හමා ආ කුණාටුව

පෙබරවාරි 10, 2025

අවුරුදු දාසයේදී ගෑනු ළමයෙකුගේ හිත වැඩ කරන්නෙ කොහොමද කියලා ලස්සනටම ලියලා තියෙන පොතක් මේ ළඟකදි මං කියෙව්වා. ඒ ලියනගේ අමරකීර්තිගේ "කැළලිකාරයෝ" නවකතාව.

ඒකෙ දීපිකාගේ චරිතෙ ගොඩනඟමින් අමරකීර්ති භද්‍ර යෞවන පාසල් දැරියකගේ අමුතු ආගන්තුක ආදර හැඟුම් කොයි වගේද කියලා අනාවරණය කරනවා. දීපිකාගේ පළමු විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති වෙන්නෙ ඉස්කෝලෙ යන බස් එක එළවපු ටෝනි මාමා ගැන. පළමු පෙම්වත් හාද්දත්, තෑග්ගත් ලැබෙන්නෙ එයාට වඩා අවුරුදු විසි ගාණක් වැඩිමල් ටෝනි මාමාගෙන්. ටෝනි මාමා ගැන දීපිකා තුළ ඇති වුණු ඒ අමුතු විස්මිත හැඟීම අමරකීර්ති මෙහෙම ලියනවා.

"ගමේ කවුරු අතරත් ජනප්‍රිය, ටෝනි මාමා යැයි ප්‍රසිද්ධ වූ වික්‍රමාන්විත රියැදුරුවරයා දීපිකාගේ නව යොවුන් කෙළි සන්නිවේදන ස්නායු චක්‍රය තුළට හසු වුණේ මේ වගේ කාලෙක. 'ටෝනි' යන නමම ඇය තුළ ඇති කළේ ගමේ අන් කිසිම නමකින් නොනැඟෙන නින්නාදයක්. 'ටෝ' යන්න ඇදෙන්නෙ වෙන නමක අකුරු ශබ්ද නොනැඟෙන රිද්මෙකට. 'නි' යන්න නවතින්නෙ. ඒ වගේම ලස්සනට. බස් එකේ යන හැම දවසකම ටෝනි මාමා මේ ජංගම රාජධානිය පාලනය කරන ආකාරය දීපිකා බලාගෙන උන්නෙ නොසංසිඳෙන විස්මයෙන්. ඔහුගේ ඒ වීර ක්‍රියාව අපමණ ආදර ගෞරවයක් ඈ තුළ ඇති කළා.

 

“ඔහු ඇගේ පළමු පෙම්වතා බව ඇය පසු කලෙකත් දිවුරා කිව්වා. තමන්ටම දිවුරමින් සිතුවා"

 

(කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති 64 පිට)

ගෑනු ළමයෙකුගේ හිතේ මේ කාලෙදි ඇතිවන මේ විස්මිත හැඟීමට ඉලක්ක වෙන්නෙ මොන තරාතිරමක මිනිහෙක් ද කියන එක අදාළම නෑ. ඔයා ලොකු ළමයෙක් වෙලා ඉද්දි එක ඉස්කෝල නිවාඩු කාලෙක හැන්දෑවෙ දහම් පාසලේ භක්ති ගීත පුරුදු වෙන්න ගිය විදිහ මගෙ ඇතුළෙ ලොකු තැතිගැන්මක් ඇති කළා. ඔයා හරිම ලස්සනයි එදා. ඔයා නාලා එහෙම කොණ්ඩෙ කඩා දාලා අමුතු සුවඳ ගොඩක් හාත්පස විසුරුවමින් ඇවිත් අම්මට කියල යන්න ආවා. ෂැම්පු සුවඳයි සබන් සුවඳයි පුයර සුවඳයි එකකට එකක් නොපරදිමින් ඔයා ගාව විසිරුණා. ඔයා ගියාට පස්සෙ අම්මා මට කිවුවා "පුතේ පාඩම් කරල ඉවර වෙලා නංගිව එක්ක එන්න ඉක්මනට පන්සල දිහාට යන්න" කියලා. ගෑනු ළමයෙකුගේ හිතේ පිරිමියෙක් ගැන පහළ වන ආදර හැඟීම හරි ලිංගික සිතුවිලි හරි මේ මේ වෙලාවට කොහොම පහළ වෙනව ද කියලා කාටවත් තීරණය කරන්න බෑ. ඒ වගේ සිතුවිලි පහළ වෙන්න ඕ‍ෙන මේ මේ විභාග ඉවර වුණාට පස්සෙ කියලා කාටවත් තීරණය කරල කියන්න බෑ. ඒ වගේ හැඟීම් කොච්චර හිතුවක්කාර ද කියනවා නම් මොනම විභාග කොමසාරිස්ටවත් ඒක තීරණය කරන්න බෑ. ඒක පිරිමි ශරීර ගැන තියෙන පුදුමාකාර කුතුහලයත් එක්ක අනාරාධිතවම ඉබේ සිදුවන කැළඹීමක්. ඒක කුණාටුවක් වෙන්නත් පුළුවන්.

 

ඉතින් මං මේ ඔයත් එක්ක කියන්න හදන්නෙ ඔයාගේ පළමු මල්බර සමයේදීම ඔයා වෙත හමා ආ ඒ කුණාටුවෙන් ඔයා දෛවෝපගතව බේරුණු හැටි මට දැනුණු විදිහ ගැන. ඒත් දැන් ඒවා බොහොම අතීතකාමී විදිහට අපේ මතක ගොන්න ඇතුළෙ සක්මන් කළාට ඒ දවස් කොයිතරම් බිහිසුණු විදිහටද ගෙවිලා ගියේ කියලා හිතෙනවා.

 

 

සුජීව සිරිමෙවන්