දරුවන් වෙනුවෙන් ඔබේ යුතුකම්

පෙබරවාරි 3, 2025

 

දරුවන්ට වෙනම ලෝකයක් තිබේද ? ඔව්. වැඩිහිටියන්ට මෙන්ම ඒ අයට ද මවුපියො, ගුරුවරු, මිතුරු මිතුරියො සහ වැඩිහිටියො වටා ගොඩනඟා ගත් ලෝකයක් ඇත. වැඩිහිටියන්ට තරම් පුළුල් වපසරියක් නොමැති වුවත් දරුවන් ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ රැකවරණය තමන්ගේ ලෝකය තුළ බලාපොරොත්තු වේ.

නමුත් තමන්ගෙ සමීපතමයන්ගෙන් අසාධාරණයට, අතවරයට ලක් වෙන දරුවෙක් ගැන සිතා බලමු. මව විදේශගත වුණු පසුව රැකවරණය ලබා දිය යුතු පියා, මිත්තණිය, නෑදෑයා අතින් විවිධ කෲර සැලකිලිවලට ලක් වුණු දරුවකු රැකවරණයක් පිළිසරණක් පතන්නේ කවුරුන්ගෙන්ද ?

විවිධ ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවන් වෙනුවෙන් විදේශගත වන මවුපියන් කොතෙකුත් ඇත. නමුත් තම දරුවාගේ රැකවරණය නියමාකාරයෙන් සැලසීමට හැකිදැයි යන්න ඔවුන්ට නිශ්චිත නැත‍. විදේශගත මව නැවත ගෙන්වා ගැනීම සඳහා දරුවාට විවිධ හිරිහැර වධ හිංසා කර, අමානුෂික අයුරින් එම සිදුවීම් වීඩියෝගත කර මව වෙත ලැබිමට සැලැස්වූ අවස්ථා ද පසුගිය වකවානුවේ වාර්තා විය. එවැනි අවස්ථාවලදී පියා නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු කළ විට දරුවාට පියා සහ මව යන දෙදෙනාම අහිමි වී සමහර විට ළමා නිවාසයක ආගන්තුක පරිසරයක ජීවත් වීමට සිදු වේ.‍

 

මෙවැනි සිදුවීම්වලින් දරුවන්ට ඇති වන ශාරීරික පීඩනයට වඩා මානසික පීඩනය අති මහත්ය. කුඩා දරුවන්ට මවගේ රැකවරණය අත්‍යවශ්‍ය නිසා රජය විවිධ ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් ගෙන ඇත. නීති රීති කොතෙක් තිබුණද නිලධාරීගේ ක්‍රියාත්මක වීමේ පවත්නා අඩුපාඩු හේතුවෙන් ඉතා කුඩා දරුවන් පවා අසරණභාවයට පත්වන අවස්ථා දක්නට ලැබේ. දරුවා සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා අඩු තක්සේරුව ද මෙයට බලපා ඇත. අපරාධයට ගොදුරු වූ තැනැත්තා ළමයෙක් වීම නිසාම යම් අවස්ථාවලදී ළමයින්ට සිදුවන අපරාධ සිදුවීම් යටපත් වේ. ළමයකු සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුත්තේ ළමයා තමාට සිදුවන අසධාරණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි තත්ත්වයක පසුවන නිසාය. ළමයා වෙනුවෙන් ක්‍රියාත්මක විය යුත්තේ වැඩිහිටියන්ය.

 

යම් දරුවකු අසාධාරණයට ලක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාකාරී වීම වැඩිහිටියන් සතු යුතුකමකි. අසල්වැසි නි‍ෙවසේ දරුවාට පහරදෙන හඬ, දරුවන් වේදනාවෙන් හඬන හඬ තවදුරටත් අසා සිටිය යුතු කාලය නොවේ. විශේෂයෙන් එම නි‍ෙවසේ මව හෝ පියා විදේශගතව සිටී නම් ඒ පිළිබඳ වහා ක්‍රියාත්මක විය යුතු වේ. අනවශ්‍ය කරදරවල පටලැවීමට සිදුවන නිසා, පොලිසි උසාවිවල රස්තියාදු වීමට සිදු වන නිසා එවැනි සිදුවිම් නොසලකා හැරීම අප විසින් නවතා දැමිය යුතුය. දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනවලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ වගකීම පවතිනුයේ පුරවැසියාටය.

 

මේ නිසා කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු වන අතර දරුවන් අසාධාරණයට ලක් නොවන බවට අප විසින් වගබලා ගත යුතුවේ.