පොල් ගැටලුවට විසඳුම තියෙන්නේ කාන්තාව ළඟ‍

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා
පෙබරවාරි 3, 2025

කාලයේදී වසර කිහිපයකට පෙර ගත් වැරැදි තීරණ තීන්දු නිසා පොල් අස්වැන්නේ පැහැදිලි අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම රිළව්, වඳුරු හානිය නිසා මේ තත්ත්වය තවත් වැඩි වෙලා තිබෙන බව බොහෝ දෙනෙක් මැසිවිලි නඟනවා. මේ කුමන ගැටලුව තිබුණත් පොල් හිඟය හා මිල අධිකවීමට විසඳුමක් නොතිබුණොත් ඉදිරියේදී මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන්.

 

මේ සඳහා ස්ථිර විසඳුමක් හා පිළිතුරක් ලබා ගැනීමට ඇති ආයතනයක් තමයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය. ගෘහිණියන්ගේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබෙන මේ පොල් හිඟයට හේතුව හා විසඳුම කුමක්, දැයි අප විමසීමක් කළේ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතාගෙන්. ඔහු මේ පොල් ගැටලුවට අපේ ගෘහිණියන්ට සාර්ථක විසඳුම් කිහිපයක් ගැන පැහැදිලි කළේ අප සමඟ කළ පිළිසඳරකදී.

 

“සාමාන්‍යයෙන් වසරකට පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 3000ක් පමණ වෙනවා. නමුත් 2024 වසරේදී සහ 2025 මුල් කාර්තුවේදී අපට ලැබුණේ පොල් ගෙඩි මිලියන 2700ක පමණ ඵලදාවක්. මේ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ පොල් ඵලදාවේ අඩුවක් අපේක්ෂා කරනවා. මෙසේ අප සඳහන් කරන්නේ පොල් පර්යේෂණ ආයතනයේ දත්ත අනුවයි. මෙසේ අඩු වෙලා තියෙන කාලය තුළ අපේ පොල් කර්මාන්තයේ අපනයනය ක්ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් ඇති වෙලා තිබෙනවා.

 

අපේ පොල් පාරිභෝජනය වැඩිවීමක් සිදු නොවුනත් ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම වැඩිවීමත් නිසා පොල් මිල විශාල වශයෙන් වැඩි වී තිබෙනවා. සාමාන්‍යයෙන් මේ කාලයේ කොහොමත් පොල් අස්වැන්න අඩුවීමක් තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ කාබනික පොහොර භාවිතය පිළිබඳ අැති වූ ගැටලුව නිසා අපේක්ෂිත පොල් අස්වැන්නක් ලැබීමත් නැති වි තිබෙනවා. මේ අතර අපනයන ඉල්ලුමත් වැඩි වි තිබීම තමයි මේ අර්බුදය ඇති විමට ප්‍රධාන හේතුව.

මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමයි දේශිය පාරිභෝජනය අවම කර ගැනීම. ඒ කියන්නේ අපේ ගෘහිණියන්ට තමයි මේකට විසඳුමක් දෙන්න පුළුවන්. අපට පුළුවන් කුස්සියේ අප පරිභෝජනය කරන පොල් ප්‍රමාණය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ඇත්තටම මේකට හරි සරල විසඳුමක් අපේ ගෘහිණියේ ළඟම තියෙනවා. දැන් බලන්න අපේ ගෘහිණියෝ පොල් ගෙඩිය බිඳලා හිරමනෙන් ගෑවාට පස්සේ මිරිකන්නේ කොහොමද? බහුතරයක් දෙනා අතින් තමයි මේ වැඩේ කරන්නේ. නමුත් මේ මිරිකන ක්‍රියාවලියට බ්ලෙන්ඩරයකින් කර ගත්තොත් එයින් 50%ක ඉතිරියක් කර ගන්න පුළුවන්.

 

එයට අමතරව අපේ නාගරික ගෘහිණියන්ට තවත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි පොල් ගෙඩියකින් පොල් ගැනීම වෙනුවට පිටි කළ පොල්කිරි නිෂ්පාදන මිලදී ගැනීම. පිටි ටිකට වතුර කලවම් කරලා පෝල් කිරි ටික ගැනීම නාගරික කාර්යය බහුල ගෘහිණියන්ට හරිම පහසුවක්. මෙහිදී ඇති වී තිබෙන දුර්මත රාශියක් තිබෙනවා. එක් මතයක් තමයි පොල් කිරි බ්ලෙන්ඩරයක් භාවිත කිරීමෙන් කොලොස්්ටරෝල් මට්ටම වැඩි වෙනවා කියලා. ඒ වගේම පිටි කළ පොල් කිරිවලට වෙනත් පිිටි වර්ග කලවම් කරනවා කියලත් මතයක් තිබෙනවා. නමුත් එසේ නොවන බවට අපට සහතියක් දෙන්න පුළුවන්.

 

මේ පිටි කළ පොල් කිරි නිෂ්පාදනය කරන්නේ අපගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ. ඒ වගේම මේ අලෙවි කරන පිටි කළ පොල් අපනයන මට්ටමේ නිෂ්පාදන තමයි අපේ රටේ අලෙවි කරන්නේ. ඒ වගේම පොල් කිරි බ්ලෙන්ඩර් කිරීමට විශාල විදුලි බිලක් වැය වෙනවා කියලත් දුර්මතයක් තියනවා. නමුත් මේ සියලු දේ පිළිබඳ අපි හොඳින් අධීක්ෂණය කරලා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගෙන තමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මේ සඳහා අපගේ කණ්ඩායමක් මේවා ගැන සොයා බලන්න ඉන්නවා.

 

ඇත්තටම නිවෙසේ සිටින අපගේ බුද්ධිමත් ගෘහිණියට මම ලොකු පණිවුඩයක් දෙනවා. ඔබ මේ ඉතිරි කරන පොල් ගෙඩියෙන් තමයි අපේ රටට විදේ්ශ විනිමය ලැබෙන්නේ. ඔබ සතියකට පොඩි ගෙඩි 6ක් පාවිච්චි කරන එක 50%කින් අඩු කරලා ගෙඩි 3ක් කළොත් ඒක කොයි තරම් ඉතිරියක් ද? ඒ ඉතිරිය රටේ සමස්ත පොල් නිෂ්පාදන ක්‍රියාවලියට කොයි තරම් වටිනවාද?

 

ඇත්තටම පොල් ගසට කියන්නේ කප්රුක කියලනේ... මේ පොල් කිරි නිෂ්පාදනය නිෂ්පාදනාගාරක සිදු කිරිමෙන් පොල් කටුවේ සිට කුරුට්ට දක්වාම ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නොවෙයි පොල් වතුර ටික පවා අපනයනය කිරීමෙන් එම ආයතන විදේශ විනිමය උපයනවා.

 

පොල් කුරුට්ට, කට්ට පවා ප්‍රයෝජනයට ගනිමින් විශාල නිෂ්පාදන රැසක් කරනවා. පොල් කුඩුවලට පවා ලෝක වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේක ලොකු ඉතිරියක්.

 

මේ අවස්ථාව තමයි අපේ ගෘහිණියන්ගේ ඉතිරියට මුලපිරීම සඳහා හොඳම අවස්ථාව. ඒ වගේම දුර්මතයන්ගෙන් මිදෙන්න හොඳම වෙලාව. අපි මේ ගැටලුව සඳහා දීර්ඝ කාලීනව සැලසුමක් සකස් කරලා තිබෙනවා. ඒ විසඳුම සඳහා තව වසර කිහිපයක් ගත වෙනවා. අපි වසර 10ක සැලසුමක් තුළින් මේ පොල් හිඟයට ස්ථිර විසඳුමක් ලබාදෙන්න සියලු සැලසුම් සකස් කරලා තිබෙනවා.”

 

විශේෂ ස්තූතිය - ලේක්හවුස් දැන්වීම් අංශයේ මහේෂ් මලල්ගොඩ මහතාට

 

[email protected]