූ අසිරිමත් පින්වත් බිම්කඩට දැන් අප පැමිණ තිබේ.වියළන්නට පැදුරු කරන ලද සම්බා සහල් පලසක් ලෙස දූපතෙහි මුහුණත බැබළෙයි. සැබැවින්ම මේ සුන්දරත්වයේ පිවිතුරු බිම්කඩ වචනයේ පරිසමාප්තියෙන්ම පින්බර කොදෙව්වකි. සමුදුරු මධ්‍යයේ විරාජමානව වැජඹෙන ඈ සුවහසක් ජනී ජනයාගේ පරිසර තිබහ නමැති නොසිඳෙන පිපාසාව සංසිඳුවන්නට දිය දෝතක් දෙන පිංතාලියකි. නැඟෙනහිර වෙරළේ උතුරු අක්ෂාංශ 80 43 සහ නැඟෙනහිර දේශාංශ 810 12 අතර පිහිටි පරෙවි. දූපත 1974 වසරේ නොවැම්බර් පළමු වැනිදා අභයභූමියක් බවට ප්‍රකාශයට පත් කොට තිබේ. ලංකාවේ දාහත්වැනි ජාතික වනෝද්‍යානය ලෙස පරෙවි දූපත නම් කරන ලද්දේ 2003 වසරේ ජුනි මස හතර වැනිදාය. ජාතික වනෝද්‍යානයක් ලෙසට නම් කිරීමට තරම් සුවිශේෂී මේ බිම්කඩ හෙක්ටයාර් 471.729 පුරා පැතිරී පවතියි.

දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ පරෙවි දූපත අවට නොගැඹුරු රමණීය මුහුදු තීරය සජීවී කොරල්පර නිරීක්‍ෂණය කරන්නකුට පාරාදීසයකි. එමෙන්ම ලෝ පුරා කොරල්පර පිළිබඳ අධ්‍යයනය කරන්නන්ගේ අධ්‍යාපනාගාරයක් වන මේ මුහුදු තීරය තුළ කොරල් ආශ්‍රිත ජීවීන් සහ කොරල්පර නිරීක්‍ෂණය කරන්නන් දවසේ ඕනෑම වේලාවක සුලභය.

පරෙවි දූපත ජාතික උද්‍යානය තුළට පැමිණෙන
ඕනෑම අයකු වනෝද්‍යානයට පිවිසීමට ප්‍රථමව
නිසලව ගී ගයන මහමුහුද දෙස වරක් දෙවරක්

නොව සිය වරක් බලා හිඳීමට අමතක නොකරති. අපද මහ මුහුදේ ශාන්ත සිල්වත් බව දෙස මහා හුඟක් වෙලා බලා උන්නෙමු.

ඉන් අනතුරුව වනෝද්‍යානයට පිවිසීම සමඟ

ගතට දැනෙන සිහිලස ඔබ විඳිය යුත්තේ හතරවටින් මහ මුහුදෙන් වටවූ බිමක, අහස කරා ඇදී පැතිර ඇති තුරුලතා සෙවණක, හෝ අතුරන ලද වැලි තලාවක වැතිර සිටය.

අප වනෝද්‍යානයක් යයි කී පමණින් මවාගන්නට, උත්සාහ දරන යාල, විල්පත්තුව, ගල්ඔය, උඩවලව, වස්ගමුව, කවුඩුල්ල, ලාහුගල වැනි අපට අතිශය සමීප වනාන්තරවල හැඩය මෙහි එකවරම හමුනොවන වග කිව යුතුමය. අලි, කොටි, වග වලසුන් දැක බලා ගැනීම අරමුණ කරගනිමින් වනෝද්‍යානයක් වෙත පිවිසීම ඔබගේ අරමුණ නම් අනිවාර්යයෙන් ඔබ මෙම ගමන අවලංගු කිරීමට වගබලා ගත යුතුය. මන්ද යත් සමුදුරු දූපත් වන උයනකදී ඔබට විඳ බලාගත හැකි දේ එකිනෙකට වෙනස් වන බැවිනි.

මෙම ගමන සංවිධානය කිරීමේදී අත්‍යාවශ්‍ය සියලු ආහාරපාන ද්‍රව්‍ය එකලස් කර රැගෙන යාමට ඔබ වගබලාගත යුතුමය. එමෙන්ම මුහුදේ නෑමට අවශ්‍ය ඇඳුම්, මුහුදු පතුල නිරීක්ෂය කිරීමට අදාළ ගොගල් කට්ටල, තුවා වැනි දේද රැගෙන යාම උපරිම වින්දනයක් වෙත ඔබ කැඳවායනු ඇත.

කුඩා දරුවන් සමඟ මෙම ගමන යාමේදී ඔවුනට අවශ්‍ය සියලු දෑ රැගෙන යාමට අමතක නොකරන්න.

මෙම ගමන ඔබ කොතරම් සැලසුම් කළද අවසානයේ ගමන තීරණය කරනු ලබන්නේ මුහුදෙහි ස්වභාවය අනුවය. මුහුදෙහි ප්‍රචණ්ඩත්වය පවතින දිනක සියලු වගකීම් ඔබ විසින් දරා මෙම ගමන යා හැකි වුවද එසේ කිරීම අනතුරුදායක බවද මතකයේ තබා ගන්න. හත්දෙනකුගේ කණ්ඩායමක් සඳහා රුපියල් අටදාහකට නොවැඩි මුදලකට බෝට්ටුවක සේවාව ලබා ගැනීමට හැකි අතර, ඔබට කිමිදීමට අවශ්‍ය නම් ඒ සඳහා කුඩා මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

මෙම සියලු කරුණු හිත මත දරා ගමන සැලසුම් කරන්න. සිහියෙන් සිහිලැල්, ගමන අරඹන්න. පරිසර සිරිසරින් හිත පුරවා ගනිමින් ඔබේ පවුලේ සතුට රැක ගන්න.

ඔබට සුව සුබ ගමන්...

 

[email protected]